Wednesday, January 27, 2016

මාළු උගේ , නටයි මගේ ඇඟේ | sometimes it's understandable



මගේ ජිවිතේ ඉවසීම ගැන ප්‍රශ්නයක් ආපු වෙලාවේ ඉවසීම ගැන ලිපියක් ලීවා ඔයාලට මතක ඇති ඉවසන සෙල්ලම  පුරුදුවෙච්ච හැටි කියලා. ඒ වගේම ඊර්ෂ්‍යාව ගැනත් යමක් ලියන්න හිතුණා මගේ ජිවිත අත්දැකීම් එක්ක. සාමාන්‍ය මිනිස්සු විදියට අපි හැමෝම ඊර්ෂ්‍යාව කියන නරක සතුරට අහුවෙනවා.මම ඊර්ෂ්‍යා කරන්නේ නැති කෙනෙක් කියලා කටින්  කීවට දිනපතා සිත්වල අපිත් නොදැනිම ඊර්ෂ්‍යාවේ සිතුවිළි ඇතිවෙනවා. පුංචි කිරිදරුවගේ ඉදලා හැම කෙනාම තමන්ගේ ජිවිතේ විවිධ අවස්ථාවල විවිධ කාරණා හේතුකරගෙන වෙන අයට  ඊර්ෂ්‍යා කරනවා ..ඒ වගේම ඊර්ෂ්‍යාව ක්‍රියාවට නගනවා එක එක විදිවලින්.

මං පුංචි කාලේ  ඉරිසියා කරපු දේවල් ටිකක් මතක්වුණා,එයින් එකක්  ලියන්නම්කො. ඉස්සර අපි මාළුඅල්ලන්න ඉලගොටු වෙලේ දානවනේ .ඉතින් අනිත් අයගේ ඒවාට මාළු ගොඩක් අහුවුනාම ඉරිසියාවේ බෑ.,බිලි බාද්දීත් එහෙමයි අනිත් අයට හොදට මාළු අහුවුනාම කේන්ති. ඊට පස්සේ "උබලා පවුකාරයෝ ඒකයි ඔච්චර මාළු  අහුවෙන්නේ අපි පිං කාරයෝ ඒකයි මාළු නැත්තේ" කියලා ඒ අයට අපහස කළා ..ඒ වගේම හොරෙන් ගිහින් එයාලගේ ඉලගොටු කැලේ හැංගුවා ,,පාගලා කඩලා දැම්මා.. ඒත් එහෙම කළා කියලා මට කවදාවත් වැඩිපුර මාළු අහුවුණේ නැහැ..පස්සේ කවුරුහරි දැකලා කියලා තිබුණා මං කලේ කියලා.එයාලා අලුත් ඒවා හදලා දැම්මා ආයේ මාළු ඇල්ලුවා..ඒත් මට වෙච්ච දේ .අන්තිමට ලැජ්ජාවේ බැහැ.

Tuesday, January 19, 2016

විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක්

අපේ ගෙවල් තියෙන්නේ රජයේ පාසලක් ළඟ; උදේට ළමයි ඉස්කෝලේ යනවා දකින්නේ නෑ මං නැගිටින්නේ දවල්වෙලා නිසා. ඒත් හවසට ජෝර්ජ් එක්ක කෝපී බොන්න ගිහින් එන ගමන් ගෙවල් කිට්ටුව තියෙන පුංචි පාර්ක් එකේ නැවතිලා ඉද්දි ඉස්කෝලේ ඇරිලා ළමයි ගෙවල් වලට යනවා අපිට පේනවා. මෙහෙ හැම ඉස්කෝලෙකින්ම බස් වලින් ගිහින් ළමයි අරන් එනවා ඒ වගේම හවසට ගිහින් දානවා. ලංකාවේ වගේ බුක් හයර් වලට ගෙවන්න ඕනේ නෑ. හැම ළමයෙක්ගෙම ගෙවල් ලගට බස් එක එනවා. ඉස්කෝලේ ඇරිලා යද්දී අපිට හම්බෙන  කීප දෙනා ඉස්කෝලේ අවට ජීවත්වෙන ළමයි; හෝ බෝයිෆ්රෙන්ඩ් හෝ ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක කොහේ හෝ යන්න බස් එකේ නොයා ඉන්න ළමයි. 
 මමයි ජෝර්ජුයි ලෝකේ නැති දේවල් කියෝ කියෝ කාලේ ගෙවන අතර හැමදාම දකින පොඩි අලි පැටියෙක් වගේ ළමයාව දැක්කම ඉතින් ජෝර්ජ්ට ඒ ළමයව දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට වගේ හැසිරෙන්නේ. ඇස් දෙක ලොකු කරලා දුර එද්දිම මට උරහිසෙන් පෙන්නනවා.ජෝර්ජ්ට රවනගමන් ඒ ළමයා අපිව පහුකරන් යනකල් ෆෝන්එක බොරුවට අතපතා ගගා ඉන්නවා ඒ ළමයගේ මුණ බලන්න මොකක්ද වගේ හින්දා. ඊට පස්සේ ඉතින් "ලෝකේ මිනිසුන් සීග්‍රයෙන් ස්ථුලතාවයට පත්වීම" ගැන ජෝර්ජ් ගේ මහා දේශනාව. ඔහු කියන ගොඩක් දේවල් හරි. ඒත් දැන් අහලම ඇතිවෙලා තියෙන්නේ.


මෙහෙ ළමයිනුයි අපේ ඉස්කෝලේ යන ළමයිනුයි අතර තියෙන වෙනස මම දකින විදියට ලියලා දාන්න ඕනේ කියලා හිතුණා. තමන්ට කැමති විදියට කොන්ඩේ පාට කරලා, තව තව සුකුරුත්තං කොන්ඩේ එල්ලලා , කරාබු දාලා,නියපොතු පාට කරලා ,කැමති ඇදුම් ඇඳලා,ෆෝන් එකත් අරන් ඒ ළමයි යනවා දකිද්දී සුදු ගවුම සෙන්ටිමීටර් කීපයක් කොටයි ,කොන්ඩේ ඔහොම දාන්න එපා ගොතාගෙන එන්න...කලුපාට රිබන් බඳින්න ,අයිබ්රෝව්ස් හදන්න තහනම් .පිරිමි ළමයින්ට නම් සුදු කලිසම ප්ලිට්ස් එකක්ද දෙකක්ද කියන නිශ්චිත ගානම තියෙන්න ඕනේ.කොන්ඩේ කට් කපන්න රැවුල් කපන්න කියලා විනයභාර ගුරුවරු කෑගහන හැටි මතක් වුණා.  

ඇත්තටම මේ හැමදෙයක්ම අපේ රටට ගලපන්න අමාරුයි. උදාහරණයක් විදියට ළමයින්ට අවසර ලැබුණොත් තමන් කැමති ඕනේ ඇදුමක් අඳින්න හොඳට සල්ලි තියෙන අයගේ ළමයි අඳින ඇඳුම් දැක්කම දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ අසරණ වෙන්න පුළුවන්. මේ රටේ පාර අතුගාන මනුස්සයත් නගරාධිපතිත් දෙන්නම කරන්නේ රැකියා සහ මිනිස්සු ඔවුන් දෙදෙනා දිහාම බලන විදිය එකයි. ඒ වගේම අද බැංකුවක යම් වැටුපකට වැඩ කරන කෙනෙක්ට හෙට පළතුරු කඩේක ඊට වඩා වැඩි වැටුපකට   ගෙදරට කිට්ටු රැකියාවක් ලැබුණොත් ඒ ගැනත් හිතලා බලන්න මේ මිනිස්සු කැමතියි. ඒක හරි පුදුම දෙයක් සහ සැහැල්ලුවෙන් ජීවත්වෙන්න උදව් වෙන දෙයක්. 

ළමයි ඉස්කෝලේ ෆෝන් එක ගෙනියන එක ගුරුවරු දකින්නේ ළමයින්ගේ ආරක්ෂාවට හොඳ දෙයක් විදියට. ඒ වගේම ගුරුදෙගුරු සම්බන්දතා පවත්වන්න වට්ස් ඇප් ගෘප් චැට් පංතිභාර ගුරුවරු පාවිච්චි කරන්නේ. මං දන්නේ නැහැ අපේ රටෙත් දැන් එහෙමද කියලා. 

අධ්‍යාපනය ගැන කතාකරද්දී හම්බෙන අකමැතිම මාතෘකාව වෙන්නේ විභාග; ඊයේ පෙරේදා අපේ ලංකාවේ 
උසස්පෙළ විභාග ප්‍රථිපල ආවට පස්සේ මුණු පොතේ දැකපු බොහොමයක් පෝස්ට් වලින් තේරුණේ උසස්පෙළ විභාගය ඒ ළමයින්ට තමන්ගේ ජිවිතයටම මුණ දෙන්න සිද්දවෙච්ච මහා විශාල මාරකයක්  වගේ. 
මූණුපොතේ මගේ යාළුවන්ගෙන් බොහොමයක් දෙනා ෆේල් ඒ වගේම ඊලග වතාවේ විභාගේ ආයෙම කරන්න ලෑස්තිවෙන්න හදනවා. ඒත් මෙහෙ උසස් පෙළ විභාගය පවත්වන්නේ වෙනස් විදියකට අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගත්ත විෂයන් තුනට සහ ඉංග්‍රීසි වලට අදාළ විභාගයන් කාලසටහනක් දීලා සතියක් හෝ දෙකක් ඇතුළත ඉවර වෙන විදියට නෙමේ.. දෙවනි අවුරුද්දේ අන්තිම මාස හයේදී මාසෙකට එක විෂයක් බැගින් වගේ විභාග තියන්නේ. ඒ වගේම ලකුණු දෙන්නෙත් සීයෙන් හරියටම ඉලක්කමක් විදියට. ඒ ඒ විභාග වලට අදාළ ප්‍රථිපල සැරින් සැරේ ළමයින්ට දැනුම් දෙනවා.  කෙසේ හෝ ඉස්කෝලේ සේරම විභාග ඉවරවුණාට පස්සේ මාස තුන හතරක කාළයක් ළමයින්ට විවේකයක් ලැබෙනවා ;ඊට පස්සේ  හැමකෙනාම ඉතින් හමුදාවට යන්න ඕනේ. දැඩි ආගමික භක්තික පවුල් වල ගැහැණු ළමයි නම් හමුදාවට යන්නේ නැහැ ඒ වෙනුවට අවුරුදු දෙකක් එයාලා ස්වෙච්චා ආයතන හා සම්බන්ධ වෙලා වැඩ කරන්න ඕනේ. 

