Sunday, December 29, 2013

රැඩිකල් මාළුවා ('Salmon fish')


           දවස් කීපයක්  ඉදලා වලස්සු පස්සෙයි මාළුවෙක් පස්සෙයි වැටිලා හිටපු මගේ හිත සොබාදහම කියන අරුම පුදුම සැලසුම්කාරයගේ අපූරු නිර්මාණයක් රසවින්ඳ...ඉතින් මං ඒ කතාව ලියන්නම් ඔයාට කියවන්න..
                            නිදහස් වෙලාවක් අරන් පටන් ගන්න...රැකියාව සහ එදිනෙදා ජිවිතයේ වෙහෙස මදකට පසෙකින් තියලා සොබාදහමේ අපූරුව විඳින්න උත්සහ කරන්න.
----------------------------------------------
  අද මගේ කතාවේ කතා නායකයා තමයි පැසිපික් සල්මන් මාළුවා.කාලයක් තිස්සේ ඩිස්කවරි වගේ නාලිකා හරහා දිය ඇලි උඩින් පනින මාළු සහ පනින මාළුන්ව අල්ලගෙන කන වලස්සුන්ව දැකලා තිබ්බට ඒ ගැන එතරම් හිතුවේ නැහැ..ඒත් මේ සිද්දිය පිටුපස ලස්සන කතාවක් තියෙනවා ........................

                  පැසිපික් සැමන් මාළුවාගේ ජිවන ගමන පටන් ගන්නේ දකුණු බ්‍රිටිෂ් කොලොම්බියාවේ  සහ (Southern british columbia ) ඇලස්කාවේ වැසි වනාන්තර වලින්. ඒ වැසි වනාන්තර තුල දහස් ගණනක් වූ පිරිසිදු ජලය පිරුණු ඇළමාර්ග වල තමයි සැමන් මාළුවා බිත්තර දාන්නේ..මේ කුඩා ඇළමාර්ග වල තියෙන වතුර තමයි ලෝකයේ පිරිසිදුම ස්වභාවික වතුර.. 


                                        

පැසිපික් සැමන් මාළුවෙක් වරකට  2000-10000 ත් අතර බිත්තර  ප්‍රමාණයක් දානවා.දල වශයෙන් එක බිත්තරයක් ප්‍රමාණයෙන් පැන්සලක කෙලවර තියෙන පුංචි මකන කෑල්ලක් තරම් වෙනවා..ඇළමාර්ග වල තියෙන ගල් වලට මුවා වෙන තැන් වල ගැහැණු සැමන් මාළුවා තමන් වලිගයෙන් හදාගන්න කුඩුවක් වගේ තැනක බිත්තර දාන අතර පිරිමි මාළුන් කීපදෙනෙක් සටන් කරනවා ඒ දාපු බිත්තර උඩට තමන්ගේ පුරුෂ බීජ එකතු කරන්න..ඒ සටනෙදි ශක්තිමත්ම පිරිමිසතා තමයි ජයග්‍රාහකයා වෙන්නේ. බිත්තර දැම්මට පස්සේ දින කිහිපයකින් ආසන්න වශයෙන් සතියකට විතර පස්සේ වැඩිහිටි සැමන් මාළුවන්  ඒ බිත්තර අසලම මිය යනවා. ඒ මියයාම ගැන දැන් ඔයාගේ හිතේ ප්‍රශ්නයක් ඇති ඒ ගැන කියන්නම් ඉස්සරහට..........

Monday, December 23, 2013

කට


  සමර් එකේ අඩනිරුවත  ලියද්දි පහළ වෙච්ච හිත ඊයේ  හවස ආයෙම උඩට ආවා. ඒ දැකපු රුපවාහිනී වැඩසටහනක් නිසා.. ඒකේ තොල් අලංකරණය ගැන කතා කලේ මට මෙලෝ දෙයක් තේරුණේ නැහැ රුසියන් භාෂාවෙන් තිබ්බ නිසා මං ඔහේ කට උඩ බලන් හිටියා. "හබුන් කටක් කන්න , උම්මා එකක් දෙන්න තියෙන කටට කරපු විගඩම්".."සීයා නම් කීවේ දෙයියොම බලාගනිත්වා දක්ෂ ළමයි" කියලා.


                     මං දකින විදියට අපේ මේ ශරීරය මහ පුදුම ආශ්චර්යමත් යන්තරයක්..හමෙන් වහලා හරි අපූරුවට පිළිවෙළකට නියමිත තැන් වල අසුරලා තියෙන අවයව ටික එකතුවෙලා වෙන වෙනම නමුත්.. එකම අරමුණක් වෙනුවෙන් කරන දේවල් හරිම පුදුමයි. අපි මවුකුස  පිළිසිඳ ගත්දා පටන් අන්තිම හුස්ම හෙලන දවස වෙනකල් මානසිකව,කායිකව වර්ධනය වෙමින් ජීවිතය ඉදිරියට ගමන් කරනවා  ...
මං පුංචි කාලේ ඉදන්ම ආශාකලා ඇඟ ඇතුලේ වෙන...ඒත් මට පෙන්නේ නැති දේවල් ගැන දැනගන්න.ගස් කොළන් අස්සේ වෙන දේවල් ,පුංචි පැල ලොකු ගස් වෙන හැටි දැනගන්න..ඒ නිසාම ඉස්කෝලේ එකොළහ වසරෙදි ඒ ලෙවල් කරන යාළුවෙක් එක්ක මාත් ජීව විද්‍යා පන්තියකට ගියා ඒ වගේම කෘෂි විද්‍යා පන්තියකට ගියා සත්ව පාලනය තියෙන කොටස් ඉගෙනගන්න(තිස්ස ජනනායක -සමාධි ගම්පහ) ..පසුව මා ගණිත විෂයන් තොරගත්තත් ජීව විද්‍යා පන්තියටත් ගියා ..හි හි අම්මලා දන්නේ නැහැ.  ඒ තුලින් මගේ හිත යම්තාක් දුරට සෑහීමට පත් වුණා.

Wednesday, December 18, 2013

මටත් මගේම නොවුණ මගේම ළමාකාලයක් තිබුබූබූණා.2 (වර්ථමානය මිහිරිකළ අමිහිරි ළමාවිය 4)


නැන්දා ඉස්පිරිතාලෙන් ගෙදර එද්දී පොඩි ළමයි දෙන්නා මට ගොඩක් හුරුවෙලා  හිටියේ .. එයා ගෙදර හිටියත් වැඩිපුර එයාලා මා එක්ක ඉන්නේ ..පස්සේ ඉබේටම වගේ චූටි නංගි නිදියන වෙලාව එද්දී කොට්ටේ අරන් මං ලගට එනවා.. පස්සේ දවසක් මට ඇහුණා නැන්දා ආච්චිට කියනවා "අපුරුත් ඉන්න හින්ද මං ජුජුබ්ස් කොම්පැණියේ වැඩට යන්නද අම්මේ , දවල්ට ළමයට කිරිදෙන්න එන්නත් පුළුවන්නේ කියලා." ඒත් ආච්චි කීවා "කොල්ලා කොයි වෙලේ හරි ඇවිත් පොඩි එකී ගෙනියයි"  කියලා. එයා අපේ තාත්තට කීවේ කොල්ලා කියලා ආදරේට ...කොහොම නමුත් නැන්දා ඊට පස්සේ දවසක ඉදලා  වැඩට ගියා. සැරින් සැරේ ඇවිත් පොඩි නංගිට කිරි පොවලා ගියා.මං ඉබේම ගෙදර ළමයි බලාගන්න කෙනාම වුණා.හැබැයි ඒක නිසා තාත්තා ගැන හිත හිතා කල්පනා කරන්නයි පාර අයිනට වෙලා මග බලාගෙන ඉන්නයි වෙලාවක් නැති වුණා..
                                "අම්මේ අයියා බෝගම්බර..ගිය සතියේ මං ගියා" ....ඔය වගේ විස්තර ගොඩක් ආච්චි එක්ක කියලා බාප්පා යන්න ගියා. එයා එද්දී ගෙනාපු කවරේ තිබිලා ලියුමකුයි රාණි සබන් කැටේකින් ලස්සනට කපපු කුරුල්ලෙකුයි මට දුන්නා. ඒ වෙද්දී මගේ උපන් දිනේ පහුවෙලා තාත්තා මගේ උපන්දිනේට ඒ කුරුල්ලා එවලා තිබ්බේ ,,මං හිතුවේ තාත්තා දුර ජොබ් එකක් කරනවා ඇති කියලා ආච්චි පස්සේ මට කීවා තාත්තා හිරේ ඉන්නේ ආයේ එන්නේ අවුරුද්දකින් කියලා ..ඒ කුරුල්ලව හදලා තියෙන්නේ හිරේ හිටපු කෙනෙක් ..එයාලා එක එක නිර්මාණ කරනවා කියලා පස්සේ කාලෙක තාත්තා මා එක්ක කීවා...

Wednesday, December 11, 2013

මටත් මගේම නොවුණ මගේම ළමාකාලයක් තිබුබූබූණා. (අමිහිරි ළමාවියේ මතක 03)

        
 අමිහිරි ළමාවියේ මතක 1 කොටස
         අමිහිරි ළමාවියේ මතක 2 කොටස

 දවසක් තාත්තා හදිසියෙම ගෙදර ආවා ඊට පස්සේ මට ඇදුමක් අන්දලා තව මගේ ඇදුම් වගේකුත් ලොකු

කවරෙකට දාලා බයිසිකලේ දාගෙන ගෙදරින් ආවා ,, එයා කලබලෙන් නිසා කොහේ යන්නද කියලවත් මං ඇහුවේ නැහැ ,මොකද මාත් හරි ආසයි බයිසිකලේ යන්න ,, එදා තාත්තා පුදුම වේගෙකින් ගියේ මගදී මට කීප සැරයක් නින්ද ගියා ,, එයා ෆුට් සයිකල් එක පදිද්දී හුස්මගන්න සද්දේ මට තාමත් ඇහෙනවා වගේ.. වේගෙන් හුස්ම ගන්න හැටි හරි අමුතුයි.."ගණේමුල්ල කඩවත පාරේ තියෙන කදු වලදී මාව තියාගෙන

තල්ලු කරනවා "පල්ලමේදී එයා හුස්ම පිටකරනවා වේගෙන්;මගදී ගණේමුල්ලේදී ආප්ප දහයක් අරන් දුන්නා ඒකත් අතේ...අන්තිමට රෑ වේගෙන එද්දී ආච්චිගේ ගෙදරට අපි ගියා ගිහින් බලද්දී සෙරප්පුවකුත් වැටිලා ..බයිසිකලේ ඉදන් එද්දී කකුල් හිරිවැටෙනවා සෙරප්පු වැටෙනවා තේරෙන්නේ නැහැ එහෙම වෙච්ච අය දන්නවා ඇති ඉතින් ... තාත්තා ආච්චිට මාව දීලා හැඩල් එකේ එල්ලලා කරකෝලා තිබ්බ ඇදුම් ටිකත් දීලා මාව වඩාගෙන ඉම්බා... එයා මාව ඉබින්න කළින් කැප් එක ගලවනවා ඒ මං ඔළුව බදාගන්න නිසා ඊට පස්සේ "මං දැන් යනවා ආයේ මං කවදාහරි තාත්තා එනකල් මෙහෙ ඉන්න ඕනේ..අම්මා,මිනුවන්ගොඩ ආච්චි, පොලීසිය,ඔය කවුරු ආවත් යන්න එපා මං නැතුව.... තාත්තා කියපු දේ කරන්න ඕනේ" . ඊට පස්සේ ආච්චිටත් කීවා එයා හැර වෙන කිසිකෙනෙක් ආවට මාව දෙන්න එපා කියලා .මට මේ මොකුත් තේරුණේ නැහැ ,, එදා රෑ මාව ඇරලලා ගියාට පස්සේ මම ආයේ තාත්තව දැක්කේ මාස එකොළහකින්.. හෝ    අවුරුද්දකින්                                                            

