Thursday, October 31, 2013

ලෝකෙම ඔබ වෙච්ච නිසා මගේ තාත්තේ

තුරුළුකරන් හිනහුනාට
නුබ හොරාට ඇඩුවා නේද ...

කිරිනොවුනට ඔය රුධිරය 
මා වෙනුවෙන් අහස තරම් ...
දාඩිය බිදු හැලුවා නේද ...
පොඩි මුව නොරිදා හෙමිහිට.. 
විහිළුකතා ගොතා කියා 
මුතුකැට වගේ සුදු දත්ටික 
උදේහවා මදී හොඳට.. 
පොල්කටු ඉස්ත්‍රීක්කයෙන් 
සුදුරැළි එක පෙළට තබා 
මැද ඇන්ඳු පුංචි ගවුම 
ටයිපටියෙන් සරසාලා ...
පොල්තෙල් ගා හිස පිරිමැද 
ඉර හිටින්න දෙකට බෙදා 
කොන්ඩ කරල් දෙක ගොතන්න
තාත්තේ ඔබ සැරකල හැටි තාමත් මතකයි....
සුදු පාටින් මේස් දෙකට 
හැඩ සපත්තු දෙකක් දමා 
පාන්දරම පාසල ලග පුංචි මාව දමා ගියත් 
අඩන් නැතුව හිටියේ ඔබට ආදරේ හින්දයි ....
ඉර හැරෙන්න පටන්ගත්ත වෙලේ ඉදන් කඩුල්ල ලඟ 
දෑස රිදෙනකල් බලාන.....මදුරුවෝ තල තල උන්නේ 
යෝගට් එක කන්න නෙමේ..... ඔබේ මුහුණ දකින්නටයි 
ලෝකෙම ඔබ වෙච්ච නිසා මගේ තාත්තේ ....


(මේ ලියවුනේ මගේ පුංචි කාලේ මතකයක් අද මං තාත්තට කෝල්  කළා ,, එයා ඇඩුවා ගොඩක්...මට පිස්සු හැදුනා මගේ බෙල්ල මිරිකගන්න හිතෙන තරමට උගුර හිර වුණා.)

1.මේ මගේ තාත්තගෙයි මගෙයි පළවෙනි කතාව කැමතිනම් කියවන්න ඔයත්

2.අළුත් තාත්තලාට සහ තාත්තා කෙනෙක් වෙන්න ඉන්න කොල්ලන්ට


Tuesday, October 29, 2013

36.මිරිසට උයපු තලගොයි මස් (අමිහිරි ළමාවියේ මතකයන් part 2)

මේ ළිපිය කියවීමෙන් පසු ඔබ මා ගැන සහ මගේ පියා ගැන මොන ආකාරයෙන් සිතාවිද දන්නේ නැහැ..නමුත් මෙහි අකුරක් නෑර ලියවෙන්නේ වයස අවුරුදු හතත් අටත් අතරදී මා ලබපු සත්‍ය අත්දැකීමක්