අවුරුදු දහ අට පහුකරලා අවුරුදු  විස්ස විසි එක වෙළා හමුදාවෙන් අයින් වුණාට පස්සේ ආයෙම තම තමන්ගේ විභාග ප්‍රථිපල අනුව විශ්යවිද්යාල වලට යන්න සුදුසු අය ඒවටත් අනෙක් හැම කෙනෙක්මත් හමුදාවෙන් පස්සේ හරියටම අවුරුද්දක් මොන මට්ටමේ හරි පුංචිම හරි රැකියාවක් එක දිගට කරන්න ඕනේ. ඉන් පස්සේ රජයේ අනුග්‍රහයෙන් සහතිකයක් සහ ලොකු මුදලක් හම්බෙනවා තමන්ගේ ඉදිරි රැකියාව හෝ තව දුරටත් යම් ක්ෂේත්‍රයක් ඔස්සේ ඉගෙන ගන්න. 

අර මං මුලින් කිවුවේ විභාග ඉවර වුණාට පස්සේ මාස තුනක් හතරක් තියෙනවා කියලා ෆ්‍රී එකේ ඉන්න  ඇත්තටම ඒ කාලේ ගොඩක් ළමයි පුංචි පුංචි රස්සාවල් කරනවා හරි පුදුමයි. මං කිට්ටුවෙන් ඇසුරු කරන ගැහැණු ළමයෙක් ඉන්නවා එයා දැන් ඉන්නේ හමුදාවේ. ඒ ළමයා හමුදාවට ගියේ පවා විශේෂ ඒකකයකට ගොඩක් බුද්ධිමත් ළමයෙක්. එයත් මාස තුනක් ලැබුණු විවේක කාලේදී නැනී කෙනෙක් විදියට පවුල් දෙකක් එක්ක වැඩ කළා උදේ සහ හවස. ඒ වගේම සමහර දවස් වල  කේටරින් සර්විස් එකක් එක්ක වේටර්ස් කෙනෙක් විදියට වැඩ කළා. එයාගේ අම්මා සහ තාත්තා දෙන්නම මම අඳුරනවා ඔවුන් සල්ලි ප්‍රශ්න තියෙන අය නෙමේ හොඳින් සල්ලි තියෙන අය. ඒත් ඒ ළමයා නැනී කෙනෙක් විදියට පැය කීපයක් වැඩ කරනවා ඒකට උත්තර හොයාගන්න අවස්ථාව ලැබුණේ එයාගේ අම්මා හම්බුණු වෙලාවක. 

මම: "මොරාන්ව මං දවස් කීපයක්ම දැක්කා මිකාල් ලගේ බබාලත් එක්ක පාර්ක් එකේදී" 
මොරාන්ගේ අම්මා: අහ්හ් ඔව් එයා බේබි සිටර් කෙනෙක් වෙලානේ දැන්, එහෙ විතරක් නෙමේ තව අපේ ගෙවල් ළග බබෙක්වත් බලාගන්නවා පැය දෙක තුනක්. සමහර දවස් වලට පෙක්දිල් කේටරින් එකෙත් වැඩ කරනවා. 
මම: වාව් ඇත්තමයි මං අහන්න හිටියේ එයා ඇයි ඒ වගේ ජොබ් කරන්නේ? ඔයාලා කැමතිද ? 
මො.අ : හ්ම්ම් ඔව්  ඔයා දන්නවද එයා පළවෙනි පාර කේටරින් එකේ වැඩට ගිහින් ආපු දවසේ හම්බුණේ ශේකෙල් 150 යි කියලා මුණ නරක් කරගෙන හිටියේ "රෑ එළිවෙනකල් හිටගෙන ඉදලත් 150 යි" කිය කියා දවස් දෙක තුනක් කාමරේට වෙළා හිටියා; ඊට පස්සේ දවසක හවස අපි පීසා ඕඩර් කරපු වෙලාවේ පීසා දෙකටයි කෝක් එකටයි 110 යි කියලා බිල ආවම මොරාන්ගේ මුණ ඇඹුල් වුණා. . එදා වෙනකල් එයා  ඇඳුම් පැළදුම් ගන්න ශේකෙල් දෙතුන් සීයවල් වියදම් කරපු එක ගැන දුක් වුණා.. දවස් දෙක තුනකට සැරයක් රෑ කෑම වලට රෙස්ටුරන්ට් වලට යමු කියලා කෙඳිරි ගාන එක නැවතුණා.  එයා දැන් දන්නවා සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනේ තරම.එයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂ වුණත් මුදල් පරිහරණය ගැන එයාගේ මල්ලිට තියෙන අවබෝදෙවත් තිබ්බේ නැහැ. දැන් එයා දන්නවා සල්ලි වල වටිනාකම සහ පාවිච්චි කරන විදිය.  (ඇය සිනාමුසුව කතා කලේ) 

(මොරාන්ගේ අම්මගේ නම රෙවුත් එයා එක්ක කරපු කතාබහත් පෝස්ට් එකට එකතු කරන්න ඕනේ කියලා හිතුවේ කාටහෝ වැදගත් වෙයි කියලා හිතලා.එයා ගොඩක් ස්ටයිල් කලාට පෙණුමෙන් ආටෝප් ගතියක් තිබ්බට ජීවිතේ ගැන ගොඩක් දේවල් තේරුම් ගත්ත කෙනෙක් කියලා එයාගේ කතාවෙන් මට තේරුණා. )

ප/ලි 
මේ කාලසීමාව මං බොහෝදුරට බ්ලොග් වලින් ඈත්වෙලා ලියන්න පොරොන්දුවෙච්ච සමහර ලිපි කවදාවත් ලියුවෙත් නෑ අද වෙනකල්, තව ලියන්න ඕනෙයි කියල හිතෙන මං දවස ගානේ ඉගෙන ගන්න අවබෝධ කරගන්න දේවල් ලියන්න හිතුණත් නොලියා ඉන්නවා සමහරුන්ට ඒ කතා හරියට සුරංගනා කතා හෝ බොරු ආටෝප කතා ,එහෙම නැත්නම් ලොකු නයි වගේ පෙනෙයිද කියලත්. (ඒත් මොනා වුණත් ලියන්න කැමති කෙනෙක් නම් ලියන්න ඕනේ නේද අනුන් කියන දේවල් ගැන  නොහිතා.) සමාවෙන්න හොඳේ.

Wednesday, December 30, 2015

කිනර සයුර | sea of Galilee (preamble)

ඉර බැහැලා සෑහෙන්න වෙලා ගිහින් වුණත් ජෝර්දාන් කඳු වැටිවලට උඩින් අහස අඳුරු පැහැයක් ගන්නේ නැතුව, රතට හුරු කහ මිශ්‍ර තැඹිලි පැහැයක් අරන්. ඒක මං කවදාවත් දැකලා තිබුණේ නෑ... 

කලින් වතාවේ ගිම්හානේ මැදදී අපිට කිට්ටු වෙන්න වත් බැරි තරම් සෙනගක් ගලීල මුහුද අවට වසාගෙන හිටියත්, මේ ශීතල ජනවාරියේ ඉර බැහැලා ගිය හැන්දෑවක ශීත සුළං එක්ක ඔට්ටුවෙන නමක් දන්නේ නැති උස පඳුරු ටිකක් හැර කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ. 

මහ මුහුදෙ වගේ විශාල රැළි නැති ගලීල මුහුදේ තාලෙකට උස් පහත් වෙන රැළිති මට මතක් කළේ අනුරාධපුර වන්දනාවක ගිහින් එද්දි නතර වෙච්ච වැව් ඉස්මත්තකදී දැකපු දිය රැළිතිමයි; 

පෝය දින ගැන කිසිම සදහනක් නැති කැලැන්ඩර් එක්ක දින ගෙවන මට පිරුණු හඳ දකින හැම වෙලාවකම ගෙදර මතක්වෙනවා. පොහොයට පන්සල් යන සිරිතක් තිබුන හෝ නිතර සිල්සමාදන් වුන්  මතකයක් නොතිබුණ මම  පිරුණු හඳ දිහා ආදරයෙන් වරුවක් වුනත් බලන් ඉන්න හේතුව ගැන හිතන්න මට උවමනාවක් නැහැ. 

 සඳ වැවට උඩින් පායපුවම වැවේ වතුර සඳ එලියේ චායාව අරන් රත්තරන් පාට වෙලා තියෙන පින්තූර විතරක් දැකලා තිබුණ මට, ඒ පින්තූර වල කිසිම විශේෂයක් පෙනුණේ නෑ. පුංචි කාලේ හම්බුණු වෙසක් කාර්ඩ් වල ඒ දර්ශනේ හරි ලස්සනට තිබුණා; (මං මගේ ඇස් වලින් දැකපු ලස්සනම දේවල් අතර උඩින්ම තිබුණේ අපේ තාත්තා බෝගම්බර ඉද්දි මට හදලා එවලා තිබුණු...නෑ ඒ මතකය මේ කතාවට කොහෙත්ම යාවෙන්නේ නෑ මේක රොමෑන්ටික් කතාවක්). 

ජීවිතේ කවදාවත් සඳ රැස් ගලාගෙන ඇවිත් වතුරේ දියවෙනවා කියලා මං විශ්වාස කලේ නෑ. ඒ ලස්සන මගේ ඇස් වලින් හිතපුරා විඳ ගද්දි මගේ ඇස් දකින අර උස පඳුරු හිත් යටින් මට හිනාවෙන්න ඇති.