Saturday, November 30, 2013

Acceptable life of the Mona Lisa (2 කොටස )මොනාලිසාවකි නුඹේ අම්මා



1.කොටස මෙතනින්
  කුස්සිය අස්පස් කරනකල් දොර රෙද්දේ එල්ලී එල්ලී හිමරු මං දිහා හොරෙන් බලන් ඉන්නවා ,, කී වතාවක් දොර රෙද්ද කඩා වැටිලා ආයෙමත් එල්ලන්න ඇද්ද ...අනේ තේරෙනවනම් එපා කියන එක කරන්නේ නැහැනේ.."තව ටුට්ටක් ඉන්න මණික" මණික කියලා හුරතලෙන් කියද්දී දොර රෙද්දෙන්න මුණ වහගන්නවා ... "ඔන්න අම්මි උයලා ඉවලයි " දරුවා වඩාගෙන මිදුලේ බංකුවෙන් වාඩිවෙලා ඒ හුරතලේ බලන එක දැන් මගේ ජිවිතේ කොටසක් ..
                                                  .ගෙදර කවුරුත් නැතුව දරුවා එක්ක තනිවෙන හැම මොහොතකම මටත් නොදැනී මගේ හිත අතීතයට යනවා..පුතා ඉපදිච්ච මුල්දවස් වල  මාසයක් ගානේ ඉස්පිරිතාලේ ක්ලිනික් එකටයි ,,සති දෙකෙන් දෙකට ඩෙන්ටල් ක්ලින්ක් වලටයි යන්න සිද්ද වුණා..පුතාට මාස එකහමාරක් වෙද්දී තොල් වල ඔපරේෂන් එකට දිනයක් ගන්න අවස්ථාව ලැබුණා..ඒත් ළමා රෝහලේ පොරොත්තු ලේඛණයේ තව මාස 8 ක් රැදෙන්න වෙන බව දැනගත්තම මට කදුළු නවත්තගන්න බැරි වුණා..දරුවාව මුණ පෙන්නේ නැතිවෙන්න හන්ඟගෙන වගේ මේ මාස එකහමාර ගෙවපු මං තව මාස අටක් කොහොම ඉන්නද ...ඒත් මොනවා කරන්නද  එතන ඇවිත් හිටපු අනිත් දෙමවුපියෝ එක්ක කතා බහ කරද්දී ...එක එක විදියේ අඩුපාඩු තියෙන දරුවෝ දකිද්දී මගේ හිත තරමක් සැහැල්ලු වුණා..අපි විතරක් නෙමේ මේ විඳවන්නේ කියලා දැනුනත් මගේ යටිහිත නිතරම හඬා වැටුණා..

Tuesday, November 26, 2013

මොනාලිසාවකි නුඹේ අම්මා (Acceptable life of the Mona Lisa)



"එරන්දි  ඇන්ටි  හිමරු කක්කි දාලා" 
නිකිණි නහය එක අතකින් වහගෙන ඇවිත් කෑගහන විදියට හිනාත් යනවා  .."හ්ම්ම් ඈ එහෙමද? " සම්බෝලේ කොටන එක පැත්තකින් තියලා සාලෙට යද්දී වෙනද වගේම හිමරු දොර මුල්ලට වෙලා ඉන්නවා ලොකු හොර වැඩක් කරලා වගේ "එන්න මැණික"කක්කි දාලා විතරක් නෙමේ ඉතින් වෙනද වගේම යටිපතුල් වල තලි තලි අලෝගෙන ..දොර වහලා දරුවා උස්සගෙන ටැප් එක ලගට ගිහින්  හෝදලා ඇඳුමක් අන්දලම තමයි කක්කා අස් කලේ...'දැන් හරි' ෂෝයි බබා වගේ නිකිණි එක්ක සෙල්ලම් කරන්න .. ආයේ කුස්සියට ආවේ සම්බෝලේ කොටලා ඉවරයක් කරන්න ..තව ටිකකින් නිශාන් ගෙදර එයි .. රන්තැඹිලි ගහෙන් ගැලවිච්ච වේලිච්ච පොල් අත්තක් 'සරාස්' ගාලා බිමට වැටුණේ පොල්පිත්තත් දෙකට කැඩිලා යන්නමයි.  ජනෙල් කූරු අස්සෙන් පොල්ගස් ,කෙසෙල්ගස් අස්සෙන් දුවන මගේ ඇස් නතර වෙන්නේ වත්ත කෙළවරම තියෙන ඇලට වෙල අයිනේ උස පොල්ගස් වලින් පොල් ගෙඩි වැටෙන්නා වගේ මුළු පපුවම සීසීකඩ විසිකරන ඉකිය ඇස් වලින් දියකර ලොකු කදුළු බෝල මිරිස් ගල උඩට කඩන් වැටුණට පස්සෙයි...

කුස්සියේ දොර රෙද්දේ එල්ලීගෙන මං දිහා බලාගෙන වචනයෙන් කියන්න බැරි කොච්චර දේ මගේ පුතා මට කියනවද ..."එන්න මැණික" මැණික කියන වචනෙට එයා ගොඩක් ආසයි ..කියන පරක්කුවට දුවගෙන ඇවිත් ඇගේ එල්ලෙන්නේ. ලබන මාසෙට අවුරුදු  නමය  සම්පුර්ණ වෙන්න ඉන්න කොලු පැටිය තවම ආසාවට මා දිහා බලලා අම්මේ කියලා නැහැ..වයසට හරියන උසින් ,මහතින් ඉන්න මගේ හිමරුව පුංචි කිරි දරුවෙක් වගේ පපුවට තුරුළු කරන් වඩාගෙන යන එක දකින අයට කොහොම දැනුණත් මට ඒක සතුටක්..අඩලා අඩලා අඩන්න කදුළු නැති කමට සතුටු වනවා නොව..මගේ දරුවාගේ කිරිසුවද තවමත් සමීපව විදින අප්‍රමාණ දරු සෙනෙහස පිරුණු හදවත මට දෙන සැනසුමයි ඒ.

අම්මා තාත්තගේ හිත් රිදෝලා වුණත් මං එදා නිශාන් එක්ක ජිවිතේ අලුතෙන් පටන් ගත්තේ අපි එකිනෙකාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු නිසා.ඒ වගේම එදා විරුද්ද වුණත් දෙමවුපියෝ අපිට සමාව දෙනවා කියලා දැනගෙන හිටපු නිසයි..අවුරුදු දහයකට කලින් මට ආදරේ කරපු මගේ නිශාන් අදටත් ඒ ආදරේ බිදුවක් වත් අඩුකරලා නැහැ....
එදා අපේ කැදැල්ලට අමුත්තෙක් එන්න යන ආරංචිය ලැබුණ වෙලාවේ ඉදන් නිශාන් එක්ක එකතුවෙලා අපේ නුපන් දරුවා වෙනුවෙන් කොච්චර දේවල් සැලසුම් කලාද ,ප්‍රර්ථනා කලාද..මහා පෝසත්තු නොවුණට දරුවා කුසට ආපු දවසේ ඉඳලා බිහිවෙන දවස දක්වා හැම දේකටම ගියේ හොදම ඩොක්ටර් ළගට..දරුවා බිහිකළේ රටේ ප්‍රසිද්දම රෝහලක..ඒ ප්‍රර්ථනා සේම  දරුවා සමග සතුටින් ගෙවන්න ගොඩ නගාගෙන හිටපු සිහින සියල්ල මගේ පුංචි පුතා දෝතට දුන්න දෙවියන්ම  අපෙන් ගොඩක් ඈතට ගෙනියලා තිබුණා. 
උදේ මාව බලන්න නිශාන් ඇවිත් ගියාට පස්සේ රෝහල් ඇඳේ වැතිරිලා ඉන්න අපහසුවක් දැනෙන්න ගත්තා ,, උදරයෙන් දැනෙන වේදනාව සියුම්ව අඩුවෙලා යනවාත් එක්කම කොන්ද ප්‍රදේශයෙන් ඒ සමාන වේදනාවක් ආයේ පටන් ගන්නවා මේ ආකාර මාරුවෙන් මාරුවට දැනෙන්න ගත් වේදනාවන් පැයක් හමාරක් ගත වෙද්දී ඉතාම තදින් ළඟ ළඟ වේදනාවන් වැඩිවෙමින් දැනෙන්න ගද්දි නුහුරු බියක් වේදනාවක් සමග මුසුවෙච්ච සියුම් කෙඳිරිය නවත්ත ගන්න බැරි තරමේ විලාපයක් වුණේ නිරායාශයෙන්..සියළු වේදනා නිමා කරමින් මගේ පුතා ඒ උදෑසන මෙලොව එළිය දැක්කා...ඒ වෙද්දී මා සමග දරුවන් ලැබුණු හැමෝම තමන්ගේ දරුවන්ව තුරුල් කරගෙන, සමහරු කිරි දෙනවා ..ඒත් කෝ මගේ දරුවා ඇයි එයාව මට දෙන්නේ නැත්තේ...

"ඔයාට පුතෙක් හම්බුණා බබා ඉපදෙද්දී ඇඩුවේ නැහැ . දරුවා  PBU (නොමේරු ළදරු ඒකකය /බේබි කාමරය )එකට ගෙනිච්චා " 

Thursday, November 21, 2013

මළ මුහුදේ මල කෝලම් (බෙත්ලෙහෙම් සංචාරය 1)

ඔමාගේ එක හීනයක් සැබෑකරගත්තා ගිය සතියේ.  ඔයාලටත් වැදගත් වේවි මගේ මේ හීන සවාරිය,, පිළිවෙලකට ලියන්නම්කො 

                                 ඊශ්‍රායලයේ වෙළද අගනුවර වන tel-aviv වලින් තමයි අපේ  ගමන පටන් ගන්නේ..ටෙලවිව් ඉදලා  ජෙරුසලම දක්වා කිලෝමීටර් 65 ක දුරක් තියෙනවා..විනාඩි 45 ක විතර කාලයක් ගතවෙනවා මේ ගමනට. ජෙරුසලම තමයි ඊශ්‍රායලයේ අගනුවර.. (එය එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් පිළිගන්නේ නැහැ .ජෙරුසලම් නගරය තුල කිතුණු බැතිමතුන්ට වටිනා ස්ථාන කීපයක් තිබෙනවා ,, ඒ පිළිබදව ඉදිරි ලිපියකින් ලියන්නම් ,,) ඉතින් අපි පැරණි ජෙරුසලම් නගරයට එද්දී හොදටම කරුවල වැටිලා. අපි කීවේ මමයි තව ලංකාවේ අක්කලා පස් දෙනෙකුයි..බස් එකෙන් බැහැලා මුලින්ම කලේ එදා රෑට නතර වෙන්න තැනක් හොයපු එකයි.නියම තැනක් හම්බුණා; ජෙරුසලමේ ප්‍රධාන දේවස්ථානය ලගම.

දවස් දෙකක කාලයක් පුරා මා ආසාවෙන් විඳගත්ත සංචාරේ ගියපු ප්‍රධාන තැන් ටික තමයි මේ තියෙන්නේ 
  
1.  ජෙරුසලම (ඉපැරණි නගරය )-

  • කොතෙල් 
  • Church of the Resurrection(Holy Sepulchre Church)

  
2.   බෙත්ලෙහෙම -

  • nativity church 
  • the shepherd'sfield


3.   හෙරෝදියන් උද්‍යානය- 

4. මළ  මුහුද (Dead Sea - 1,020 sq km/394 sq mi) -

                 මේ උඩ කියපු තැන් වලට ගිහින් ඔයාලටත් එක්ක බලාගෙන ආවා ,, ෆොටෝ කෑලිත් ඇල්ලුවා හරි හරියටමේ තැන් සේරගෙන්ම මුලින්ම ලියන්නේ මං ආසම තැන ....