                           ඉස්සර තාත්තා එක්ක මට දවසෙම ඉන්න ලැබෙන්නේ ඉරිදට; එදාට අපි දෙන්නා දවල් වෙනකල් නිදාගන්නවා ඊට පස්සේ නැගිට්ටම මට ලොකු කිරි වීදුරුවක් හදාදෙනවා බොන්න ඒක බොන්න අමාරුයි ගොඩක් ලොකුයි ඒත් මං තාත්තට  බයට බොනවා.. ඊට පස්සේ එයා උයන්න පටන්ගන්නවා ,, 
                                           ඉරිදට කුකුල්මස් උයලා කිරට පතෝල හරි වැටකොළු හරි හදන එක තමයි කරන්නේ ඒ මං  ආස නිසා ,, තාත්තා රසට මස් උයනවා මං  හරි ආසයි ,, ඒ රස දැනුත් මතක් කරද්දී දිවට දැනෙනවා,, දවසක් මන් උදේ කළින් නැගිට්ටා තාත්තා මං  ලග හිටියේ නැහැ ඊට පස්සේ මං ගේ පිටිපස්ස පැත්තට ගියා එයාව බලන්න ..එතකොට මං  දැක්කා යුරියා කවරයක් ඇතුලේ සතෙක් දගලනවා කවරේ කට ගැටගහලා තිබ්බේ..පස්සේ මං  දැක්කා තාත්තා එකෙන් තලගොයෙක් අරන් බෙල්ල කපනවා.. මට තේරුණා එයා මට හොරෙන් කරන වැඩක් නිසා යන්න හොද නැහැ කියලා , ඊට පස්සේ මං ආපහු වෙනදා වෙලාවට නැගිටලා යද්දී එයා ඔක්කොම වැඩ ඉවරකරලා ,, ඊට පස්සේ මං ඇහුවා ඇයි අර තලගොයා  මැරුවේ කියලා ... පස්සේ කීවා උදේ මං නිදාගෙන ඉද්දි තලගොයා ගෙට ආවා ඒකයි මැරුවේ කියලා ...ඊට පස්සේ වෙනද වගේ කිරි එක බිබී ඔහේ හිටියා ඒ ගැන ආයෙමත් අහන්න තරම් උවමනාවක් තිබ්බේ නැහැ ඒ කාලේ ..
.......................................................................................................

Friday, October 25, 2013

ගොඩක් දුර ගිය පොඩි කතාවක් 35

            බිත්තර තම්බන්න ගිහින් වුණා වගේ ඊයේ හවස මට තව වැඩක් වුණා.  ඔබට මෙයින් පුංචි හෝ දෙයක් ලැබේවී කියලා හිතුණ නිසා ලියන්න පටන්ගත්තේ.
                                                      ටික දවසක  ඉදන් කිචන් සින්ක් එකේ වතුර බහින්නේ හිමින් හිමින්  සීයට කියන්නත් බැහැ ,,එතකොට අහනවා සින්ක් එකට ඔයා කෑම දැම්මද කියලා (ඒ මොකද කලින් වතාවකදී බාත්රූම් එකේ නාන වතුර යන්නේ නැතුව ඔහොම වෙලත් බැරිම තැන සීයට කීවම එයා ඒක සුද්ද කළා ,, සුද්ද කරන්න අත දාද්දි එයාගේ අතට ආවේ මගේ කොණ්ඩ ගස් කිලෝ එකක් විතර ගුලියක් බැන්නේ නැහැ ඒත් ඒ මතකය නිසා මේක නොකියා හිටියේ ) ඉතින් මං ගේ පුරාම හොය හොයා තියෙන අතට අහුවෙන කම්බි වලින් කූරු ගගා හිටියා උණුවතුර වැක්කෙරුවා,,වේගෙන් වතුර ගැහුවා ,,ගෙයි තියෙන කෙමිකල් බෝතල් වලින් හල හල කම්බි වලින් කූරු ගෑවා ,, ඒත් හරිගියේ නැහැ ,, සීයට තේරුමක් නැහැ එයා කිචන් එකට එන්නෙම නැහැ... ඊයේ පෙරේදා වතුර බ්ලොක් එක හොදටම වැඩි මට රෑ නින්ද යද්දිත් ඒක මතක් වෙනවා ,, අන්තිමට මන් සීයට හොරෙන් පොඩි මිකැනික් පාරක් දාන්න ගියේ 
U හැඩේට තියෙන පැත්තේ සින්ක් එක
   