සමහර ඉංග්‍රීසි චිත්‍රපට බලද්දි, සමහර දර්ශන වල මිනිත්තු ගණන් කිසිම වචනයක් කතා කරන්නේ නැතුව එකිනෙකා දිහා බලන් ඉන්න පෙම්වතුන් හෝ තනි ගැහැණියක් එහෙම නැත්නම් පිරිමියෙක් ඉන්න බොහෝ වෙලාවල, ඒ දර්ශන විකාර විදියට සහ අස්වාභාවික දේවල් විදියට මම දැක්කා. කොටින්ම ඒ චිත්‍රපටය බැලීම නතර කරලා ක්‍රියාදාම චිත්‍රපටයක් බලන්න පටන් ගන්න වෙලාවල් පවා තිබ්බා. ඒ මමම අද නොරටක පුංචි මුහුදක් ළඟ නැවතිලා.

සීතල සුළඟ නොනවත්වාම ඇඟ පුරා දැනෙද්දිත්, සඳ මුහුදු ජලකඳ මත දිය කරන සඳ රැස් අතර, මසිතත් තබා ඒ සියලු අතීත මතකයන් දිය කරන්න මම උතසහ කළා.

ඉර බැහැලා ගියාට පස්සෙත් අමුතු වර්ණයෙන් වර්ණවත් වූ අහස ගැන දැන ගැනීමේ ආශාව යටපත් කරලා සඳ එළියෙන් මිදුණු මාව දැකපු  ඔහු සිනාසුනේ තෘප්තිමත් හදවතකින් වග මා මෙන්ම උස් පඳුරුත් දකින්නට ඇති. 

ඒත් සීතල ජනවාරියේ අඳුරු හැන්දෑවක තනිවූ පෙම්වතුන් එකිනෙකා තුරුළු වෙමින්, උණුසුම් හාදූ අතර කිමිදෙනවා වෙනුවට අහස ඒ පාට වුණේ ඉහළින් ඇති ලෙබනන්, සිරියන් කාන්තාර වලින් සුළඟට මුසුවූ දූවිලී අංශු නිසාද, නැත්නම් වෙන හේතුවක් නිසාද යන්න අහන එක හරිම අතාත්ත්විකයි. 

ඒත් ඒ ප්‍රශ්නේ මං ඇහුවොත් එයා අනිවාර්යයෙන්ම උත්තර දේවී..නෑ නෑ පස්සේ අහනවා..ආයේ මේ වගේ මොහොතක් අපිට කාලෙකින් නොලැබේවි.

ඒත් ඒ ප්‍රශ්නේ... පස්සේ මට අමතක වුනොත්.... මොහොතකට සියලු සිතුවිලි විසිකර මසිත පමණක් නොවේ ගතත් ප්‍රියකරන, ඔහුව තදින් වැළඳගෙන ඇස් දෙකම තදින් පියාගත්තා.
-----------------------------------------
ප/ලි 

අද අවුරුද්දේ අන්තිම දවස..මාස කීපයක් නොලියා හිටියත් බොහෝ හිතවත් බ්ලොග් කරුවන්ගේ ලියන්නේ නැද්ද නංගි,ආයෙම ලියන්න ,මොනාහරි ලියන්න කියන ආදරණීය ඉල්ලීම් හමුවේ ආයෙම ලියන්න හිත මේවා කරගත්තා. මේ ලිපිය ලිවුවේ ඇයි කියලා මං දන්නේ නෑ..මට ලියන්න අවශ්‍ය වුණේ ගලීල මුහුද ගැන..සහ තිබේරියා කියන නගරයේ ඉතිහාස කථාවන් ගැන. පෝස්ට් එක අඩුපාඩු සහිත ඇති ඉක්මණින් යථාතත්වෙට එන්න උතසහ කරන්නම්.. ලියාදාන එක මතකයන්  හිතේ කොන් වල හිරවෙලා මැකිලා යන්න ඉඩ අරිනවට වඩා හොඳ වෙයි. 

සුබම සුබ අලුත් අවුරුද්දක් මගේ යාළුවො හැමෝටම.

Monday, September 7, 2015

Why don't my children ever call me !!


ෆෝන් එකක්  කැඩුණම හදනා කෙනෙකුන්  සොයමින් එක මහළු පියෙක්  පාරට බැස්සා...

මගතොට  හමුවුණු  අයගේ උදව් ඇතුව...
අවසානේ එහෙම තැනක් වෙත ඔහු ඇදුනා......

පුතේ මේක කැඩිලා වගේ හෝදිසි කර ලෙඩේ බලා ගන්නට ඕනේ....

ඉටි බෑගය සහ එවැනිම තවත් බෑග දෙකක් ඇතුළේ ලේන්සුවකිනුත්  සුරැකුණු  පුංචි පහේ දුරකථනය එළියට අවා ...


මුවරැඳි  සිනහව යටකොට දුරකථනය දෑතින් ගත් තරුණයා එය  හොඳ හැටියට පිරික්සාලා  නැවත පැමිණුනා..

මේකේ කිසිම ලෙඩක් නෑනේ හැමදෙයක්ම හරියට වැඩ 
සීයට තියෙනා ගැටළුව කියමු බලන්න....

නෑ නෑ නෑ වෙන්නට බෑ  එහෙනම් ඇයි  මගේ දරුවන් කවදාවත් මට මේකට  කෝල් නොගන්නේ.. 

ප/ලි

පෝස්ට් එකක් ලියන්න  ඕනේ හෙට අනිද්දට  :(
මධු ගේ  පෝස්ට් ස්ටයිල්  එකට  කියෝගන්න 

Sunday, August 9, 2015

පූසොත් එක්ක බෑ




 මේ ඉන්නේ  මං ගොඩක් ආදරේ කරපු ජින්ජි. මේ සෙල්ෆිය  ගත්තෙත් එයාම තමයි.  පූසන් සහ මා අතර තියෙන මමවත් නොදන්න බැඳීමක් ගැන ලියන්න හිතුණා අද  ශෙඵාකිගේ පුසියෙක්  ගැන ලියලා තිබ්බ පුංචි පෝස්ට් එකක් දැකලා. මීට අවුරුද්දකට විතර කලින් ලියන්න පටන් අරන් අතරමග නවත්තපු පෝස්ට් එකක් ඒක.

මට මතක හැම කාලෙකම වගේ අපේ ගෙදර පුසෙක් හිටියා.ඒත් අපේ අම්මා ආස බල්ලන්ට පූසන්ට එයා කැමති නෑ. කුස්සියේ  මොනාහරි පෙරළුනොත්,,උඹලකඩ ,කරවල වගේ ජාති නැති වුණොත් පූසා තමයි වැරදි කාරයා,එයාගේ  බල්ලා කරෝල කෑල්ල කටේ තිබ්බත්  කන්න කිවුවේ නැත්තනම් කන්නේ නැති අහිංසක වැදගත් සතා.. අම්මා ගැන ලියන්න ගියොත් පෝස්ට් එක ලියන්න වෙන්නේ නෑ. ඒ හින්දා පූසෝ ගැන ලියන්න ආපු එක ලියලා ඉන්නම්. 

මුලින්ම මගේම කියලා පූසෙක් හැදුවේ  මට  අවුරුදු  15ක්  වගේ කාලේ. එයාගේ නම "චාලි" ඒ කාලේ ආසාවෙන් බලපු ටීවී සීරිස් එකක කොල්ලගේ  නම. (එයාට අවුරුදු 40ක්  වගේ පෙනුම ඒත් මාර හැන්ඩ්සම් ) චාලි ගොඩක් වෙනස් පූසෙක්. මං ඉස්කෝලේ ඇරිලා එන වෙලාව එනකල් වැට අයිනට වෙලා ඉන්නවා. ඔයාලා හිතයි බොරු කියලා ඒත් ඒක ඇත්ත. අම්මා කියනවා පුසත් මං වගේම මහ කම්මැලියි  මං ඉස්කෝලේ ගියවෙලේ ඉඳන් මු නිදි කියලා. එයාට ඉතින් නිදියන පූසෙක් වත් පේන්න බෑනේ..පූසෝ ඉස්කෝලේ යන්නෙත් නෑ විභාග ලියන්නෙත් නෑ ,,අඩුගානේ පූසන්ට බෑ අම්මට බෝංචි ටිකක්  කඩලා දෙන්න. උයන ගමන් හොද්දට දාන්න කුමාරිපුන්චිලගේ දිහයින් ගම්මිරිස්  ඇට දෙක තුනක් ඉල්ලන් එන්න.. ඒත් එයා පුසටත් කෑගහලා බයිනවා.. සමහර වෙලාවට මං දකිනවා අම්මගේ කටහඩ ඇහෙද්දී පුසගේ කන් දෙක ගැස්සෙනවා ටග් ගාලා හැංගෙනවා. හි හි  

චාලි රෑට නිදාගන්නේ මගේ ඇඳේ. රෑට මං ලයිට් දාන් පාඩම් කරනකල්  ( පාඩම් කරනවා වගේ දොරට පිටුපාලා තියෙන පුටුවේ ඉඳන් මනෝ ලෝකේ වෝක් කරද්දී)  චාලි නියම දඩයක්කාරයෙක් වගේ ඇස් ලොකු කරගෙන බිත්තිවල ඉන්න හුනන්ට මාන බලන හැටි මට කවදාවත් අමතකවෙන්නේ නෑ. අම්මගේ අඩිසද්දේ මුලින්ම අදුරගන්න චාලි ඇඳ යටට රිංගලා හැඟෙන්නේ පුසන්ට බයේ දුවලා අර ගැහි ගැහි ඉන්න කාටුන් වල මීයෝ වගේ. ඒ  අවෑමෙන් මාත් ඔළුව කෙළින් කරලා අතට අහුවෙන පොතක් දිහා ඇස් චුටි කරන් ගොඩක් වුවමනාවෙන් කියවන්න පටන් ගන්නවා. අඩුගානේ සද්දේ දාගෙන එන අම්ම ආපු බව ඇහෙන්නෙත් " දැන් ඔය ඇති පාඩම් කළා නිදාගන්න " කියලා අම්මා කියද්දී. චාලි මං ලඟින් නිදාගද්දී එයාගේ ඇඟ ඇතුලේ මැෂින් එකක් වැඩ කරනවා වගේ අමුතු සද්දයක් එනවා ඇහෙනවා....