                             ෴මළ  මුහුද ෴

   පුංචි කාලේ තාත්තා  මළ මුහුද ,කහ මුහුද ,රතු මුහුද ගැන කියාදෙද්දී මං හිතුවා ඒ මුහුදවල් වල වතුර ඒ ඒ පාටින් තියෙන්නේ කියලා ,, ඒ වගේම  මළ මුහුද ගැන එයා මට කියාදීපු දේ ගැන හරි මතකයක් නැහැ.. ඒත් මං හිතන් හිටියේ ඒකට බැස්සම මැරෙනවා කියලා ,, හරි දැන් පුංච් කාලේ කතාව නෙමේ ,,මගේ අත්දැකීම ලියන්නම්...
                         

Wednesday, November 13, 2013

ඔමාගේ සස සහස් (වටිනා සූපසාස්තර පාඩම් මාලාව)

වටිනා සූපසාස්තර පාඩම් මාලාවේ තෙවැන්න 
බෙල්පෙපර් සලාදය 
මුලික පාඩම් මගහැරුනා නම් පහත සබැදියන් භාවිතා කරන්න 

෴බෙල්පෙපර් සලාදය෴
(පිල්පිලීම් සැලඩ් ) 


කෑම උයන්න නොදන්නා සහ කෑම පිසීම වෙනුවෙන් ලොකු කාලයක් යොදවන්න අකමැති මෙන්ම අධික කාර්යබහුලත්වය නිසා ඒ වෙනුවෙන් කාලයක් නොමැති අය වෙනුවෙනුයි මගේ මේ සූපසාස්තර් ...අහලා බලන්න වරදින්නේ නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය :
  • වර්ණ කීපයකින් බෙල් පෙපර් ගෙඩි 5ක් හෝ 6 ක් 
  • හොදින් ඉදුණු තක්කාලි කිලෝ එකක් 
  • අමු මිරිස් කරල් 3ක් 4ක් 
  • එළවළු තෙල් 
  • මිරිස් කුඩු 
  • ගම්මිරිස් කුඩු 
  • ලුණු 

Thursday, November 7, 2013

ඉගිල්ලෙන සිංහයෝ Flying Lions

ඊයේ දවල් අහන්න ලැබුණ දෙයක් නිසා මගේ හිත නිතරම වදදෙනවා ප්‍රශ්න කරනවා මං නොකළ වරදකට ඇයි දඩුවම් විදින්නේ ...ඒ නිසාම ඒ දේ බ්ලොගේ ලියන්න හිතුණා ලියලා හිත නිදහස් කරගන්න . 
                            මගේ හොඳම යාළුවෙක්ගේ යාළුවෙක්  ලබන සතියේ ඊශ්‍රායෙල් එනවලු ...එයා එන්නේ සාත්තු සේවයට නම් නෙමේ ගොවිපළක වැඩට... මාස හතක වගේ විසා පදනමකට.... 'අර රජයට කඩේ යන අයට විතරක් හම්බෙන වීසා' ඔයාලත් දන්නවා ඇති...පස්සේ එයා ඒ ගැන විස්තර ටිකක් කීවා.. කළින් මේ විදියට දෙවතාවක්ම කණ්ඩායම් ඇවිත් තියෙනවා (හි හි කලින් දෙවතාවෙම ෆාම් වීසා වලට ඇවිත් පැනපු නිසා මෙදා නම් ලක්ෂ පහළවක විතර ඇපයකට අත්සන් අරගෙන තමයිලු එවන්නේ) .. මොනාටද දන්නවද ? තක්කාලි ගෙඩි කඩන්න , ගස් වලට සාත්තු කරන්න ,දොඩම් ගස් වල ගෙඩි කඩන්න කොරියාවෙත් යනවලුනේ කිරිදොවන්න අපේ රටෙන්...හ්ම්ම් ... දැන් හිතනවා ඇති ඔමාගේ හිත වදදෙන්න දෙයක් වුණේ නැහැනේ කියලා.. දැන් ලියන්නම්කො 
                                   

Thursday, October 31, 2013

ලෝකෙම ඔබ වෙච්ච නිසා මගේ තාත්තේ

තුරුළුකරන් හිනහුනාට
නුබ හොරාට ඇඩුවා නේද ...

කිරිනොවුනට ඔය රුධිරය 
මා වෙනුවෙන් අහස තරම් ...
දාඩිය බිදු හැලුවා නේද ...
පොඩි මුව නොරිදා හෙමිහිට.. 
විහිළුකතා ගොතා කියා 
මුතුකැට වගේ සුදු දත්ටික 
උදේහවා මදී හොඳට.. 
පොල්කටු ඉස්ත්‍රීක්කයෙන් 
සුදුරැළි එක පෙළට තබා 
මැද ඇන්ඳු පුංචි ගවුම 
ටයිපටියෙන් සරසාලා ...
පොල්තෙල් ගා හිස පිරිමැද 
ඉර හිටින්න දෙකට බෙදා 
කොන්ඩ කරල් දෙක ගොතන්න
තාත්තේ ඔබ සැරකල හැටි තාමත් මතකයි....
සුදු පාටින් මේස් දෙකට 
හැඩ සපත්තු දෙකක් දමා 
පාන්දරම පාසල ලග පුංචි මාව දමා ගියත් 
අඩන් නැතුව හිටියේ ඔබට ආදරේ හින්දයි ....
ඉර හැරෙන්න පටන්ගත්ත වෙලේ ඉදන් කඩුල්ල ලඟ 
දෑස රිදෙනකල් බලාන.....මදුරුවෝ තල තල උන්නේ 
යෝගට් එක කන්න නෙමේ..... ඔබේ මුහුණ දකින්නටයි 
ලෝකෙම ඔබ වෙච්ච නිසා මගේ තාත්තේ ....


(මේ ලියවුනේ මගේ පුංචි කාලේ මතකයක් අද මං තාත්තට කෝල්  කළා ,, එයා ඇඩුවා ගොඩක්...මට පිස්සු හැදුනා මගේ බෙල්ල මිරිකගන්න හිතෙන තරමට උගුර හිර වුණා.)

1.මේ මගේ තාත්තගෙයි මගෙයි පළවෙනි කතාව කැමතිනම් කියවන්න ඔයත්

2.අළුත් තාත්තලාට සහ තාත්තා කෙනෙක් වෙන්න ඉන්න කොල්ලන්ට


Tuesday, October 29, 2013

36.මිරිසට උයපු තලගොයි මස් (අමිහිරි ළමාවියේ මතකයන් part 2)

මේ ළිපිය කියවීමෙන් පසු ඔබ මා ගැන සහ මගේ පියා ගැන මොන ආකාරයෙන් සිතාවිද දන්නේ නැහැ..නමුත් මෙහි අකුරක් නෑර ලියවෙන්නේ වයස අවුරුදු හතත් අටත් අතරදී මා ලබපු සත්‍ය අත්දැකීමක්

                           ඉස්සර තාත්තා එක්ක මට දවසෙම ඉන්න ලැබෙන්නේ ඉරිදට; එදාට අපි දෙන්නා දවල් වෙනකල් නිදාගන්නවා ඊට පස්සේ නැගිට්ටම මට ලොකු කිරි වීදුරුවක් හදාදෙනවා බොන්න ඒක බොන්න අමාරුයි ගොඩක් ලොකුයි ඒත් මං තාත්තට  බයට බොනවා.. ඊට පස්සේ එයා උයන්න පටන්ගන්නවා ,, 
                                           ඉරිදට කුකුල්මස් උයලා කිරට පතෝල හරි වැටකොළු හරි හදන එක තමයි කරන්නේ ඒ මං  ආස නිසා ,, තාත්තා රසට මස් උයනවා මං  හරි ආසයි ,, ඒ රස දැනුත් මතක් කරද්දී දිවට දැනෙනවා,, දවසක් මන් උදේ කළින් නැගිට්ටා තාත්තා මං  ලග හිටියේ නැහැ ඊට පස්සේ මං ගේ පිටිපස්ස පැත්තට ගියා එයාව බලන්න ..එතකොට මං  දැක්කා යුරියා කවරයක් ඇතුලේ සතෙක් දගලනවා කවරේ කට ගැටගහලා තිබ්බේ..පස්සේ මං  දැක්කා තාත්තා එකෙන් තලගොයෙක් අරන් බෙල්ල කපනවා.. මට තේරුණා එයා මට හොරෙන් කරන වැඩක් නිසා යන්න හොද නැහැ කියලා , ඊට පස්සේ මං ආපහු වෙනදා වෙලාවට නැගිටලා යද්දී එයා ඔක්කොම වැඩ ඉවරකරලා ,, ඊට පස්සේ මං ඇහුවා ඇයි අර තලගොයා  මැරුවේ කියලා ... පස්සේ කීවා උදේ මං නිදාගෙන ඉද්දි තලගොයා ගෙට ආවා ඒකයි මැරුවේ කියලා ...ඊට පස්සේ වෙනද වගේ කිරි එක බිබී ඔහේ හිටියා ඒ ගැන ආයෙමත් අහන්න තරම් උවමනාවක් තිබ්බේ නැහැ ඒ කාලේ ..
.......................................................................................................

Friday, October 25, 2013

ගොඩක් දුර ගිය පොඩි කතාවක් 35

            බිත්තර තම්බන්න ගිහින් වුණා වගේ ඊයේ හවස මට තව වැඩක් වුණා.  ඔබට මෙයින් පුංචි හෝ දෙයක් ලැබේවී කියලා හිතුණ නිසා ලියන්න පටන්ගත්තේ.
                                                      ටික දවසක  ඉදන් කිචන් සින්ක් එකේ වතුර බහින්නේ හිමින් හිමින්  සීයට කියන්නත් බැහැ ,,එතකොට අහනවා සින්ක් එකට ඔයා කෑම දැම්මද කියලා (ඒ මොකද කලින් වතාවකදී බාත්රූම් එකේ නාන වතුර යන්නේ නැතුව ඔහොම වෙලත් බැරිම තැන සීයට කීවම එයා ඒක සුද්ද කළා ,, සුද්ද කරන්න අත දාද්දි එයාගේ අතට ආවේ මගේ කොණ්ඩ ගස් කිලෝ එකක් විතර ගුලියක් බැන්නේ නැහැ ඒත් ඒ මතකය නිසා මේක නොකියා හිටියේ ) ඉතින් මං ගේ පුරාම හොය හොයා තියෙන අතට අහුවෙන කම්බි වලින් කූරු ගගා හිටියා උණුවතුර වැක්කෙරුවා,,වේගෙන් වතුර ගැහුවා ,,ගෙයි තියෙන කෙමිකල් බෝතල් වලින් හල හල කම්බි වලින් කූරු ගෑවා ,, ඒත් හරිගියේ නැහැ ,, සීයට තේරුමක් නැහැ එයා කිචන් එකට එන්නෙම නැහැ... ඊයේ පෙරේදා වතුර බ්ලොක් එක හොදටම වැඩි මට රෑ නින්ද යද්දිත් ඒක මතක් වෙනවා ,, අන්තිමට මන් සීයට හොරෙන් පොඩි මිකැනික් පාරක් දාන්න ගියේ 
U හැඩේට තියෙන පැත්තේ සින්ක් එක
   