                               පස්සේ රෑ හොරෙන් ගලවන්න යද්දී ටිකක් බුරුල් කලාවිතරයි උඩින් වතුර හැමතැනම ඊට පස්සේ ආපහු තද කරලා තියලා මන් හිතාගත්තා "හෙට උදේම සීයට කියනවා ,,කියලා මන් හදනවා කියලා " ටිකක් සීනි  වැඩියෙන් දාලා රසට කිරි එක හදලා දීලා ටිකක් ලොකු චීස් කේක් කෑල්ලක් දීලා මුඩ් එක හොදට තියෙද්දී මං කීවා විස්තරේ,,,,ඊට පස්සේ  මං ආයේ  කීවා මට ඒක හදන්න පුළුවන් කියලා.. එයා ඒක ගණන් ගත්තෙවත් නැහැ ,, "හරි යමු බලන්න " කියලා නැගිට්ටා .. මට මොකුත් කීවේ නැහැ "කාලෙකින් පම්ප් කරලා නැතුව ඇති පම්ප් එක ගන්න" කීවා ,,මං එහෙම එකක් දැනන් හිටියේ නැහැ ඒත් එතන තිබ්බ බඩු දිහා බලලා නිකමට මං   නොදන්න දේකට තිබ්බ එක අරන් දුන්නා,, හොඳ වෙලාවට හරිගියා  රූපයේ විදියේ සරළ උපකරණයක් ඔයාලා දන්නවා ඇති මේක ,, මම දැකලා තිබ්බට කරන වැඩේ දැක්කේ එදා .ලී හෝ ප්ලාස්ටික් මිටක් තියෙන්නේ

Saturday, October 19, 2013

අමිහිරි ළමාවියේ මිහිරි මතකයක් 34



  නොයෙක් හැලහැප්පීම් එක්ක දවසේ වැඩිහරියක් හුදෙකලාවේගෙවපු මගේ කුඩා කාළයේ මතකයන් විටින් විට මාව අතීතයට ගෙනියනවා ,,, අමිහිරි සිදුවීම් වැඩිපුර තිබ්බත් පුංචි කාලේ තාත්තා වැඩට ගියාම එයාට හොරෙන් කරපු දේවල් ටිකක් තිබ්බා ,,,ඒ අතර මාළු බෑම තමයි ඉහළින්ම තිබ්බේ. හි හි ඔයාලා කියෙවුවට පස්සේ හිනාවෙයි.
                            අපේ අම්මගේ ලොකු අයියගේ නම ගාමිණී එයාට මගේ වයස පුතෙකුයි තව මට බාල පුතෙකුයි ඉන්නවා එයා රැකියාව විදියට කලේ පොල් පරාල බිස්නස් එක ගස් අරන් මිනිස්සු දම්මලා පලලා පරාල කරලා විකුණපු එක ,ඉතින් දවසෙන් වැඩි හරියක් ගෙදර...එයා වෙල් මාළු අල්ලන්න හරි ආසයි.. ලොකු විසි දැලකුයි,අතංගු ,තව මා දැල්  වගේ ඒවා ගෙදර තිබ්බා ,, හවසට මමයි එයාගේ පුතාලා දෙන්නයි යනවා එයත් එක්ක මාළු අල්ලන්න එයා අපේ තාත්තා එක්ක එච්චර හිත හොද නැති නිසා මාව ගෙනියන්න අකමැතියි ,, අපේ තාත්තා වෙල්මාළු ගදට ආස නැති නිසා මට දැලක් වත් අල්ලන්න එපා කියලා තිබ්බේ ,, ඒත් මන් අඩලා අඩලා පස්සෙන් යනවා,, 
                                         අපේ වත්ත පහල ලොකු වෙල් යාය ඊට එහා ලොකු ගඟකුයි ..  කිලෝමීටර් දෙකකට විතර එහා බන්ට් එක කියලා අපි පොඩිකාලේ හදුන්වපු අමුණකුයි තියෙනවා , ඉතින් ගගේ වතුර අඩු කාලෙට ගාමිණී මාමා එක්ක අපි තුන් දෙනා ගගේ බැහැලා ගඟ දිගේ අමුණ ගාවට යනකල් යනවා ,,ගගේ වතුර තිබ්බේ ඉන ගාවට විතර මගේ .