චාලි දැනගෙන හිටියා ගෙදර එයාට ආදරේ කට්ටියයි එයාට අනතුරුදායක කට්ටියවයි. ලේන්නු , වල් හා පැටව් ,හුනෝ කන්න තමයි එයා ගොඩක් කැමති වුණේ. සාලේ සැටිය යට මගේ ඇඳ යට තිබිලා නිතරම ලෙන්න්නුන්ගේ නැටි හම්බෙද්දී අම්මා කෑගැහුවා ඔය පුසා ගෙදර තියාගන්න හොඳ එකෙක් නෙමේ  කියලා.. "මීයෝ මෙච්චර ඉන්නවා,, මීයෙක් මේකගෙ ඇඟ උඩින් ගියත් ගාණක් නෑ අර අහිංසක  හා පැටව් ලේන්නු කනවා.. ..බුදු බනෙත් තියෙනවනේ  සත්තු උන්ගේ අයිතිකාරයෝ වගේ හැදෙනවා කියලා "  (බුදුබනෙත් කියන කොටස එයා නිතරම අතින් දානවා, බුදුබණ ඔක්කොම හැමෝම දන්නේ නෑ කියලා එයා තදින්ම විස්වාස කරන හින්දා වෙන්න ඇති.) චාලි අවුරුදු  8ක් ජිවත්වෙලා මැරුණා.

 චාලිට පස්සේ පූසෙක් කිසිම පුසෙක්ට ගොඩක් ආදරේ හිතුණේ නෑ. ඒත් පූසෝ මගේ පස්සේ එන්න පටන් ගත්තා හැමදාමත්. ඒකට හේතුවක් මං දන්නේ නෑ. පූසෙක් බලාපොරොත්තු වෙන්න බැරි තැන් වලදී මට පූසෝ හම්බෙලා තියෙනවා. මේ පහුගිය අවුරුදු  දෙකට මේ රටේදී මට හම්බෙච්ච පූසෝ ගාන දෙසීයකට වඩා වැඩි ඇති.  සමහර වෙලාවට බස් හෝල්ට් එකකට ගිහින් විනාඩි දෙක තුනක් යද්දී  කකුල් වල මොකෙක්ද පැටලෙනවා බලද්දී පූසෙක්.. මං විතරක් නෙමේ තව පස් හය දෙනෙක් ඒ වෙද්දීත් ඉන්නවා ඒත් පුසෙක් කොහෙන් හරි ඇවිත් මගේ මුණ දිහා බලන්න හදනවා කකුල් වලට නැගලා උඩට එන්න හදනවා,, මුල් කාලේ මං එච්චර ගණන් ගත්තේ නැති වුණත් පස්සේ එහෙම දකින පුසන්ව ෆොටෝ ගන්න පටන් ගත්තා. ඒ ව්දියට ගත්ත එක එක විදියේ ,එක එක වර්ගයේ , පුසන්ගේ ෆොටෝ ගොඩක් මං ළඟ තියෙනවා. සමහර පූසෝ පාට ලස්සනයි ඒත් මුණ කැතයි.,, මුණ කැත සමහර පූසෝ හරි හුරතල් ඒත් උන්ගේ  පාටත් කැත නිසා මං ආස නෑ. ආඩම්බර ,අහිංසක ,නැහැදිච්ච ඔය විවිධාකාර පූසෝ පූස් සමාජේ ඉන්නවා.

මීට අවුරුද්දකට  වගේ කළින් බලාගත්ත ආච්චිගේ දුව කිවුවා  එයාලගේ ගේ හදලා අවුරුදු 55 ක්  ඒත් කවදාවත් ඒ ගෙදරට පුසෙක් ඇවිත් නෑ කියලා.. ඒත් මං ගිහින් දවස් දෙක තුනක් යද්දී  කඩේට යද්දී එහෙන් මෙහෙන් කකුලේ දැවටිච්ච කළුපාට පුසෙක් ටික ටික පස්සෙන් ඇවිත් ගෙදර පදිංචිම උණා. ඊට පස්සේ  කොහෙන්දෝ ආපු තව පුසෙක්.. අන්තිමට මාස 5ක් වෙද්දී පූසෝ හයක් ගෙදර. මුලින් මුලින් මරාගත්ත පූසෝ අන්තිමට හොඳින් ඉන්න පටන් ගත්තා. ඔය උඩම පොටෝ එකේ ඉන්න ජින්ජි තමයි ගොඩක්ම හුරතල්.. මං එයාට ආදරේ බව දැනගත්තට පස්සේ ජින්ජි අනිත් පූසෝ ඉස්සරහා හරි ආඩම්බරකමින් හැසිරුණේ... වචනයක් වත් කතාකරන්නේ නැති ආච්චි කෙනෙක් එක්ක තනියම ඉන්න මට පූසෝ නිසා දවස ගෙවෙනවා දැනුණේ නෑ. ඔය අතර මං නිමාඩු යද්දී දකිනවා පූසෝ මං දිහා බලන් ඉන්නවා.





මෙයා ඔල්සි 

ජින්ජි  තමයි ඔය මුදුනා වෙලා ඉන්නේ 

ඒ ජොබ් එකෙන් අයින්වෙලා පූසෝ ටික දාලා යද්දී ගොඩක් දුක හිතුණත් ඉක්මනට මට ඒ අයව අමතක වුණා. ජින්ජි කියලා ගෑණු නමක් දාගෙන පුසියෙක් කියලා හිතං හිටියට මෙයා පුසෙක් කියලා දැනගත්තේ හුඟ කාලෙකට පස්සේ. ඉතින් ඔන්න  ඊට පස්සේ  ජොබ් එකේදී අපේ ගේ තිබුණේ දෙවනි තට්ටුවේ මගදී පූසෝ හම්බුණාට එයාලට මාව හොයන් ගෙදරට එන්න බෑනේ... අපේ ගේ තියෙන්නේ පඩිපෙළ නැගලා ගියාමනේ කියලා හිතං හිටියට සතියක් යද්දී හවසක



මෙන්න මෙහෙම එල්ලීගෙන පොඩි පූස් පැටියෙක් කෑගහනවා. වැස්සේ තෙමිලා පූස් පැටියෙක් උනාට වවුල් පැටියෙක් වගේ වෙලා. ගෙට අරන් පිහදාලා මගේ කාමරෙන් තියාගත්තා උදේට යවනවා කියලා හිතං.. රෑ මෙයා නිදාගන්නෙම නෑ මොනාකරත් . ගෙදර තිබ්බ සෙල්ලම් බඩු ,ටිපිටිප් ,කිරි මොනාදුන්නත් කෑවෙත් නෑ කෑගහනවා.. ආච්චිට කන් ඇහෙන්නේ නැති හින්දා ගාණක් වුණේ නෑ.  මට පූසා ලගට වෙලා ඉන්නත් බෑ ආච්චි බලන්න යන්නත් ඕනේ.. පූස් පැටියා කෑගහනවා ඉවරෙකුත් නෑ... ඊට පස්සේ යු ටුබ් එකේ නිකමට චෙක් කරලා බැලුවා පූස් පැටව් නලවන සංගීතයක් මොකක්හරි..


ඒකත් හම්බුණා.. දගලා දගල හිටපු පූස් පැටියා මෙන්න හිමීට නිදාගත්තා....





ගූගල් දෙවියන්ටත් යූටුබ්ටත් පිං සිද්දවෙන්න පූස් පැටියා පැය තුන හතරක් හොඳට නිදාගත්තා.. නිදියලා නැගිටලා කිරිත් බිවුවා. ආයේ කෑගන්න හදද්දී පැය ගාණක් දිග පූස් රිලැක්සීන් මියුසික් ප්ලේ කරලා ලයිට් නිමුවා (ආච්චිට කන් ඇහෙන්නේ නෑ ඒ හින්දා එයා මේ මොකුත් දන්නේ නෑ)

 උදේ හය වෙද්දී ආයේ මෙන්න සද්දේ.. පුස් පැටියා අරන් උදේ ටිකක් එළියට යද්දී මෙන්න පූස් පැටියා වගේම ලොකු එකෙක්. මං ඉතින් පැටියව අම්මට බාර දීලා ආසාවෙන් ගෙදර ඇවිත් ආච්චි එක්ක දවස පටන් ගත්තා.. දහයට විතර දොර ඇරලා බලද්දී අම්මයි පුතයි දෙන්නම දොරේ එල්ලීගෙන. ලොකු පූසා අයිතිකාරයෙක් නැතුව හැදිච්ච කෙනෙක් ඒ නිසා කිසිම තේරුම නෑ කෑගහනවා කන්න ඉල්ලනවා දවස් තුන හතරක් යද්දී මට කරගන්න දෙයක් නෑ පූසෝ දෙන්නා මදිවට තව අලුත් පූසෙක්...පොඩි පූසා හදාගන්න කොච්චර ආසාව තිබ්බත් එයාගේ අම්මා නිසා ඒකත් කරන්න බෑ. පස්සේ දවසක පොඩි පිරිමිලමයි දෙන්නෙක් ඇවිත් පොඩි පුසව මගෙන් ඉල්ලුවා... දුකෙන් උණත් පූස් පැටියව ඒ ළමයින්ට දීලා හිත හදාගත්තා. එයාලා එක්ක ෆොටෝ කීපයක් ගත්තා ළමයින්ව මතක තියාගන්නත් එක්ක.


මෙයාට  මං නම දැම්මේ "ඉලානා " කියලා.

පැටියව  දීලා දවස් දෙක තුනකින් අම්මත් ගෙදරින් ගියා. එයින්  පස්සේ කොච්චර පූසෝ මගතොටදී දැක්කත් ගෙදර ගිහින් හදාගන්න හිතුණේ නෑ කිසිම පුසෙක්ව. 