                               පස්සේ රෑ හොරෙන් ගලවන්න යද්දී ටිකක් බුරුල් කලාවිතරයි උඩින් වතුර හැමතැනම ඊට පස්සේ ආපහු තද කරලා තියලා මන් හිතාගත්තා "හෙට උදේම සීයට කියනවා ,,කියලා මන් හදනවා කියලා " ටිකක් සීනි  වැඩියෙන් දාලා රසට කිරි එක හදලා දීලා ටිකක් ලොකු චීස් කේක් කෑල්ලක් දීලා මුඩ් එක හොදට තියෙද්දී මං කීවා විස්තරේ,,,,ඊට පස්සේ  මං ආයේ  කීවා මට ඒක හදන්න පුළුවන් කියලා.. එයා ඒක ගණන් ගත්තෙවත් නැහැ ,, "හරි යමු බලන්න " කියලා නැගිට්ටා .. මට මොකුත් කීවේ නැහැ "කාලෙකින් පම්ප් කරලා නැතුව ඇති පම්ප් එක ගන්න" කීවා ,,මං එහෙම එකක් දැනන් හිටියේ නැහැ ඒත් එතන තිබ්බ බඩු දිහා බලලා නිකමට මං   නොදන්න දේකට තිබ්බ එක අරන් දුන්නා,, හොඳ වෙලාවට හරිගියා  රූපයේ විදියේ සරළ උපකරණයක් ඔයාලා දන්නවා ඇති මේක ,, මම දැකලා තිබ්බට කරන වැඩේ දැක්කේ එදා .ලී හෝ ප්ලාස්ටික් මිටක් තියෙන්නේ

Saturday, October 19, 2013

අමිහිරි ළමාවියේ මිහිරි මතකයක් 34



  නොයෙක් හැලහැප්පීම් එක්ක දවසේ වැඩිහරියක් හුදෙකලාවේගෙවපු මගේ කුඩා කාළයේ මතකයන් විටින් විට මාව අතීතයට ගෙනියනවා ,,, අමිහිරි සිදුවීම් වැඩිපුර තිබ්බත් පුංචි කාලේ තාත්තා වැඩට ගියාම එයාට හොරෙන් කරපු දේවල් ටිකක් තිබ්බා ,,,ඒ අතර මාළු බෑම තමයි ඉහළින්ම තිබ්බේ. හි හි ඔයාලා කියෙවුවට පස්සේ හිනාවෙයි.
                            අපේ අම්මගේ ලොකු අයියගේ නම ගාමිණී එයාට මගේ වයස පුතෙකුයි තව මට බාල පුතෙකුයි ඉන්නවා එයා රැකියාව විදියට කලේ පොල් පරාල බිස්නස් එක ගස් අරන් මිනිස්සු දම්මලා පලලා පරාල කරලා විකුණපු එක ,ඉතින් දවසෙන් වැඩි හරියක් ගෙදර...එයා වෙල් මාළු අල්ලන්න හරි ආසයි.. ලොකු විසි දැලකුයි,අතංගු ,තව මා දැල්  වගේ ඒවා ගෙදර තිබ්බා ,, හවසට මමයි එයාගේ පුතාලා දෙන්නයි යනවා එයත් එක්ක මාළු අල්ලන්න එයා අපේ තාත්තා එක්ක එච්චර හිත හොද නැති නිසා මාව ගෙනියන්න අකමැතියි ,, අපේ තාත්තා වෙල්මාළු ගදට ආස නැති නිසා මට දැලක් වත් අල්ලන්න එපා කියලා තිබ්බේ ,, ඒත් මන් අඩලා අඩලා පස්සෙන් යනවා,, 
                                         අපේ වත්ත පහල ලොකු වෙල් යාය ඊට එහා ලොකු ගඟකුයි ..  කිලෝමීටර් දෙකකට විතර එහා බන්ට් එක කියලා අපි පොඩිකාලේ හදුන්වපු අමුණකුයි තියෙනවා , ඉතින් ගගේ වතුර අඩු කාලෙට ගාමිණී මාමා එක්ක අපි තුන් දෙනා ගගේ බැහැලා ගඟ දිගේ අමුණ ගාවට යනකල් යනවා ,,ගගේ වතුර තිබ්බේ ඉන ගාවට විතර මගේ .

.මාමා දැල දානවා ඊට පස්සේ අපි අහුවෙන මාළු කූඩේට එකතු කරනවා ,, සමහර තැන් වල ගගේ  අයිනට වෙන්න ගුල් ඇතුලේ "කාවයියෝ" කියන මාළු ඉන්නවා ,, ගුල් අස්සට එහෙම අත දාපුවම මාලුවෙක් අහුවුනාම ඉතින් හරි ලොකු දෙයක් කළා වගේ ,,,අපි තුන් දෙනා නිතරම මාළුන්ට රණ්ඩු කළා,, එහෙම ගුල්වලට අත දාපුවාම ලොකු කළුපාට කකුළුවෝ ආපු වෙලාවලුත් තිබ්බා ,,ඒ වෙලාවට කෑගහලා ගොඩට දුවනවා ඊට පස්සේ ටිකක් ගොඩ ඉදලා ආයෙම ගඟට බහිනවා ,,, 

ගාමිණී මාමා එයාගේ ළමයි දෙන්නට වඩා මාව පරිස්සම් කළා.  අර මඩ ගොහොරුවේ බැහැගෙන ගිය හැටි,දැන් මතක් වෙද්දීත් අප්පිරියයි ,,, ගුල්වලට අත දැම්මේ කොහොමද කියල හිතාගන්නත් බැහැ..,, ගගේ වතුර වැඩි කාලෙට බහින්නේ නැහැ ,,,බිලීබාන එක තමයි කරන්නේ ,, 
                          ඉස්කෝලේ ඇරිලා ඇවිත් කාලා අපි තුන් දෙනා යනවා කිතුල් ගස් තියෙන තැන් හොයාගෙන ,, ඉස්සර අපේ පැත්තේ පාළු ඉඩම් ඕනේ තරම් ,,ඉතින් ලොකු කිතුල් ගස් යට පොඩි කිතුල් පැලගස් තියෙනවා ,,, අපි කරන්නේ මුලින්ම හොද කිතුල් අතු ටිකක් කපන් ඇවිත් මැද නාරටිය ඉතුරුවෙන්න කොළ ටික විසිකරලා වහලේ උඩ දාන එක ,, 
                                      ඉර අවුවට පිච්චුනාම හොදට පදම් වෙලා එනවා බිලීපිත්ත,, ඊට පස්සේ තංගුස් නූල් ,,බිලිකටු ගෙනත් බිලිපිති හදාගන්නවා ,, ,,තව බිලිපිති එක්කම කළෙන් වැල් ජාති ඇදගෙන එනවා ,,, ඒවා ගේන්නේ ඉලගොටු හදන්න ,,, ඉරටුයි වැලුයි පාවිච්චි කරලා අපි ඉලගොටු හදනවා ඊට පස්සේ,, 
                           
                                       
               වැස්සට වෙල් යාය පිරිලා වැව වගේ වෙනවා ,, ඒ වෙද්දී අපි බඩු ටික රෙඩි කරන්ඉන්නේ වතුර අඩුවෙලා යන්තම් නියර පේන ගානට එද්දී අපි අර හදපු ඉලගොටු ගෙනියලා වෙලේ වක්කඩ වල තියනවා ,, ඊට පස්සේ ඉතින් පැයෙන් පැයට ගිහින් බලනවා මාළු අහුවෙලාද කියලා ,,,ඉතින් අපි විතරක් නෙමේ අහල පහල අනිත් ළමයිනුත් දානවනේ ,, ඉස්කෝලේ ගිහින් ආවම කන්න කලින් ගිහින් බලන්නේ මාළු ඉන්නවද කියලා ,, සමහරු අපේ ඒවල මාළු හොරෙන් ගන්නවා අපිත් ඒ වගේ හොරෙන් එයාලගේ ඒවා බලනවා ,, 

පුදුම පිස්සුවක් තිබ්බේ ඒ කාලේ ,,, අලුතෙන් වැහැලා දවස් 3ක් ගිය හැටිය ඉලගොටු වලට අහුවෙන ලොකු මාළු දැක්කම එච්චර ලොකු මාළු කොහේ හිටියද කියලා හිතෙනවා ,, "බට්ටෝ ,ලුලෝ ,කාවයියෝ ,පෙතියෝ,හුන්ගෝ ,වැලිගොවුවෝ ,ආදෝ "වගේ මාළු අහුවෙනවා ඉලගොටු වලට ,, ඉලගොටුව බලන්න වෙලට යන්නේ දිග ඉරටුවක් අරන් ,,මාළුවෙක් අහුවෙලා හිටියොත් මාළුවාගේ කරමල අස්සෙන් රින්ගෝලා කටින් එන්න ඉරට්ට ගහලා ගෙදර ගේන්න නිසා, මල් අමුණනවා වගේ තමයි ,, ඒත් ටිකක් ලොකු මාලුවෙක් අහුවෙලා හිටියොත් අහළපහල ගෙවල් වලටත් පෙන්නගෙන ඉලගොට්ට පිටින්ම තමයි ගෙදර ගේන්නේ ,,
                                                 
    වෙලේ වතුර තව ටිකක් අඩුවේගෙන එද්දී පටන් ගන්නේ බිළිබාන්න,, වැස්සට පස බුරුල්වෙලා තියෙන නිසා බිලිබාද්දී ඇමට ගන්න පනුවෝ හොයාගන්නත් ලේසි ,, වත්ත පහළ කොටලා පොල්කට්ටක් පිරෙන්න හොද ලොකු සයිස් පනුවෝ හොයාගන්නවා ,, 

ඊට පස්සේ පොල්කට්ට පණුවන්ගෙන් පිරුණට පස්සේ උඩින් පස් ටිකක් දාලා වහගෙන වෙලට ගෙනියනවා ,, ඊට පස්සේ පනුවාගේ කටින් හෝ පස්ස පැත්තෙන් පණුවව බිලිකොක්කට අමුණගන්නේ පනපිටින්මයි ,, වැඩිපුර කෑල්ල කඩලා පොල්කට්ටෙන් තියනවා ,, ඊට පස්සේ ,, පණුවට කෙළපාරකුත් ගහලා ඇලට දානවා ,, අපි තුන් දෙනා පැය ගණන් මාළු අල්ලනවා එක්කෙනෙකුට එක්කෙනෙක් ඉරිසියයි ලොකු එකෙක් අහුවෙනවට ,, 

මාළු අල්ලන්න  හැමෝටම බැහැ ඒකත් ක්‍රමයක් තියෙනවා ,, ඉපියාව දිහා බලාගෙන තමයි වතුර යට වෙන දේ තේරුම් ගන්නේ ,, ගැස්සී ගැස්සී තිබිලා මාළුවා ගිල්ලා කියලා දැනගන්නකල් අදින්නේ නැතුව ඉන්න ඕනේ ,, මාළු අල්ලලා තියෙන අය දන්නවා ඇතිනේ ,, නිකන් හරි මාලුවෙක් අහුවෙන්නේ නැතුව නිකන් පිත්ත උඩට ගත්තොත් හරි මාළුවා ඇම කාලා ගිහින් තිබ්බොත් හරි ඉතින් එහෙම වෙච්ච කෙනා අනිත් අයගෙන් බැනුම් අහනවා ,, 

"හ්ම්ම් ඔන්න කළා වැඩක් දැන් ඉතින් අපිත් අල්ලලා ඉවරයි " "දැන් මාළු දන්නවා අපි ඉන්නවා කියලා "ශික් අපරාදේ මගේ එකටත් එකෙක් කොට කොට හිටියේ ඔයා වැඩේ කෑවනේ ",,ඔහොම කියනව 
                                            