මීට මාස දෙකකට කලින් මේ ජොබ් එකට ආවම මං මටම කියාගත්තා පූස් කරදරේ ඉවරයි කියලා. ඒ මොකද අපේ ගේ තියෙන්නේ  6 වෙනි තට්ටුවේ ,ඇලවේටර් එකයි ,ආරක්ෂක දොරයි එක්ක පුසෙක්ට ආයේ මාව හොයන් ගෙදරට එන්න වෙන්නේ  නෑ කියලා තේරුණ නිසා ඒත් ගිය සිකුරාදා චුටි පූස් පැටියෙක් ගේ දොර අරිද්දි.. කාගෙහරි  අපේ ෆ්ලො එකේම කෙනෙක්ගේ වෙන්න ඇති කියලා ඇරියට වඩා වේගෙන් දොර වහලා දැම්මා. 


ප/ලි

Monday, July 27, 2015

The Earth is Art, The Photographer is only a Witness part 2.

පුදුම කම්මැලි කමක් දැනෙන්නේ  බ්ලොග් කියෙවුවට පෝස්ට් එකක් ලියන්න හිතෙන්නෙම නෑ. ලියන්න දේවල් කොච්චර තිබ්බත් ලියන්න ඉඳගත්තම දැනෙන්නේ  ජිවිතේ පළවෙනි පාරට මොනාහරි ලියන්න යනවා වගේ. ඉතින් තේ එකක් හදන් එනවා  ..තේ නිකන් බොන්නයෑ මොනාහරි  කනවා  ඊට පස්සේ  ටිකක් ඇඳට ගිහින් ඇලවෙලා ඉන්න හිතෙනවා.. නින්ද යනවා. ඕක තමයි සාමාන්‍යයෙන් හැමදාම වෙන්නේ...

හීන ගැන මොනා ලියන්නද කියලා හිතුණත් කෙළවරක් නැතුව ලියන්න පුළුවන් තරම් දේවල් හීනත් එක්ක මගේ ජීවිතේ දිනපතා සිද්දවෙනවා. ජෝර්ජ් හම්බෙන්න කළින් ඉස්සරම ඉස්සර කාළෙක ..."අර ඔයාලට මතක ඇති මං මළ මුහුදේ ...බෙත්ලෙහෙමේ ගිය පෝස්ට් වල ෆොටෝ ගත්තේ  ෆෝන් එකේ කැමරාවෙන්  මට කැමරාවක් නෑ... ඒත් ගන්න ඕනේ" කියලා කමෙන්ට් එහෙම දැම්මේ.. ඔය අවුරුදු එක හමාර දෙක කාළය අතරතුර එක එක විදියේ ඩිජිටල් කැමරා ගැන යාළුවො කිවුවා මේක නියමයි ගන්න  ඩොලර් පනහයි.. හැටයි... ඒත් ඒවා චුටි චුටි  කැමරා ඒවා අල්ලලා ෆොටෝ එකක් ගන්න තරම් වත් මගේ හිතේ ආශාවක් තිබ්බේ නෑ.. මගේ හිත හීන මැවුවේ නයිකොන්  (Nikon)හරි  කැනන් (cannon)  වර්ගයේ හොඳ DSLR කැමරාවක් ගන්න අර මාරු කරන එහෙට මෙහෙට කරකෝන ලොකු සීන් තියෙන ලෙන්ස් කිට් විතරක් නෙමේ අර Tripod අනම් මනම් ඔක්කොම එක්ක.  ඒත් ඒවල ගණන් බලද්දී අම්මා මතක් වෙනවා. මං ආස වුණාට එයාට  ඕක නිකරුණේ සල්ලි නාස්ති කිරිල්ලක් විතරක් නිසා.... 

දැන් තමයි කතාවේ මං ආසාවෙන්ම ලියන කොටස හරිද....... ජෝර්ජ් එක්ක ඉන්න ගමන් එයාට මං ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ පෙන්නුවා... හරි ගැම්මෙන් ඉතින් විස්තර කලේ ෆොටෝ ගැන.. ඊට පස්සේ දවසට ගන්න සීයක් විතර ෆොටෝ වලින් හොඳ එවුවා  ජෝර්ජ් ට පෙන්නන එක පුරුද්දක් වුණා. ඊට පස්සේ මං ගත්ත ෆොටෝ කීපයක් එයාගේ  බෑනා කෙනෙක් බලලා  ලොකුවට අගේ කරලා තිබ්බා.. ඊට පස්සේ ජෝර්ජ් ට ඕනේ වුණේ කැමරාවක් ගන්න අදහසක් නැද්ද කියලා මගෙන් අහන්න.... 

යු ටුබ් එකෙන් කැමරා ගැන ,ෆොටෝග්‍රැෆි ගැන වීඩියෝ බලලා මට ඊමේල් එවලා  පහුවදා  යෝජනා වුණා  "මායා කැමරාවක් ගන්න ඕනෙමයි "කියලා. එයා කියයි මමනේ ඉතින් ගන්න ඕනේ ඒ හින්දා හිනා වෙලා නිකන් හිටියා....... (දැන් තමයි හොඳම හරිය)... පහුවදා උදේ නැගිටලා ජෝර්ජ් බලන්න යද්දී  මගේ නම ලියපු චෙක් එකක්. ගාන ලියලා නෑ.... ඊට පස්සේ ජාලේ පීරලා පීරලා සීයට ලොකු බරක් නොදැනෙන මගේ හීනෙටත් සෙට් වෙන නයිකොන් කැමරා එකක් සිලෙක්ට් කර ගත්තා.... හුරේ......එදාම ඕඩර් කළා... දැන් අපි බලන් ඉන්නේ  කැමරාව හම්බෙනකල්....( සීයට ඕනේ එයා මැරෙන්න කළින් මං ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැපර් කෙනෙක් වෙනවා බලන්න. හි හි ඒත් අපේ අම්මගේ හීනේ වෙන එකක් )

නිකමට අම්මට කිවුවා  අම්මා කියපි " අනේ මෙහෙමත් මෝඩියෙක් අපරාදේ සල්ලි කැමරා මොනාකරන්නද? අපරාදේ සල්ලි !!! "  අම්මා ගැන අලුත් කථාවකුත් තියෙනවා කියන්න. ඊලග ලිපියේ ලියන්නම්  එයා ගිහින් "කනප්පු කරකෝලා  හොරු අල්ලන මොකක්ද එකක් බලන්න.. කනප්පුව ඉස්සුනාලු කතා ගොඩයි.. ඒ සේරම ඊලග කොටසට...  අදට මගේ  ගැලැක්සි s 3   ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ කීපයක්....


මේක ගත්තේ ඉරමුදුන් වෙලාවේ ගලීල මුහුද අයිනේ..ගොඩක් දුර මේ බෝයි හිටියේ ඒත් එයා හිටපු ඉරියවුව මාව පෙළඹුවා ෆොටෝ එකක් ගන්න.

ලෙබනනයට කිට්ටු  උතුරේ කන්දක් කපලා මොනාද හදන තැනක්.. හයි වේ එකේ 120 ට වඩා වේගෙන් යන වාහනේක ඉඳන් මේක ගත්තේ.

ගිය මාසේ  හයිෆා  වෙරළේ සයිප්‍රසය පැත්තේ ඉඳන් එන ප්ලේන් බල බලා ගත්තේ 

අහසෙයි ,වලාකුළු වලයි  ෆොටෝ ගන්න මං ගොඩක් ආසයි..මේ වරාය පේන පැත්ත 

මේ තාත්තයි පුතයි දැක්කම මට අපේ තාත්තා මතක් වුණා. ළමයගේ අම්මා පොඩි අලිපැටියෙක් වගේ  ඔහේ  ෆෝන් එකක් ඔබ ඔබ හිටියා ..මේ දෙන්නා ගොඩක් වෙලා සෙල්ලම් කළා,

ජෝර්දාන් ගඟ ලඟදි ගත්තේ. මේ මනුස්සයා ෆොටෝ එකට එයාව ගන්න එපා කිවුව හින්ඳම ගත්තා.

අළුතපොල පන්සලේදි ගත්තේ මේක. සත්තුන්ගේ පාට දැක්කම ගන්න හිතුණේ.ඒත් එච්චර  සාර්ථක පින්තූරයක් නෙමේ. 



නම දන්නේ නැති මලක්



-----------------------------------------------------------

ප/ලි

දහස් ගාණක් එක එක විදියේ ෆොටෝ වලින් ලැප් එකේ තිබ්බ ඒවා කීපයක් පෝස්ට් එකට එකතු කරේ ෆොටෝ දාපුවම පෝස්ට් එකේ බර වැඩි වෙනවයි කියන නිසා.

 හොඳ ෆොටෝ එකක් ගන්න කැමරාව සහ ඒකෙ මෙගාපික්සෙල් ගාන වැදගත් නෑ හොඳ ඇහැකුයි තියෙන්න ඕනේ කියලා කතාවට කිවුවට. මගේ ෆෝන් එකෙන් සමහර මං දකින කෝණ වලින් ෆොටෝ එකක් හරියට ගහ ගන්න බරිවෙද්දී  හොඳ කැමරාවක අගේ හොඳින්ම දැනෙනවා.... සීයා සල්ලි නොදුන්නත් මං කැමරාවක් ගන්නයි හිටියේ... අපි ගොඩක් පැති ගැන හිතලා එක එක්කෙනාගේ අදහස් ගැන හිතලා අපි ආස කරන ගොඩක් දේවල් වලින් ඈත්වෙලා ජිවත් වෙනවා...ඒක හරි අපරාදයක් අප්පා.
ස්තුතියි.

Monday, July 6, 2015

new job with ice coffee junkie

හායි ගායිස්....
කාළෙකින් ආවම එක පාරට  ලියාගන්න බෑ..ලියන විදිය අමතකයි. පෝස්ට් ලියද්දි  ඉන්න ඉරියව් අමතකයි...,ඇත්තටම  ඒක මහා අමාරු වැඩක්. ඒත් කොහෙන් හරි පටන් ගන්න එපැයි. ඉස්සරම ලියද්දි වගේ බිම දිගාවෙලා ලියන එක හොඳයි වගේ. 

ජොබ් එක මාරු කළා ඇත්තටම කළින් ජොබ් එකට වඩා හොඳ තැනක් හම්බුණු නිසා. අතරමැද  විස්තර අනම්මනම්  ගොඩක් තියෙනවා ඒ හැම එකම අතෑරලා  ලියන්න හිතුවා  අවුරුදු හතර පහක් තිස්සේ සැබෑකරගන්න  උත්සහ කරපු සැබෑ කරගත්ත හීනයක් ගැන. 

මගේ පරණ ලිපි කියෝලා තියෙන ඔයාලා දන්නවා මං හීන දකින්නියක් (සැබෑ ලෝකේ ජීවත්වෙන) .. ඒ වගේම  ඒ හීන වලට සාත්තු කරන්නියක්.  
මේකයි කථාව 
-----මං ආස කළා
  • ඇමරිකන්  එම්ප්ලෝයර් කෙනෙක්  එක්ක වැඩ කරන්න. 
  • ඒ වගේම නිව්යෝර්ක් හෝ කැලිෆෝර්නියා වල ජිවත්වෙච්ච,
  • ලෝකේ වටේ බිස්නස් කරපු සහ සංචාරය කරපු, 
  • PHD එකක් තියෙන,
  • පොත් කියවන,
  • කවි ලියන්න පුළුවන්
  • තනියම ඇවිදින්න පුළුවන්,
  • මාත් එක්ක නිතරම ඉන්ග්ලිෂ් වලින් කතාකරන,
  • මං අහන හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙන,
  • අල්සයිමර් ,ඩිමෙන්සියා වගේ ලෙඩ නැති,
  • අධිරුධිර පීඩනය , දියවැඩියාව වගේ ලෙඩ නැති,
  • පුතාලා සහ මුණුබුරෝ නැති(දුවලා විතරක් ඉන්න), 
ෂෝයි සීයා කෙනෙක්...වෙන්නත් ඕනේ. 

..ඒක ඇත්තටම  මගේ හිතුවක්කාර කමට දැකපු හීනයක්.."ඕවා හැබෑවෙන්නේ  නෑ හලෝ කියලා සමහරු කියන්න පුළුවන් නිසා කාටවත් කීවේ නෑ".. ඒත් ගොඩක් ලඟින් ආශ්‍රය කරපු යාළුවෙක්ට ටිකක්  කෙටියෙන් කියලා තිබ්බා.  මීට මාස දෙකකට වගේ කලින්  මං අලුත් රැකියා හොය හොයා ඒවට කෝල් කර කරා  වෙබ් සයිට් පීරන අතරේ අපූරු දැන්වීමක් දැකලා කෝල් කරලා  අපොයිමන්ට් එකක් දාගෙන හදිසියෙම ජොබ් එක බලන්නත්  ගියා. අපොයිමන්ට් එක දාපු වෙලාවේ සීයමයි කතා කලේ කොහේ ඉඳලා හරි  ටැක්සියක එන්න කිවුවා ,ඒ වගේම එයා ටැක්සියට සල්ලිත් දෙනවා කිවුවා මං එක පයිම්ම ඉතින් හහ් කිවුවා.   

එක්කෝ  ඉන්ටවිව් එකේ විස්තර පස්සේ ලියන්නම් ඒක හරි ෂෝයි කථාවක්....... ලිවුවොත් පෝස්ට් එක දිග වැඩිවෙනවා ෂුවර්. ටැක්සියට සල්ලි දෙනවා කිවුවට ඇත්තවශයෙන්ම මං බස් එකේ ගියේ, බස් එකට  දහයයි ටැක්සියට  දෙසිය දහයයි කියලා ටිකක් අවංක වෙන්න හිතාගෙන නියම ගාණට වඩා දහයක් අඩුවෙන් කිවුවා හි හි.. ඉතින්  ආපු  හැටියෙම බොන්න වතුර දීලා ටැක්සියේ ගාන අහළා ඒක දීලා තමයි ඉන්ටවිව් එක පටන් ගත්තේ.. ආපහු යන්න  එක්ක තව දෙසිය විස්සක් දෙන්න හදද්දී  මං කිවුවා බස් එකක යන්න පුළුවන් සල්ලි එපා කියලා.. ඉන්ටවිව් එකට ලකුණක් එකතුකර ගැනීමේ යටිඅරමුණ ඇතුවයි සැහැල්ලු හිනාවක් එක්ක මුදල් ප්‍රතික්ෂේප කලේ අපහසුවෙන් වුණත්.. 

පැයක් විතර සීයා මගෙන් එක එක විදියේ ප්‍රශ්න ඇහුවා,අහන ඒවට මං දෙන උත්තර ලියාගත්තා.. සීයා හිබ්රු වචනයක් වත් දන්නේ නෑ.. ඉංග්ලීස් විතරයි කතා කලේ මට  එක පාරට මගේ "සිහින කුමාර සීයව මතක් වුණා" ඒක හරි පුදුමයි  මට අමුතු පණක් ආවා. සීයා ප්‍රශ්න අහන අතර මටත් ඉඩ දුන්නා එයාගෙන් ප්‍රශ්න අහන්න ඉබ්බා දියේ දැම්මා  වගේ සීන් එකක් මං ඇහුවා ඔයා ඇමරිකාවේ මොන ස්ටේට් එකෙන්ද කියලා  ඉපදිලා තියෙන්නේ නිව්යෝර්ක්.. කැලිෆෝර්නියා වලත් අවුරුදු  25 ක් වගේ ජිවත් වෙලා තියෙනවා..ඒ වගේම චිනේ, හොංකො වගේ රටවල එයාගේ කම්පැණි එකේ ඔෆිස්  තිබිලා තියෙනවා...හැම මාසෙකම වගේ ලෝකේ පුරා එක එක රටවල ඇවිදලා තියෙනවා...

ඉබේටම වගේ මගේ ලිස්ට් එකේ තිබ්බ ප්‍රශ්න එකින් එක අහන්න පුළුවන් වුණා.. ඔයාට කියන්න කොටින්ම  සීයට ඉන්නේ  දුවලා දෙන්නෙක් විතරයි  ඒ මදිවට දෙන්නටම ඉන්නේ දුවලා  තුන් දෙනා ගානේ.... ඒක කියද්දී මට බය හිතුණා..මං නිකමට හිතපු ඒවා ඒ විදියටම සෙට් වෙනවා..සීයා අහපු සමහර ප්‍රශ්න වලින් මං දැනගත්තා එයත් අපි වගේ  ටයිල් කැටයක් දිහා බලලා රූප මතුකරගන්න ,වලාකුළු දිහා බලන් චිත්‍රපටි හදන කෙනෙක් කියලා.   ඉන්ටවිව් එක ගැන තව ලියන්න ඕනේ. ඒත් දැන් නෙමේ  තව දවස්  දෙක තුනකින් වගේ  අදට මේ ඇති.. දැන් මං මාසයක් මේ කියන සීයත් එක්ක වැඩ කරනවා.. අපි දෙන්නා හැමදාම එළියේ ඇවිදින්න යනවා. ඒ යන්නේ අයිස්කෝපී බොන්නයි අයිස් කෝපී ගැන කවි ලියන්නයි.. 

සීය හදපු මෙම්බර්ෂිප් කාර්ඩ් එකක්.



හවසක අයිස්කොපි බොන ගමන් මේ ෆොටෝ එක අරන් මං සීයගේ වයිෆ්ට වට්ස්ඇප් එකෙන් යැවුවා. එයා රිප්ලයි  කරලා තිබ්බා "ice coffee junkie" කියලා.ඒකට කේන්ති ගිහින් තමයි ඔය එහා පැත්තේ තියෙන කවිය ලියලා මේ ෆොටෝ එක හදලා වයිෆ්ට  යැවුවේ.  සීයට 92 යි  හොඳේ වැඩි වයසක් නෑ. 


මං ගැන ලියපු එකක්. අයිස් කොෆිත් එක්ක 


Maya,maya where have you been?
We had no ice coffee today..
Everybody missed your sweet grain..
And there's nothing for us to say...

So come back maya
come home to stay
We'll drink ice coffee 
That s the way!!!

Ice coffee good till the last drop
So  cold with a straw on the top
Drink it up till is all gone
That means every Tom,Dick,John!
Ladies also enjoy its taste 
So let not a drop go to waste.

 මේක ලියලා තියෙන්නේ ගිය සෙනසුරාදා මං ගෙදර නැතිවෙලාවේ පාළුවට.. සීයා මට මායා කියන්නේ. 

මේ තව කවියක්.. එච්චර පැහැදිළි නැති නිසා ටයිප් කරන්න හිතුවා.

Maya and me take a stroll 
With a wheel chair instead of feet
Ice coffee is our goal
Drinking ice coffee is hard to beat

ඔය කවිය ලියපු දවසේ අපි දෙන්නා පැයක් විතර සිටි එක වටේම තියෙන අයිස් කොෆි ෂොප් වලට ගියා හැම තැනම ඉවරයි, ඒත් එයාට ඕනේ කොහෙන් හරි බොන්න. ගොඩක් රශ්නේ වෙලාවක් ඇවිදින එක ලේසිත් නැහැ. ඊට පස්සේ  එයා ටිකක් ඉන්න කියලා "waze" වල ගහලා කොෆි ෂොප් එකක් තියෙන තැනක් හොයාගත්තා.. මීටර් 800ක් දුරයි. මට හිනා, ඒ වගේම කේන්තියි.. පස්සේ ෆෝන් එක අරන් පාර බලද්දී  අපි ඉන්න තැන ඉදලා මීටර් 25ක් වගේ තැනක තියෙන්නේ පාර වන් වේ හින්දා waze වල අර විදියට පෙන්නන්නේ.. එදා  සතුටටයි මහන්සියටයි අයිස්කෝපී ලොකු කප් දෙකක් එයා බිවුවා. 