 වැස්ස නැවතිලා ඇලේ, වෙලේ වතුර හිදීගෙන යන කාලේ එද්දී අපි තුන් දෙනා තව අපූරු වැඩක් කරනවා ,, අපි විතරක් නෙමේ වෙන අයත් කරනවා එහෙම ,, ඇලේ කොහේ හරි තැනක් බලලා වතුර හිදිළා වලක් වගේ වතුර එකතුවෙච්ච තැනක් හොයාගෙන  ඒකේ එක පැත්තකින් වැටියක් බදිනවා මඩ වලින් බැදලා ඉවරවෙලා බාස්කට් ,පනිට්ටු ගෙනත් වතුර ඉහින්න පටන් ගන්නවා ,,, 

වතුර ටික ටික අඩුවේගෙන එද්දී මාළු දගලනවා පේනවා ,, නියමයි ,, මඩ ගදේ ඉන්න බැහැ ,, ඒත් අපි තුන් දෙනා වතුර ඉහල වල හිදීගෙන එද්දී මාළු අත්වලින් අල්ලනවා ,, අර ගගේදී වගේ ගුල් අස්සට අත දාලා තමයි "මගුරෝ" වගේ මාළු අලන්නේ ආදෝ , කාවයියෝ ,ලුලෝ තමයි ගොඩක් ඉන්නේ ,,අපේ මුණවල් ගන්න දෙයක් නැහැ මඩ,,හි හි මතක් වෙද්දී දැන් අප්පිරියයි  

                                              ඔහොම එක එක විදි වලට මාළු අල්ලන් ආවට අපි තුන් දෙනාම කන්නේ නැහැ ඒත් ආසයි අල්ලන්න ,, ඊට පස්සේ මන්  තාත්තා එන්න කලින් ගෙදරට ඇවිත් නාලා ඉන්නවා සද්ද නැතුව .. තාත්තා කවුරුත් එක්කවත් ආශ්‍රයක් නැති නිසා මාළු අල්ලන,, වෙලේ දඟලන සෙල්ලම එයාට ආරංචි වෙන්නේ නැහැ ලොකුවට ,, 

තව එකක් අමතක වුණා.. "කූනී ගානවා " කියලා එකක් තියනවා ,, හොදට වැහැලා දවසින් දෙකෙන් වෙල්යාය පිරුණම පහුවදා උදේට තමයි මේක කරන්නේ ,, වෙලේ ලියදි වල හතර කොනේ ඉන්න කූනිස්සෝ අල්ලන්න පුළුවන් මෙහෙම,,අර පස් පුරෝන කුඩ තියෙන්නේ අන්න ඒවගේ කූඩයක් විතරයි ඕනේ..

 ලියද්දේ කෝන් වලට ගිහින් එතන මඩ වෙනකල් උඩපැනල පැනලා මඩ කරනවා ඊට පස්සේ  අර කූඩේ අරන් වතුර යටට දාල ගන්න තියෙන්නේ ,, කොහෙන් ආපු කුනිස්සොද දන්නේ නැහැ ඒත් හැමදාමත් එහෙම හිටියා කූනිස්සෝ ,,
                                                      ඔහොම  දවසක් වෙලේ වලක් ඉහලා මාළු අල්ලන්න ගුලකට මම අත දානකොට ලේ හුන්ගෙක් අතට විද්දා එකපාරටම ආපු වේදනාවට මට හොදටම ඇඩුනා ,,, කෑ ගහගෙන ගොඩට දුවනකොට මාමත් බයවෙලා මගේ පස්සෙන් දුවන් ආවා මම අඬාගෙන ගෙදර දුවන්න හදනකොට මාම මගේ අතින් අල්ලං බේතක් කරල වේදනාව අඩුවෙනකල්ම ඉඳලයි ගෙදර යන්න දුන්නෙ...ඒත් මම ගෙදර ගිහිං වෙච්චි දේ කිව්වෙ නෑ.

එහෙම වුනත් මාළු අල්ලන්න තියෙන ආසාව පොඩ්ඩකින්වත් අඩුවුණේ නෑ.....

.
        ඔය විදියට අවුරුදු දාහතරක් පහළවක් වෙනකල්ම අපි මාළු අල්ලන වැඩේ කළා ,,පායන කාලෙට සරුංගල් පිස්සුව ඒත් වෙලේමයි ..පස්සේ පස්සේ මන් දැක්කා ගමේ ලොකු  ගෑණු ළමයි ස්ටයිල්  එකට ඇදගෙන පාරේ යනවා මන් මාළු අල්ලනවා පිලීගඳ මඩ ගාගෙන වෙළවල් වල, ලැජ්ජාවක් එක්ක මේදේවල් ඇති කියන අදහස මටම දැනෙන්න ගත්තා  .. සාමාන්‍ය පෙලට පංති යන්න පටන් ගද්දි ඉබේම ඒ දේවල් නතරවුණා,, මෙදා ලංකාවට ගිය වෙලාවේ දැක්කා අපි මාළු අල්ලපු ඇළ වටේටම ලොකු පදුරු ,කටුගස් වැවිලා,, සන්නිවේදනයේ  දියුණුවේ බලමහිමය ,,මහා විපර්යාසයක් ඒ මුළු පරිසරයේම ,,,,,

ලිපිය ලියලා පබ්ලිෂ් කළාටත් පස්සේ ලැප් එක ෂට්ඩවුන් කරන්න හදද්දී දැක්කේ මාස ගාණක් තිස්සේ මගේ ඩෙක්ස්ටොප් එකේ වෝල් පේපර් එක මේ ෆොටෝ එක ,,,හරි පුදුමයි මන් තාමත් ඒ අතීතේ විදිනවා

Friday, October 11, 2013

තාත්තෙක් වෙන්න ආසද 33


                                           ලියන්න ඕනේ යටිපෙළ අදහස මට ආරම්භයක් දෙන්නේ නැහැනේ ,,,මෙහෙ  සුදු ඇන්ටිලා සමර් එකේ උනාදාපු ඇදුම් ආයෙම අදින්න පටන් අරන් ,,, ලොකු අවුකන්නාඩි නොදා පාර්ක් එකේ යන්න පුළුවන් ,,, සීතල හුළං රැළි ඇගේ වැදෙද්දී ආ,,,සයි,,,
                     ඒ බලු පැටියගෙයි එයා අයිති රයිනෝ වගේ ලොකු ගෑණු කෙනාගෙයි මුණු දෙකම එක වගේ වුණේ කොහොමද ,,, ඕක වෙච්ච පළවෙනි වතාව නෙමේ මේ ,, ඒකට උත්තරයක් හොයන් මට වැඩක් නැහැ ,, දහස්  ගණන් දීලා  සැන් පවුඩර් ගාලා ,කොණ්ඩා පීරලා හැදුවට බිත්තරයක් වත් දානවයැ,,බල්ලෝ 
                                   තාත්තාට මන් කෝල් කලා ,,අවුරුදු තුනකින් ඒ කටහඩ ඇහුවේ ...පුංචි කාලේ මතකයන් ගොඩක් අළුත් වුණා.. මගේ තාත්තා කොච්චර වයසට ගියත් මට අදටත් මැවෙන්නේ එයාගේ තරුණ කාලේ කඩවසම් රූපේ ,කටහඩ ,,එදා තාත්තා කතා කරපු දා රෑ අහපු සිංදුවක් මගේ හිතට වද දෙනවා මන් ඔයාට කියන්නම් සේරම අහගෙන ඉන්න 

            සද හාමිනේ මගේ ....දරුවන් උකුළේ තියා 
            නිදිකිරනවා ඇතී......රෑ මැද නෙත නොපියා 
            දිපන්කරේ ආවේ.. ..මගේ දරු පැටව් නිසා 
            මට බය උන්ට මා ...අමතක වේද කියා 


                                ඉස්සර තාත්තා මට කැට පෝලයක් හදලා දීලා තිබ්බා අපි දෙන්නට දෙකක් තිබ්බා ,, හවසට වෙලේ ඉන්න කොක්කුන්ට අපි විදිනවා ගල් වලින් ,,,මං කල්පනාකලේ මගේ තාත්තට මාව හුරතල් කරලා ලොකු සතුටක් හම්බෙන්න ඇති ,,අම්මා ලග නැති පාළුවත් ටිකක් හරි තුනී වෙන්න ඇති ,, ඒත් අවුරුද්දේ දෙකේ පුංචි දරුවෝ බිරිඳ එක්ක තියලා පිට රටවල රස්සාවල් කරන තාත්තලා ,,ඒ වගේම ඒ තාත්තලගේ පුංචි දරුවෝ ,,සමහරවිට බිරිදට බබා හම්බවෙන්න ඉද්දි සැමියට රට යන්න වෙනවා ...
                               රෝගියෙක් විදියට ප්‍රතිකාරෙකට ,එහෙම නැත්නම් ස්ථිර පදිංචිය පිණිස පවුල් පිටින්ම පිට රට යෑම හැර වෙන මොන කාරණාවක් වෙනුවෙන් හරි අපි පිට රටක රැකියාවක් කරන්නේ සල්ලි ඕනේ නිසා ,,, මේ ඉන්නවට වඩා ඉහලට යන්න ඕනේ නිසා ,, පවුලේ අනාගතය ,,ගේ හදාගන්න ,,ළමයින්ට උගන්නන්න මේ වගේ මුලික හේතු එකක් හෝ කීපයක් නිසා ,,,මන් ආස නැහැ ඔබට වාර්තාමය ලිපියක් ලියන්න රාජකාරි විදියට බස හසුරවමින් ,,කරුණු පෙළගස්වමින් ,,,ඒ මොකද මන් ආස නැහැ එවැනි ලිපි කියවන්න ,,උඩයි යටයි විතරයි මන් කියවන්නේ ඒ වගේ ලිපිවල ,, "අපේ ශ්‍රී ලංකාව ඇතුළු තුන් වන ලෝකයේ කියන රටවල් වල විදේශ ගත වි රැකියා කරන එක සහ එහි ආදීනව එදිනෙදා ඕනේ තරම් අහන්න ලැබෙනවා" අපි හැමෝම දන්නවා ඉතින් ඒ ගොඩට මට මොකුත් එකතු කරන්න ඕනේ නැහැ ,,ඔබේ හදවතට පුංචි කතාවක් කියන්නම් රට ගිය පියෙක් හා එවැනි පියෙක්ගේ දරුවෙක්  ගැන  එච්චරයි ,, හ්ම්ම් 
                                   
                                       

         දරුවට මාස කීපයක් වෙද්දී තාත්තා පිට රටකට රැකියාවට යනවා ,,,, ඔයා හිතන්න ඒ දරුවට මේ විදියට තාත්තගේ කරේ ඉන්න පුළුවන් වෙනවද ,,, අතේ තියාගෙන ඉන්නවට වඩා මෙහෙම ගොඩක් උස තැනක ඉදලා අවට බලන්න එයා ආසයි ,,, හරි දරුවට මාමලා ,,සීයලා ඉන්නවා එයාලා මෙහෙම කරලා ඒ කරේ යන අත්දැකීම දුන්නා කියමුකෝ .... ඒත් ඒ තාත්තට කෝ ඒ අත්දැකීම ,, එයා රැකියාව කරනවා නවාතැනට එනවා (පිට රට ඉන්න තරුණ තාත්තලාගේ අතුරු කතානම් බොහොමයි ...ස්කයිප් ,ෆේස්බුක් හරහා ඔවුන් බොහොම සතුටින් ඉන්නවා කියලා ඔයා දැන් හිතයි ඒත් ඒ සියල්ල පසෙක තියලා ගැඹුරින් බැදීම් ගැන විතරක් හිතලා ලියන්නේ )අවුරුදු දෙකක් රැකියාව කරලා ගෙදර යද්දී ළමයා ලොකුයි.. 