ඊට පස්සේ අපි තීරණය කළා සිටි එකේ තියෙන හැම කොෆි ෂොප් එකේම ෆෝන් නම්බර් ටික  ලිස්ට් එකකට ගන්න ඊට පස්සේ ගෙදරින් යන්න කලින් කෝල් කරන්න පටන් ගන්නවා ගෙදරට කිට්ටුම තැනින් ඊට පස්සේ  තමයි යන්නේ. ලෝකේ පළවෙනි වතාවට ශෙකෙල් දහයකට අයිස්කෝපී එකක් ගන්න කෝල් කරලා අහලා ගිය මිනිස්සු දෙන්නා අපි වෙන්න ඇති... ඒ ගැන අපි දෙන්නා අපිටම හිනාවුණා. හි හි ඒ වගේම සතුටට කවියකුත් ලිවුවා ටිෂූ එකක.

We are so happy today
Our ice coffee was ready on time
Now we have plentyof time to play
The ice coffee cost only a dime!

ඉතිරි කතා පසුවට... විවිධාකාර චරිත එක්ක ගැටෙමින් ගෙවන හැම දවසක්ම මට හරිම නැවුම්.  හීන දකින එක ඉතින් මං කොහොම නවත්තන්නද...

Monday, May 4, 2015

මතක දෙපළු කළ නිසල පුරහඳ



මතක පොත දිග හරී නිසල සඳ 
සිතක දුක මෝදු විය දුරක අද 
රැසක දිවියේ ගෙව්න සිහිල වැද 
මලක සැනසුම කොයි ගියෙදෝ ලද ..

එදා පසු පසින් ආ පුන් සඳ 
මෙදා සක්මනේ ළඟක නැති සද
බදා සිපගත් මතක අහෝ ! අද 
උදා කල දුකක් කළා මේ පද..

පැටියන් සමග කළ කූඩු එල්ලා අතු අග
සක්මන් සඳ පසුපසම අනේ අප ගිය යුග
ඉක්මන් ගමනින් කොහෙද හැරගියේ අප මග 
තබමින් උණු කඳුලක් සදා කල් දෙනෙත් අග ...

පළමු කවි දෙක මාත්‍රා 15 ,15  සහ දෙවැනි කවිය මාත්‍රා 20 .
ප/ලි

ඉස්සර  කූඩු හදපු හැටි මතක් වුණා ආච්චි එක්ක හවස ඇවිදින්න  ගියවෙලේ හඳ දැක්කම ලොකු  පාළුවක්  අමුතු තනියක් දැනුණා.. ඒක තාමත් අඩුවක්  නෑ ෆේස්බුක් එකේ කට්ටිය දන්සැල් කාපුවා දාද්දි කූඩු ,දකිද්දී තවත්  ඒ හැඟීම ඇවිස්සෙනවා... ඒ මතකය ගුලිකරලා  කවියක් ලියාගෙන ගියා..

ප/ලි /ලි 
බ්ලොග් එකේ ලින්ක් එක වෙනස් කරා සබ් ඩොමේන් එකක් ගත්තා. මගේ බ්ලොග් එක බ්ලොග් රෝල් වල දාන් ඉන්න අය නිමාඩු වෙලාවක අලුත් ලින්ක් එක රෝලට දාගන්න ස්තුතී.

Sunday, April 26, 2015

අම්මා part 3 | ට්‍රැෆික් පොලිස් සහ අපේ අම්මා

අම්මා ගැන  සංවේදී  කවි  කෙටි කතා වගේ දේවල්    සුලබව ලියවෙනවා.. අපේ අම්මා ගැනත් මං කවි ලියලා තියෙනවා... අපේ අම්මා ගැන  එක ලිපියක් ලියලා ඉවර කරන්න බැහැ  කියලා ගිය පාර බල්ලට නමක් දාපු  පෝස්ට් එකේදී කිවුවනේ. එදා කාට හෝ කමෙන්ට් එකක පොරොන්දු වුණා  අම්මා ලයිසන්  නැතුව  බයික්  පැදලා  පොලිසීයට  අහුවෙලා කීප සැරයක්ම  බේරිලා ආපු  කතා ටිකක් ලියන්න...


අපේ  ගෙවල් තියෙන්නේ ගම ඇතුලේ. ගම ඇතුලේ පාරෙන් ඇවිත්  ප්‍රධාන  පාරට වැටුනට පස්සේ  බස් හෝල්ට්  4ක් වගේ  තියෙන්නේ  ටවුන් එකට එන්න. ඔන්න දවසක්  අපේ අම්මා බයික් එකෙන්  ටවුන් එකේ  මිරිස්  මෝලට  ගිහින්.ඔය  මෝල තියෙන්නේ  ප්‍රධාන පාරේ  බස්  හෝල්ට් 3ක් විතර ගියාම. මෙයාට  තියෙන්නේ  ස්කුටීයක්. ( ඉස්සර මගේ  දැන් ඔක්කොම එයාගේ කරගෙන) කොහොමහරි  මිරිස් කොටාගෙන  ආපහු  ඇවිත්  මහපාරෙන් ගමේ පාරට හරවද්දී  පිටිපස්සෙන් ආපු  පොලිස්  කාරයෝ  ආම්මව නවත්තලා..
ඊට පස්සේ..
 "ලයිසන් ගන්න බලන්න "

"තාම ලයිසන් ගත්තේ නෑ" 
අම්මා කියලා. පොලිස් කාරයෝ දෙන්නා මුණට මුණ බලන් හිනාවෙලා. 
"ලයිසන් නැතුව බයික් පදින එක වරදක් කියලා දන්නවද?" 
 පොලිස් කාරයෝ අහලා 

"ඔව් සර්  දන්නවා"
"එහෙනම්  ඇයි ලයිසන් නැතුව පදින්නේ?"  

"පුරුදු වෙන්න එපැයි සර්  ලයිසන් ගන්න කලින්"

ආ එහෙමද? ඉතින් ගමේ  පාරේ පැදලා පුරුදු වෙන්න එපැයි"
"ගමේ පාරේ බස්  එහෙම යන්නේ නෑනේ" 
ඒකයි අද මේ  පුරුදු වෙන්නත් එක්ක  තනියම  ආවේ  පළවෙනි වතාව"

"තමුන්ටත්  මේ  ලැබෙන අන්තිම වතාව" 

තැන්ක්යූ  සර්  හෙට  තාත්තගේ  හත් දවසේ දානේ ...දානෙට උයන්න  මිරිස් කොටන්  එන්න ගියේ යන්නම්  සර් පරක්කු වෙනවා.. 

...............................................

තව දවසක්  ගම  ඇතුලේ  බයික් එකෙන්  යද්දී  වෙන වැඩකට  ආපු ජීප් එකක් අම්මව  නවත්තලා  අහලා  
"ලයිසන් තියෙනවද?"  

"නෑ  සර් තාම ගත්තේ  නෑ  පුරුදු වෙන්නේ  ගන්න  තමයි මේ පුරුදු වෙනවා" 

පොලිස්  කාරයෝ  මොනවා කියන්නද  අම්මා යන විදියට පේන්නෙත්  පුරුදුවෙන්න පදිනවා වගේ තමයි.
....................................................

එක පාරක්  අම්මා  හෙල්මටුත් නැතුව සයිඩ් කණ්නාඩිත් නැතුව  මිනුවන්ගොඩ ගිහින්..  (ඊට කලින් දවසක බයික් එක පෙරලිලා  එක සයිඩ් කණ්නාඩියක්  කැඩිලා අනික බුරුල් වෙලා තිබුණේ  මෙයා ඒකත් ගලෝලා තියලා  ගිහින්) මිනුවන්ගොඩ ඉදලා එද්දී  යටියන පන්සලට මෙහා හැමදාම පොලිසියෙන්  ඉන්න  නිසා  අම්මා අනිත්  පැත්තෙන්  ගිහින්.. කොළඹ  මිනුවන්ගොඩ  පාරෙන්  අතුරු පාරට හරවන තැනම පොලිසියෙන් ඉඳලා. පොලිස්  කාරයෝ දැකපු හැටියේ  මෙයාට  හිනාගිහින්  ඒ  මිනිස්සු  නවත්තන්න කියලත් නැතුව මෙයාම නවත්තලා අමතක වෙලා.. ඒක මරු වැඩේ,
ඊට පස්සේ පොලිස් කාරයෝ අහලා 
"හෙල්මට් නැහැ  සයිඩ් කණ්නාඩි  නෑ.".. 

"අනේ බලන්න සර්  බයික් එක ටවුන් එකේ  නවත්තලා මීගමු ගිහින් එන්න ගියා හදිසියට...ඇවිත් බලද්දී  හෙල්මට් එකත් නෑ සයිඩ් කණ්නාඩිත්  නෑ..කරන්න දෙයක්  නැති තැන  අර පැත්තේ  පොලීසියෙන් ඉන්න හින්දා මෙහෙන් ආවා.. මෙහෙන් එද්දී  සර්ලා..  "

ගෙදර ඇවිත්  කියද්දී මටයි මල්ලිටයි  හිනාවෙලා පණ නෑ..
--------------------------
ප/ලි 

ඊයේ මගේ උපන්දිනේ. පුංචිකාලේ  තාත්තා එක්ක කිරිබතුයි ලුණුමිරිසුයි  හායි හූයි කිය කියා කෑවට පස්සේ මතක ඇතිකාලෙක සතුටින් ගෙවුණු එකම උපන්දිනය වෙන්න ඕනේ  . වයස සහ අවුරුදු  ඉලක්කම් විතරයි..නමුත් සතුටුවෙන්න  හේතු හොයන මං වගේ කෙනෙක්ට ඒකත් හොඳ අවස්ථාවක්.. අම්මා  හවස  හයට විතර කෝල් කරලා අහනවා අද  ඔයාගේ උපන්දිනේ නේද ??  හි හි  ඊලග  පෝස්ට් එක ලියන්න ඕපාදුප ටිකකුත් අම්මා කියාගෙන ගියා...

Monday, April 20, 2015

සීයලා ආච්චිලාගේ අපූරු ලෝකය

 අහම්බෙන් වුණත් මං නතර වෙච්ච  ජොබ් එක නිසා මට වඩා තුන් ගුණයක් විතර ජිවිත අත්දැකීම් තියෙන අය එක්ක ගැටෙන්න ලැබෙනවා. ඒ වගේම  විශේෂම සහ එපාමකරපු දේ ගෙදරදී පොඩි කාලේ ඉඳන්ම රණ්ඩු වෙච්ච ආච්චි අම්මගේ කැරැක්ටර් එක තියෙන කෙනෙක් එක්ක පැය විසිහතරම එකට ජීවත්වෙන්න වෙන එක. කරවිල උයලා කන්න අකමැති නිසා බැදලා ළුණු ,දෙහි ඇඹුල් දාලා රසට හදාගෙන  තිත්ත නොදැනෙන්න කනවා වගේ රැකියාව තුළත් කරන්න වෙලා තියෙන්නේ  200 %ක් ඉවසීම  චාර්ජ් කරන් ඉන්න එක .  පැය විසිහතරම ළමයෙක් යටතේ ඒ ළමයා කියන දේවල් කරන්න කැමති කවුද අනේ.. මට වෙලා තියෙන්නේ ඒකතමයි කෙටියෙන් කීවොත්.



අද ලියන්න හිතුණේ තාක්ෂණය සහ ආච්චිලා සීයලා ගැන.

.

ඇපල් සමාගම ඔවුන්ගේ අලුත්ම (මැක්බුක් වෙන්න ඕනේ) ලැප් ටොප් පරිඝණකය හඳුන්වලා දුන්නා  පහුගිය දවස් වල ,ඊට ත් කලින් ඇපල් i ෆෝන් 6 ජංගම දුරකථනය හඳුන්වලා දුන්නා ..ඒ වගේම සැම්සුන්ග් සමාගමත් ගැලැක්සි s 6  වෙළඳ පොලට නිකුත් කරා...එක එක වැඩකෑලි  සෙට් එකකුයි කෙළවරවල් නමලා අනම් මනම් කරලයි...

  ටීවී  එකේ  හැමදාම රෑට  පැය භාගයක්  යන වැඩසටහනක් තියෙනවා ඒකෙ හැමදාකම පෙන්නනවා එදා දවසේ ලෝකෙට අලුතෙන් එකතු වෙච්ච තාක්ෂණික උපකරණ සහ මෘදුකාංග පිලිබඳව.  මේ වැඩසටහන බලන හැම දවසකම මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙන්නේ  ඇයි  මේ හැමදේම වැඩි වශයෙන් තරුණ පරපුර ඉලක්ක කරගෙන විතරක් කරන්නේ.. ?? ඇයි  මේ නිර්මාණ කරන මිනිස්සුන්ට නොහිතෙන්නේ  වයසක අය වෙනුවෙන්  අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න.මොකද  මේ නිර්මාණ කරන  සොෆ්ට්වෙයා ඉංජිනේරුවොත් කවදාහරි වයසට යනවනේ. අද  අතපය ශක්තිය තියෙන කමට අපි හැමෝම සට සට ගගා කම්පියුටර් එක්ක ඔට්ටු වුණාට , වාහන එක්ක හැල්මේ දිවුවට දවසක් එනවා මේ ඔක්කොම දේවල් අනිත් අය කරනවා බලන් ඉන්න වෙන.  අනිත් අය ලව්වා කරගන්න වෙන.

අපේ රටට වඩා වයස අය වෙනුවෙන්  පහසුකම් දියුණු රටවල තිබ්බත්  ඒ තියෙන ප්‍රමාණය  මගේ  අත්දැකීම අනුව නම් මදි.  වයසට ගිය අය වෙනුවෙන් ඉලක්කම් ලොකු ටෙලිෆෝන්, එලෙක්ට්‍රික්  කාර් වගේ දේවල් සුලබව තිබ්බත් තාක්ෂණයේ  භාවිතාව නම් එතරම් ඉහළ මට්ටමක නැහැ. 




ඇවිදන් යන්න අමාරු වෙද්දී  හොඳ  වටිනා වීල් චෙයා එකක් අරගන්න පුළුවන්, ඊටත් කලින්  ටිකක් ඇවිදගන්න සහ අතපය වාරු තියෙද්දී  එලෙක්ට්‍රික්  කාර් එකක්... 

අවසානයේ එළියේ  ඇවිදින්න යාම අපහසු වෙද්දී  වයසක අය  නිරන්තරයෙන් පෙළඹෙනවා ටීවී  බලන්න. ලෝකේ දකින්න එලියට යන්න බැරි අයට රුපවාහිනිය කියන්නේ  අපූරු මෙවළමක්. ඒත් කාළයත් එක්ක තව තවත් ඔවුන් දුර්වල වෙද්දී රුපවාහිනිය එපා වෙන්න පටන් ගන්නවා ඊට හේතුව නිවේදක නිවේදිකාවන්ගේ කථාබහ හරිහැටි නොතේරීම..  

"වයසක ආච්චිලා සීයලට  අපි කතා කරන්න ඕනේ ශබ්ධ නගා වගේම ඉතාම පැහැදිළිව වචන අතර පරතර තියමින්"
මේක  මං ඉගෙන ගත්තේ මගේ එලිශේවා ආච්චිගෙන්. අපි සාමාන්‍යයෙන් කතා කරන වේගෙන් කතා කලාම එයාලට අපි කියන දේවල් වලින් තේරෙන්නේ  50% හෝ ඒ ආසන්න ප්‍රමාණයක් විතරයි. නමුත් ජිවිතයේ ලබපු අත්දැකීම් මත එයාලා තේරුම් ගන්නවා කියපු දේ ඒත්... එහෙම වෙද්දී එයාලා මානසිකවත් වැටෙනවා. තමන් ගැන හිත ඇතුළෙන් දුක් වෙනවා..  ඒ වගේම  අපි අනවශ්‍ය විදියට  ලොකු අගෑලුම්කම් පෙන්වමින් ගොඩාක් හෙමින් කතා කරනවටත් එයාලා කැමති නැහැ. මොකද එතකොට එයාලට දැනෙනනවා  අසරණ ගතියක්.. වයසට යද්දී සීයලා ආච්චිලා දන්නවා 
"මේක  ජිවිතේ  හැටි  අපි වයසට යනවා ,අපිට තරුණ කාලේ කරපුවා දැන් කරන්න බැහැ කියලා " නමුත්  එයාලා දවස ගානේ උත්සහ කරනවා ජිවත් වෙන්න.. 

"මට කියන්න ඕනේ වුණේ රුපවාහිනී ආයතන සහ රේඩියෝ චැනල් සිය දහස් ගාණක් තියෙන රටේ  වැඩිහිටි අය වෙනුවෙන් රටේ එක නාළිකාවක් වෙන් කරන්න බැරිද?"
නාලිකාවක් ඕනේ නැහැ හවසට සහ උදේට ළමයින් වෙනුවෙන් පැය දෙක දෙක තියෙනවා වගේ වයසක අය වෙනුවෙන් යම් යම් වැඩසටහන් ? පැය කාලක් ප්‍රවුර්ති වැඩසටහනක්!!

ඔයාලා චුට්ටක් හිතලා බලන්න මං කිවුවේ මට දැනිච්ච දේ. වයසට ගියාම ආච්චිලා සීයලා ආසයි ප්‍රවුත්ති අහන්න ,බලන්න. ඒත් ඒ යන වේගෙට අපිටවත් හරියටම තේරුම් ගන්න අමාරුනේ. ඒ වගේම එයාලා වචන හසුරුවන ශබ්ද කරන විදිය වැඩිහිටියන්ට තේරුම් ගන්න බැරි තරම්.

තරුණ කාලේ අපේ අය නිතර කියන දෙයක්
 "මං නම් වයසට ගියාම කාටවත් බරක් වෙන්නේ නැහැ. "
"ළමයින්ට බරක් වෙන්නේ නෑ". 
"මට වැඩිය ජිවත් වෙන්න ඕනේ නෑ ලෙඩක් එහෙම හැදුනොත් නම් මං වද විඳ විඳ ජිවත් වෙන්නේ නෑ '

ඒත් මං අත්දැකීමෙන් දන්නවා වයසට ගියාම නිදාගන්නත්  බයයි එයාලා. සමහර ආච්චිලා නිදිපෙත්ත බොන්නේ  දහ දොළොස් වතාවක් වෙලාව අහලා. මං මීට කලින් එකක් බිවුවද ? එක එක විදියේ ප්‍රශ්න ගොඩක් අහලා. ඉස්සර බලාගත්ත සීයා හවස් වෙද්දී කියනවා "අද නම් රෑට නින්ද යන එකක් නෑ ඔන්නොහේ අද පෙති දෙකක්ම දෙන්න" කියලා. ඒත් බොන්න ගියාම එක බොන්නෙත් පරිස්සමෙන්. 

ආච්චිලා සීයලාගේ  සුන්දර ලෝකය ගැන ලියන්න තව දේවල් බෝමයි. සැරින් සැරේ ලියන්නම් හෙමින් හෙමින්,,

කොච්චර පෝසත් වුණත්  හරිම නිහතමානී හිනාවක්.
(මෙයත් ඕවා කරකර ඉඳලා වයසට ගියාම ,අතේ ඇඟිලි වාරු නැතුව ගියාම කොහොමද ස්ක්‍රින්ස් ටච් කරන්නේ ?  එයා වෙනුවෙන් නම් ඩොලර් මිලියන ගණන් හරි වියදම්  කරලා  එක එක  ඉතාම සංවේදී  කම්පියුටර් එකක් හදාගනී. ඇස් වල චලන වලට  වැඩ කරන හෝ ඊටත් එහා ගිය විදියේ.. ඒත්  වයසට යන්න කලින්  අනිත්  සාමන්‍ය  මිනිස්සු වෙනුවෙනුත්  මොනාහරි අලුත් දේවල් ටිකක් නිර්මාණය කරන්න  හිතුනොත් හොඳයි )

ප/ලි 
සමවයසේ අයත් එක්ක එකට ඔෆිස් එකක හෝ වෙන ආයතනයක  කරන රැකියාවක් කළානම් මට ජීවිතේට ගොඩක් වටින අත්දැකීම් ප්‍රමාණයක් අහිමිවෙන්න තිබ්බා. 

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...