මේ විදියට වැඩට ගිහින් ඇවිත් ෂර්ට් එක විතරක් ගලෝලා දාඩිය පිටින් පොඩි එකාව අතට අරන් බලන් ඉන්න එයාට හම්බවෙනවද ,,,(දැන් නම් එහෙම අල්ලන්නවත් දෙන්නේ නැහැ විෂබිජ නිසාලූ) "මගේ මුණමයි ,,,දෙයියනේ මේ මගෙම දරුවා නේද" ,, කිරිපොවලා ,, ඔඩිකොලෝන් ගාලා පව්ඩර් ගාලා ඉන්න තමන්ගේ දරුවව ලගට අරන් ඉබිද්දී එන ඒ සුවද රට ඉදලා ස්කයිප් එකෙන් හුරතල් කලාට තාත්තට විදින්න පුලුවන්ද ,,,මාස හය හත ඉදලා අවුරුදු දෙක තුන කියන බහතෝරන කාලේ කියන හුරතල් කතා ඒ තාත්තට රිසිසේ අහන්න හම්බවෙයිද ,,,අපි පොඩිකාලේ කථාකරන්න අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ඉගෙනගත්තා ඒත් තාත්තා රට ඉන්න පුංච් දරුවට තාත්තාගෙන් ඉගෙනගන්න ලැබෙන්නේ නැහැ ,, තාත්තා අනාගතේ ඉටුකරන්න තියෙන යුතුකම් වෙනුවෙන් වර්තමානේ කැප කරලා ,,,
                                දරුවට අවුරුදු දෙකක් තුනක් වෙද්දී තාත්තා කෙනෙක් රට යනවා ,, ඔහු යන්නේ දරුවා වෙනුවෙන්මයි පවුලේ අනාගතය වෙනුවෙන් ,,, බොහෝ විට එක වරකට සීමාවෙන්නෙ නැහැ ඒ ගමන,, වසරින් වසර අළුත් උවමනාවල් හේතු එකතු වෙනවා දිගටම රට රැකියාව කරන්න ,, "උන්ගේ තාත්තා ඉතාලි බන් " "යනවා එනවා " "දැක්කද අළුත් බයික් එක උන්ගේ තාත්තා සල්ලි එවනවනේ බන් "  යාළුවො කියයි ,,,
මොනදේ ලැබුණත් ....ඒ වගේ තාත්තා කෙනෙක් පොඩිකාලේ ඉදන්ම පිටරට ඉන්න දරුවෙක්ට කොච්චර අත්දැකීම් ගොන්නක් අහිමි වෙනවද ...
                                        වැරදි කරලා අම්මා කෑගහද්දී ඉස්සර මට හිටපු ගැලවුම්කාරයා තාත්තා ,,ඒත් අම්මා කෙනෙක් එක්ක විතරක් හැදෙන දරුවෙක්ට අත්තම්මා ,සීයත් නැත්තම් ඉතින් අම්මා ඉස්සරහා නැගිසිටින්න කිසිම හයියක් නැහැ ,,,තාත්තා අවුරුද්දට සැරයක් දෙකකට සැරයක් නිමාඩුවට ඇවිත් ගියාට සමීප බවක් දැනේවිද ,, ඒ තාත්තා ආගන්තුකයෙක් වගේ ඇවිත් ටිකක් දරුවා සමීප වේගෙන ඉද්දි ආපහු යනවා ,,, 

                    "තාත්තේ ටිකක් වඩාගන්නකෝ " කියන්න පුලුවන්ද ළමයෙක්ට අවුරුදු අටක් දහයක් ගියාම ,,, තාත්තට පුලුවන්ද ඒ වයසේ ළමයෙක් ඉස්සරහ වීරයෙක් වෙන්න,, ඒ වයස වෙද්දී ...මෝටර් බයික් එකේ ඉස්සරහා ටැංකිය උඩ ඉදගෙන තාත්තා එක්ක ඉස්කෝලේ යන ළමයෙක්ගේ මුණේ තියෙන ආඩම්බර උද්දාමය මන් දැකලා තියෙනවා ,,, තාත්තා රට ඉන්න දරුවෙක්ට එහෙම යන්න පුළුවන් වයස පහුවෙලා තාත්තා එක්ක යන්න වෙන්නේ බයික් එකේ පිටිපස්සේ තමයි 

                                     ..ආර්ථිකය ඉහල ගියාට සල්ලි හම්බවෙලා ගේ හැදුවට අග හිඟකම් දුරු උණාට පුතෙකුටයි තාත්තා කෙනෙක්ටයි ලබන්න තිබ්බ අත්දැකීම් ,,,වින්දනයන් මහාගොඩක් අහිමි වෙලා ඒවා ආයේ කවදාවත් ගන්න බැහැ ...දරුවන්ට ආදරේ නිසාමයි රට රකියාවකට යන්නේ ,,,පවුල ගොඩගන්න ඕනේ නිසා,, ඒවා එහෙම වෙනවා ,,, ඒත් අර කරේ ගිහින් ,, ලුණු ගිහින් ,,,වඩාගෙන ,,බයිසිකල් පද්දගෙන දරුවාගේ  ඇගේ ගෑවී ගෑවී කාලේ ගත වෙද්දී දැනෙන පිරිච්ච අමුතු බැදීම හිත් වලට කොහෙන්ද ගේන්නේ ,,,, ඒවා කොහෙහරි රටකට ගිහින් ගේන්නද ,,, සල්ලි වලට මොනතරම් දේ කරන්න පුලුවන්ද මනුස්ස ජිවිතේක ,,,
                     අගක් මුලක් හොයාගෙන ලිහන්න බැරි තරම් පැටලිච්ච නූල් බෝලයක්  ලිහන්න උත්සහ නොකර ඇස් වලින් ලිහන්න පාරවල් හොයා හොයා නූල් බොලේ දිහා බලන් ඉන්න විතරයි මට පුළුවන් හොදටම පැටළුම වැඩිනම් ඒක විසිකරලා අළුත් නූල් පන්දුවක් අරන් පටලගන්නේ නැතුව තියාගන්න එක තමයි කරන්න වෙන්නේ ,,,
                                 මන් පටන් ගන්නවා ,,දැනටමත් පටන් අරන් තියෙන්නේ ,,, ඔයත් පටන් ගන්න ,, කසාද බදින්න කලින් පුළුවන් තරමින් ජිවිතේ ගොඩ දාගන්න ,,, ඔයා අම්මෙක් තාත්තෙක් වුණාට පස්සේ දරුවන්ගෙන් ඈත් වෙන්න එපා ,,,ජිවිතේ ලැබෙන ගවුරව ,,නම්බුනාම ,,ඉඩකඩම් දේපළ මේ හැම දේටම වඩා දරුවෝ බිරිද ,සැමියා ආදරෙන් හිනාවෙලා සතුටින් ඉන්න එක කොච්චර වටිනවද ,,,කියන්න ලේසී කරන්න නේ අමාරු දැන් තියන ආර්ථිකෙත් එක්ක ,, එහෙම කියලා හේතු හදන් හර්දසාක්ෂිය වහලා හිස් ටින් බෙලෙක්ක වගේ හිනාවෙන්න එපා ,,, දරුවෝ කුඩුකාරයෝ ,,ස්ත්‍රීදුෂකයෝ වෙච්ච කෝටිපතියෝ ඕනේ තරම් ඇති අඩා වැටෙන ඉතින් ඒ සල්ලි වලට පුලුවන්ද එයාගේ හිත හදලා එයාව හිනස්සවන්න ,, ඒ නිසා නතරවෙලා ජිවිතේ ගැන හිතන්න ,, ඔයාගේ ජිවිතේ ඔයාගේ ,,   මන් ලියලා ඉවරයි  ස්තුතී------------------෴




Sunday, September 29, 2013

ආදරය නිරුවත් කලෙමි.. 32


     
  හිතුණා  ලියන්න ආදරය  ගැන ,,,,,,,,,ආදරේ
කියන්නේ අම්මෝ මට හිතා ගන්න බැරිතරම් ලොකු මාතෘකාවක්.. ලෝකේ කෝටි ගණන් ගීත ,චිත්‍රපට,නවකථා තියෙනවා ආදරය ගැන මව් ගුණ ගීතයක් ගත්තත් ,,දේශාභිමානී ගීතයක් ගත්තත් ,,සොබාදහම ගැන ලියවෙච්ච ගීතයක් ගත්තත් ඒ හැමදෙයක් පිටුපසම තියෙන්නේ ආදරයක් ,බැදීමක් ,,,,,,,,,,,,,,,මට අද හිතුනේ මේ සියළු ආකාර ප්‍රේමයන් අතරින් අපි ගැහැණුන් සහ පිරිමින් විදියට ලේ බැදීමකින් තොරව ඇතිවෙන ආදරේ ගැන ලව් එක ගැන ලියන්න 



"ඔබට ආදරේ කොහොමද දැනෙන්නේ ?" 

"ආදරේ ගැන ඔබේ අදහස මොකක්ද ?" 


ඔය වගේ ප්‍රශ්න වලට සාමන්‍යයෙන් අපි දෙන පිළිතුරු කීපයක් තියෙනවා 


  • .ආදරේ සුන්දරයි 
  • ආදරේ කියන්නේ දුකක් 
  • ආදරේ මායාවක්
  • ආදරේ කියන්නේ කදුලක් 
  • ආදරේ භාවනාවක් වගේ 
  • මට නම් රැවටීමක් 
  • අනේ මන්ද 
  • පරිත්‍යාගයක් 
මේ මං දැකපු අසපු සාමාන්‍ය පිළිතුරු කීපයක් ,,


අහපු ප්‍රශ්නෙට උත්තර ගැළපුනත්,, ආදරේ කියන ඒ විශාල දෙයට අර්ථකථනයක් ඒ එකකවත් නැහැ,, අද දවල් ඇහුවා ලස්සන ගීතයක් අකුරු සතරකින් මනස පැටලිලා,,,,,,,මර්වින් පෙරේරා මහත්මයා ගායනා කරන .ඒක ලියපු කෙනා එයාගේ හැගීම හරි අපූරුවට ලියලා තියෙනවා 



අකුරු සතරකින් මනස පැටලිලා 

වැලිපිල්ලේ ලිය ලියා 
ගලපන්නට බැරිව ලත  වුණා
ආදරයයි අකුරු සතර ඒ 


ආ' යන්නෙන් මා පැතු ආදරේ  

ද 'යනු ගිනිතියලා දව දවා ගින්දරේ 
ර 'යනු රන් බැවින් සවන් යුග වසා 
ය 'යනු කීවේ යන්න ඔබ හැරා


වි' යනු වියෝගේ මැවුවා සිතේ 

වා 'යනු වාවන්නට පෙළඹුවා නිරතුරු 
හ' යනු හසරැළි නගන්නෙම් කියා 
ය' යනු යලි කීවේ එන්න ඔබ කරා 


                                                                     ඔමාට ආදරේ දැනිච්ච හැටි ලියන්නම්කො ඒක ඔබේ හැගුමට වඩා වෙනස් වෙන්න පුළුවන් වගේම මාන්ජමික වෙන්නත් පුළුවන් ,,,


  චූටි කාලේ ආදරේ කරේ පවුලේ අයට ටීචට ,,,ගෙම්බොන්ට , බල්ලොන්ට පුසොන්ට ,පොත්වලට  ,, ඒකනේ අපි ඉස්සර පොත් පවා ඉම්බෙ ආදරෙන් ,,මං ගොඩක් උත්සහ කළා වයස 9 ,10 කාලේ දැනිච්ච ආදරේ විදිය කොහොමද කියලා මතක් කරන්න ඒක නම් බැරි වැඩක් වුණා මතක් කරගෙන ඒ හැගීමෙ රසය විදින්න....තාත්තා එක්ක මට දැනිච්ච ආදරේ තුළ තිබ්බේ මාව පරිස්සම් කරන ,කන්න බොන්න දෙන මං කරන්න ඕනේ නොකරන්න ඕනේ දේ තීරණය කරන මගේ ප්‍රධානියා වගේ හැගීමක්,,,ඒ හැගීම බැදීම ලොකු මහත් වෙද්දී අපි විවිද ආකාර වලින් දකිනවා ..ආදරේ කරනවා ,,,
                                                                      ඒත් ලොකු වෙලා අර නව යොවුන් කියන කාලෙදි අමුතු වෙවුවා එකක් ඇතිවෙනවා කොහෙවත් නැති උපන්තේකට දැකලා නැති කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් ,,,, ඒ වයසේදී ඇති වෙන ආකර්ෂණය ආදරය නෙමේ කියලා පහු කාලෙක අපි ඉගෙන ගත්ත නිසා ඒ ගැන ලියලා ලිපිය නිකන් මාගලක් කරන්න ඕනේ නැහැ ,,,
                                        ඉගෙනගෙන ඉවරවෙලා ජොබ් එකක් එහෙම කරන කාලෙදි 'සිරා' ලව් කියලා බදින්නම කියලා කරන්න ගන්නවනේ අන්න ඒ වගේ ආදරයක් ඇතුලේ මොනාද තියෙන්නේ ,, හරි පුදුමයි නේද කොහෙවත් හිටපු දෙන්නෙක් දැන් එකිනෙකාගේ අයිතිකාරයෝ වෙලා...ඉස්සර ආදරේට පොත් ඉම්බා වගේ එකිනෙකාව ඉබිනවා කෑවද බීවද හොයලා බලනවා ..එයා ලග දැවටෙන්න ,කටහඩ අහන්න ආශ කරනවා ,, 

                                                   
         
    අවුරුදු විසිගාණක් තිස්සේ කන්න බොන්න දීලා ඉදුම් හිටුම් දීලා හැමදේම කරලා බලාකියාගත්ත අපිව මේ ලෝකෙට ගෙනාපු අම්මා තාත්තට "මං එයාට ආදරෙයි මං කරන්නේ මට ඕනාදේ" , "මගේ ජිවිතේ තීරණ ගන්නේ මම " ,"මං බදින්නේ මට ඕනේ කෙනාව "  "මේ අම්මේ මගේ එවුවට අතදාන්න එපා ඈ "ඔයවගේ දරුණු වචන ලේසියෙන් කියන්න පවා පුළුවන් කරවන මහා පුදුමාකාර දෙයක්  මේ ආදරේ මාත් ඔය වචන වලින් එකක් හරි කියලා ඇති අපේ අම්මට .. 
                                                අනේ ඇත්තට මොකක්ද මේ බලගතු ආදරේ ඒ ගැන නිර්වචනයක් දෙන්න කවුද මේ ඔමා,, මට දැනෙන්නේ මේ අරුම ආදරේ කියන්නේ  බඩගින්න ,වතුර තිබහ , වගේ මේ ඇගට දැනෙන දෙයක් වතුර තිබහ හැදුන වෙලාවට වතුර බිපුවාම මගේ ඇගට හෙන ෆිට් එකක් දැනෙනවා ඒ අවශ්‍යතාව සම්පුර්ණ වුනාට පස්සේ මන් තෘප්තිමත් ,, බඩගින්නටත් එහෙමයි බඩගිනි දැනුනම කන්න ඕනේ,,කෑවට පස්සේ ඒ අවශ්‍යතාවෙන් මන් තෘප්තිමත් ,,ඒ වගේ ගතට දැනෙන හැගීම් අවශ්‍යතා වගේම ආදරෙත් ආත්මයට දැනෙන අවශ්‍යතාවක් කියලා මට හිතෙනවා.. 

 ඒ වගේම ඒක හදවතට දැනෙනවා ,හදවතින් ආදරේ කරනවා කියලත් කට්ටිය කියනවනේ ,,මට නම් මගේ මේ හිත දැනෙන්නේ මගේ ශරීරෙ පුරාම ,,,කොහොම නමුත් මට දැනෙන දේනම් "ආදරය කියන්නේ අළුත් පරම්පරාවක් ඇති කිරීමට නව ජනිතයෝ බිහි කරන පිණිස අහඹු ලෙස ගැහැණියක් හා පිරිමියෙක් ලවා ලිංගික ප්‍රජනන ක්‍රියාව කරවන පිණිස අඩිතාලම දමාගැනීමේ මුලික ක්‍රියාවට කියන නම යි "   ඕක ආස හිතෙන දෙයක් නොවුනොත් ,,O/L , A/L වගේ කළයුතු ඒත් අප්පිරියාවෙන් කරන දෙයක් වගේ වුණොත් අපි නොකරන නිසා වෙන්න ඇති ආදරේ කරද්දී අමුතු මෙවුවා එකක් ,,කිති කැවෙන හැගීමක් ආසාවක් දැනෙන්නේ  ඒක මේ සොබාදහම අපිව රවට්ටලා එයාගේ වැඩේ කරගන්න දෙන ටොපියක් වෙන්න ඇති ,,, 
                                                                                                                 
                      ශිෂ්ඨාචාර වුණාට පස්සේ කසාදේ කියන ලයිසන් එක ගත්තාම ආදරේ කියන මුලික පදනම මත ඉතුරු අවශ්‍ය වැඩ ටික සිද්ධ වෙනවා ..අළුත් පරම්පරාව බිහි වෙනවා ,, ඒත් අනේ අර අම්මා තාත්තා උයලා දෙන එක කාලා පොඩි රස්සාවක් කරගෙන කුරුල්ලා වගේ නිදහසේ ඉන්න තිබ්බ පිරිමි වෙනම ගෙයක් අරන් ,බිරිදට දරුවන්ට කන්න බොන්න අදින්න දීගෙන ඇයි මේ වෙහෙසෙන්නේ ,, ඒත් ඒක බරක් විදියට කවදාවත් නොහිතෙන්නේ ..? දරුවන්ට බිරිදට ආදරේ කරන්නේ ,, මන් හිතන්නේ ඒකත් අර ලව් කරන කාලේ දුන්න ටොෆියට වඩා රසවත් ,සුන්දර රැවටීමක් සොබාදහම ,,මනුෂ්‍යයාට දෙන නිසා කියලා ,, ඒ තුලින් ශරීරයත් ,ආත්මයත් තෘප්තිමත් කරන නිසා කියලා SEX කියන වචනය  එහෙම බලද්දී ආදරය වගේම සරලව කියන්න පුළුවන් වචනයක් මොකද හැම මනුෂ්‍යයටම පොදු නිසා ..(ලියන්න සිතුවේ ආදරය ගැන පමණයි එහෙත් හිතට ගලාගෙන ආපු ටික එහෙම්ම ලියලා දැම්මා )


                                      ඒ මට හිතිච්ච දේ ඒක මේ ලෝකේ ඕනේ කෙනෙක්ට ප්‍රතික්ෂේප කරන්න ,විවේචනය කරන්න ,හෙලාදකින්න පුළුවන් ඔන් ඈ 



කොහොම නමුත් ආදරෙත් හරියට අර අන්ධ මිනිස්සු හත් දෙනෙක් අලියෙක්ව එයාලා අල්ලපු කොටසෙන් දැනිච්ච විදියට නිගමනය කළා වගේ තමයි  අලියාගේ බඩ අල්ලපු කෙනයි නැට්ට අල්ලපු කෙනයි අතර මැවිච්ච රූප දෙක කොච්චර වෙනස්ද,,,නේ  (අන්ධ මිනිසුන් අන්ධ වගේම ගොළු පුද්ගලයන් ලෙස සලකනවා මං නැත්නම් බඩ අල්ලපු කෙනා කියනවනේ  "අම්මෝ ලොකු " කියලා ,,එතකොට වලිගෙ අල්ලපු කෙනා කියනවනේ "මොන පිස්සුද මේ චූටි සතෙක්නෙ කියලා "ඊට පස්සේ අතපත ගාලා අලියා ගැන නිගමනයකට එයි නේ ඒකයි ගොළුයි කීවෙත්  හි හි ) 

                                                                                ඉතින් ඒ වගේ අපිත් අපේ පවුද්ගලික අත්දැකීම මත ආදරය කියන්නේ මේකයි කියලා නිගමනේකට එනවානම් වැරදී... තමන්ගේ ජීවිතේට ආදරේ කරන්න ,, එක පාරක් දෙපාරක් ආදරෙන් පැරදුනාම කඩාවැටෙන්න එපා අපිට හරියටම  සෙට් වෙන ආදරයේ මිහිරියාව දනවන කෙනා වෙනුවෙන් ඉන්න වෙහෙසිලා හරි එයාව හොයාගන්න ..බඩගිනි හැදුනම පාන් කෑල්ලක් වතුරෙන් පොගෝලා ගිල්ලත් බඩ පිරෙනවා ,,ඒත් හිත පිරෙන්නේ නැහැ සතුටක් නැහැ  
                                  ඒ නිසා ආදරේ කියන ඒ මහා තෝරාගැනීම කරද්දී හොදටම හිතන්න මොකද සල්ලි වලින් කෝටිපතියෙක් වුණත් තමන්ගේ ව්‍යාපාර යාන වාහන ඔක්කොම එළියේ දාලා ඇවිත් නිදාගන්නේ ගෙදර,,ඇද උඩ නිදාගන්න කලින් කොට්ටේ ඔළුව තියන් උඩුබැලි අතට අරමුණකින් තොරව වහලය හෝ සිවිලිම දිහා බලලා හොද දිග හුස්මක් අරගෙන සැනසිල්ලේ නිදාගත්ත හැකි සැනසිලිදායක ආදරයක් විදින කෙනෙක්ට _____________________෴  


Saturday, September 21, 2013

ඇයි කාක්කට බැරි ෆයිබර් ග්ලාස් වලින් ගෙයක් හදාගන්න 31

                                                මේකත් මගේ සමර් එකේ අඩ නිරුවත ලිපිය වගේ මනෝ විකාරයක් වෙන්න පුළුවන් ,,,ගහකොළට ,සත්තුන්ට ,තරුවලට ,ඈත විශ්වයට මන් ගොඩක් ආසයි .. ඒවගේ තියන සැගවෙච්චි දේවල් හොයන්න ලස්සන විදින්න ආසයි..පොඩි කාලේ ගෙම්බෝ ,බත් කූරෝ එක්ක සෙල්ලම් කරද්දී මන් විශ්වාස කළා උන්ටත් කතා කරන්න පුළුවන් කියලා ,, ඒ හින්දා මන් ගෙම්බොන්ට නම් පවා දැම්මා ,, "ඇලෙක්ස් ' කිවුවේ  කැතම ,නපුරුම ගෙම්බට,,, "චාර්ලි " මගේ ආරක්ෂකයා  ලොකු ගස් වල කදන් වලට කන තියලා සුරංගනාවියෝ කතා කරනවා ඇහුවා ,,හි හි හරි අද ලියන්නේ මොනාද .....
                               
   සත්තු නිර්මාණශිලිද ?? නැද්ද ??

           මේ ප්‍රශ්නේ දවසක් මන් දහය වසරේදි ගියපු ගණිත පන්තියක සර් කෙනෙක් අපෙන් ඇහුවා ,ඇහුවේ  පන්තිය ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඊලග සතියෙන් පස්සේ මට යන්න බැරිවුනා මොනාහරි හේතුවක් නිසා .. ඔය ප්‍රශ්නේ මගේ ඔලුවේ නිතරම තිබ්බා ඒත් අවුරුදු ගාණකට පස්සේ  ඊයේ දවල් මේ ප්‍රශ්නේ ආපහු මට මතක් වුණා.මන් දැක්කා පොඩි ගහක හදාපු පුංචි කුරුළු කුඩුවක්.. ඒකෙ කුරුල්ලෝ නම් හිටියේ නැහැ...අතෑරලා දාලා ගිහින් වෙන්න ඕනේ,, 
                   ඉතින් මන් මේ ගැන ලියන්න හිතුවා මගේ අදහස ,,, ඊට කලින් "වත් පොතේ" මගේ හොද යාලුවෙක්ගෙන් අදහස විමසුවා 

මේ අපේ දෙබසේ අවශ්‍ය තැන් කීපයක් 



  • 9:40am
    Apurvi Omaya
    මල්ලි සත්තු නිර්මාශිලිද ? නැද්ද ?
    9:40am
    චූටි මල්ලී
    නිර්මාණශීලි

    9:40am
    Apurvi Omaya
    උදාහරණ එක්ක පුලුවන්නම් කියන්න ,,

    9:40am
    චූටි මල්ලී
    උදාහරණ වඩු කුරුල්ලා ඒ වගේම කොඩක් කුරුල්ලෝ
    නිර්මාණශීලි


    9:40am
    Apurvi Omaya
    හ්ම්ම් තව

    9:41am
    චූටි මල්ලී
    කුබලා
    බබරා දෙබරා ,මී මැස්සා ,වේයා
    හැම සතාම නිර්මාණශීලි


    9:42am
    චූටි මල්ලී
    නැත්තම් ඔය වගේ තමන්ගේ කුඩු හදන්නේ කොහොමද
    9:42am

    Apurvi Omaya
    ok ,, නිර්මාණශීලි කම කියලා ඔයා අදහස් කලේ මොකක්ද ?

    9:42am
    චූටි මල්ලී
    "හිතලා දෙයක් කරන්න පුළුවන්කම
    හිතලා නිර්මාණයක් කරන එක"
    එලෑස්,,තෑන්ක්ස් 
    ______________________________________________

                                     
    ඉතින් ඇත්තටම සත්තු නිර්මාණශීලිද ? නිර්මාණශීලි කමට චුටි මල්ලි දුන්න උත්තරය ගැලපෙනවද? අපේ සංවාදේ ගොඩක් දුර ගියා,, දැන් මන් මගේ කතාව ලියන්න එපැයි

                            ලජ්ජාශීලි කෙනෙක් කියන්නේ ලැජ්ජාවක් තියන කෙනෙක්ට ,,ඉතින් ඒ වගේ මන් හිතනවා නිර්මාණශීලි කියන්නෙත් නිර්මාණ කරන්න පුළුවන් කියන එකට ,,
                                        ඒ වගේම නිර්මාණය කියන්නේ මොකක්ද ?? ඈ මන් දන්නේ නැහැ ,,, නිර්වස්ත්‍ර /නිර්මාංශ /නිරාහාරව/නිර්පද්‍රිතව /නිර්නාමිකව  මේ වචන ඔක්කොගේම අදහස් වෙන්නේ නැති හෝ නැහැ කියලා මේ ඔමායගේ අදහස ඈ .(සිංහල විෂයක් විදියට ඉගෙනගෙන නැහැ නිකමට හිතුවා විතරයි ඈ )
                       ඒ වගේම "නිර්මාණ "  නිර් +මාණ = නැති මාණ ,,දැනට නැති නව මාණ කියලා මන් හිතන්නේ
    හදමින් පවතින වඩුකුරුළු කූඩු
     

     හ්ම්ම් ඒක පැත්තකින් තියමුකෝ  මල්ලි කිවුවා වඩුකුරුල්ලා,වේයා ,දෙබරා වගේ සත්තු ,පොදුවේ කුරුල්ලෝ නිර්මාණශීලි කියලා,,ඔව් ඒත් මන් කල්පනාකලේ වඩුකුරුල්ලා අවුරුදු දහස් ගානක ඉදන්                                                                හදන්නේ කූඩුව එකම විදියට 

    ඇයි මෙයාට බැරි මේක මීට වඩා වෙනස්ව හදන්න ,, මේකේ මේ හැඩය වෙනස් කරන්න ,,ඔය යටින් එන්න තියන සිදුර වෙනස් කරලා වෙන විදියකට දාන්න 

            ,,,කාක්කා එදා ඉදන්ම ඇයි කෝටු කෑලි ගෙනියලා දාලා දාලා පොඩියට වහලයක් නැතුව කුඩුවක් හදන්නේ ,,,
                  ඇයි කාක්කා හිතන්නේ නැත්තේ "මෙදා පාර කූඩුව තට්ටු තුනකට විතර ගහලා ,වහලට ෆයිබර් ග්ලාස් දාලා ලස්සනට හදන්න"  පොඩි කාලේ කතාවක් අහලා තිබ්බා දවසක් කාක්කෙක් වතුර තිබහ හැදිලා වතුර හොයාගෙන යද්දී අඩියේ වතුර ටිකක් තියෙන බෝතලයක් හම්බෙලා ඊට පස්සේ ඒකට ගල් ගෙනත් දාලා වතුර ටික උඩට ගත්තයි කියලා,,එහෙම කාක්කෙක් ඉන්න ඇත්ද ඇත්තටම ???   

                     වේයා ඇයි හැමදාම මැටි හද හදා ලොකුවට තුබස්  ...බදින්නේ,, වේයාට ඇස් පේන්නෙත් නැහැ කියලා අහලා තියනවා...වේයා ඒ තුබස හදන්න මැටි හැර වෙන කිසිම දෙයක් පාවිච්චි නොකරන්නේ ඇයි,,,මේ ලෝකෙට වේයෝ බිහිවෙච්චි දා ඉදන් හැදුවේ තුබසම විතරයි වෙන මොනාහරි අළුත් දෙයක් හැදුවද ??නව නිර්මාණයක් තුබස් වේගෙන් වේලෙන්න සංයෝගයක් ,,, තුබසට නයින්ට රිංගන්න බැරිවෙන විදියේ රහස් ඛේතයක් දාපු දොරක් 
                                  
      මී මැස්සා තමන්ගේ ඝනාවාසේ හැමදාමත් මී පැණි වලින්  පුරෝනවා ,,,මිනිස්සු ඒවා කඩාගන්නවා ,,, ඇයි මී මැස්සට තමන් නිර්මාණශීලි නම් පුළුවන්නේ මිනිස්සුන්ගෙන් තමන්ගේ මී වදේ බේරගන්න...
                     බීවරයා කියන වේල්ලක් බදිනවා කියලත් අහලා තියෙනවා,, එත් එයා හැමදාමත් ඒක බදින්නේ එකම අරමුණක් වෙනුවෙන් ,, ටර්බයින කරකෝලා ලයිට් පත්තු කරගනන් නෙමේනේ   ,,,
                                     මන් නම් හිතන්නේ සත්තු නිර්මාණශීලි නැහැ නැහැමයි,,,මනිසා හැරෙන්න මේ පෘතුවියේ වෙන කිසිම ජීවියෙක් තුල නිර්මාණශීලි කමක් නැහැ ,,, මේ හැම කුරුල්ලටම ඕනේ ඉපදිච්ච නිසා ජිවත් වෙන්න ,,වර්ගයා පවත්වාගෙන යන්න ,,තමන්ගේ ආරක්ෂාවට සහ පැවැත්මට අවශ්‍ය කාරණා ටිකක්  විතරයි ඔවුන් ලග තියෙන්නේ,,හරකෙක් බලන්න ඉපදුනු දා ඉදන් කනවා නිදාගන්නවා.. 
    ------------------------------------------------------------------------
                                 
                         මේ ලෝකයේ ජිවය බිහිවීම ගැන සහ පරිණාමය ගැන අපි අහලා තියෙනවා , ජීවී නාමකරණය ,වර්ගීකරණය ගැන එපා වෙන්න අහලා තියෙනවා,,, සාගරයේ අජීවී දෙයකින් සජීවී ජීව සයිලයක් බිහිවෙලා (අකුණු ගැසීම් සහ නොයෙකුත් රසායනික ක්‍රියාවලි සමුදායකින් පස්සෙලු ) හෝ   එහෙමත් නැත්නම් විශ්වයේ කොහේ හෝ තැනකින් ආපු දෙයකින් මුල්ම ජීවී සයිලය බිහිවෙලා අවුරුදු බිලියන ගණනකට පෙර ජිවය ඇති වෙන්න ඇති කියලා හිතමුකෝ ,, ඉතින් ඔහොම හෙමින් හෙමින් සයිල බෙදෙමින් වර්දනය වෙමින් කොහොමහරි  ජිවය සාගරයෙන් ගොඩබිමට ආවා කියමුකෝ  ,,,ඊට පස්සේ අවුරුදු මිලියන ගණන් ගියාට පස්සේ විවිද ජීවින් වර්ග මිලියන ගාණක් මේ පෘතුවිය මත ඇති වුණා,, 

                                ඒ අතර දැන් ඉන්න මිනිසා දක්වා පැමිණි ජීවී විශේෂයත් හිටියා..ජීවී වර්ගීකරණයේදී මිනිසාත් අනිත් සත්තු ගස්කොලන් එක්කම තමයි වර්ග කරන්නේ...
    හෝමෝ නියන්ඩතාල් ,
    හෝමෝ ඉරෙක්ටස් ,
    හෝමෝ සේපියන් ,
    හෝමෝ සේපියන් සේපියන් ...කියා කියා  කාලයත් එක්ක මිනිසා වානරයාගෙන් පැවත ඇවිල්ලා කකුල් හතරෙන් ඇවිදින එක පැත්තක දාලා ටික ටික කකුල් වලින් විතරක් ඇවිද්දා ,,, සත්තු මරාගෙන අමුවෙන් කන එක නවත්තලා ගින්දර හොයාගෙන පුච්චගෙන කෑවා ,,,,උයාගෙන කෑවා ,,, ඒත් ඒ කාලේ අපේ පුරාතණ වානරයා එක්ක කැලේ හිටපු වදුරෝ,ගෝරිල්ලෝ,මුවෝ තාමත් ඇයි එහෙම්මම ඉන්නේ ඇයි එයාලා අපි වගේ පරිණාමය වෙනෙන් නැත්තේ ??? "හොලෝසින කියන යුගයේදී නුතන මානවයා පරිණාමය වෙද්දී ඇයි එයාලා එහෙම නොවුනේ ???අපේ තිබ්බ විශේෂත්වය මොකක්ද ??? මන් මේවට උත්තර දන්නේ නැහැ ,, ඇයි ප්‍රකෝටි ගණන් සත්තු සත්තු විතරක්ම වෙලා ඉන්නේ තාමත් ??අපි විතරක් කොහොමද 'ඇපල් අයි ෆෝන්" චන්ද්‍රිකා , මිසයිල ,න්‍යෂ්ටික අවි හදන්නේ ,, අලුතෙන් ගෙයක් හදද්දී ඒකෙ වෙන කිසි කෙනෙක්ගේ ගෙදරක නැති අළුත් දේවල් කරන්න හදන්නේ,,, ඒත් ඇයි මිනිස්සුන්වත් ක්‍රෝඩේටා වංශයටම දාලා ,,, බල්ලා ,පුසා ,කුකුලා එක්කම ,,, ඇයි මමේලියා ගෝත්‍රයට  දාලා කකුල් වලින් එල්ලිලා නිදාගන්න වවුලා එක්ක දෙන්නම කිරිබොන හින්දලු ,, 
                                  මට නම් මේ මුළු ලෝකෙම රහස් වලින් පිරිච්ච ගුහාවක් මන් දන්නේ හරිම ටිකයි ,, මේ මගේ ප්‍රශ්න වලින් කීපයක් ඔයාලා උත්තර දනනවා නම් මට කියාදෙන්න ,, 


           සමර් එකේ අඩ නිරුවත සබැදි ලිපියක් 

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...