.මාමා දැල දානවා ඊට පස්සේ අපි අහුවෙන මාළු කූඩේට එකතු කරනවා ,, සමහර තැන් වල ගගේ  අයිනට වෙන්න ගුල් ඇතුලේ "කාවයියෝ" කියන මාළු ඉන්නවා ,, ගුල් අස්සට එහෙම අත දාපුවම මාලුවෙක් අහුවුනාම ඉතින් හරි ලොකු දෙයක් කළා වගේ ,,,අපි තුන් දෙනා නිතරම මාළුන්ට රණ්ඩු කළා,, එහෙම ගුල්වලට අත දාපුවාම ලොකු කළුපාට කකුළුවෝ ආපු වෙලාවලුත් තිබ්බා ,,ඒ වෙලාවට කෑගහලා ගොඩට දුවනවා ඊට පස්සේ ටිකක් ගොඩ ඉදලා ආයෙම ගඟට බහිනවා ,,, 

ගාමිණී මාමා එයාගේ ළමයි දෙන්නට වඩා මාව පරිස්සම් කළා.  අර මඩ ගොහොරුවේ බැහැගෙන ගිය හැටි,දැන් මතක් වෙද්දීත් අප්පිරියයි ,,, ගුල්වලට අත දැම්මේ කොහොමද කියල හිතාගන්නත් බැහැ..,, ගගේ වතුර වැඩි කාලෙට බහින්නේ නැහැ ,,,බිලීබාන එක තමයි කරන්නේ ,, 
                          ඉස්කෝලේ ඇරිලා ඇවිත් කාලා අපි තුන් දෙනා යනවා කිතුල් ගස් තියෙන තැන් හොයාගෙන ,, ඉස්සර අපේ පැත්තේ පාළු ඉඩම් ඕනේ තරම් ,,ඉතින් ලොකු කිතුල් ගස් යට පොඩි කිතුල් පැලගස් තියෙනවා ,,, අපි කරන්නේ මුලින්ම හොද කිතුල් අතු ටිකක් කපන් ඇවිත් මැද නාරටිය ඉතුරුවෙන්න කොළ ටික විසිකරලා වහලේ උඩ දාන එක ,, 
                                      ඉර අවුවට පිච්චුනාම හොදට පදම් වෙලා එනවා බිලීපිත්ත,, ඊට පස්සේ තංගුස් නූල් ,,බිලිකටු ගෙනත් බිලිපිති හදාගන්නවා ,, ,,තව බිලිපිති එක්කම කළෙන් වැල් ජාති ඇදගෙන එනවා ,,, ඒවා ගේන්නේ ඉලගොටු හදන්න ,,, ඉරටුයි වැලුයි පාවිච්චි කරලා අපි ඉලගොටු හදනවා ඊට පස්සේ,, 
                           
                                       
               වැස්සට වෙල් යාය පිරිලා වැව වගේ වෙනවා ,, ඒ වෙද්දී අපි බඩු ටික රෙඩි කරන්ඉන්නේ වතුර අඩුවෙලා යන්තම් නියර පේන ගානට එද්දී අපි අර හදපු ඉලගොටු ගෙනියලා වෙලේ වක්කඩ වල තියනවා ,, ඊට පස්සේ ඉතින් පැයෙන් පැයට ගිහින් බලනවා මාළු අහුවෙලාද කියලා ,,,ඉතින් අපි විතරක් නෙමේ අහල පහල අනිත් ළමයිනුත් දානවනේ ,, ඉස්කෝලේ ගිහින් ආවම කන්න කලින් ගිහින් බලන්නේ මාළු ඉන්නවද කියලා ,, සමහරු අපේ ඒවල මාළු හොරෙන් ගන්නවා අපිත් ඒ වගේ හොරෙන් එයාලගේ ඒවා බලනවා ,, 

පුදුම පිස්සුවක් තිබ්බේ ඒ කාලේ ,,, අලුතෙන් වැහැලා දවස් 3ක් ගිය හැටිය ඉලගොටු වලට අහුවෙන ලොකු මාළු දැක්කම එච්චර ලොකු මාළු කොහේ හිටියද කියලා හිතෙනවා ,, "බට්ටෝ ,ලුලෝ ,කාවයියෝ ,පෙතියෝ,හුන්ගෝ ,වැලිගොවුවෝ ,ආදෝ "වගේ මාළු අහුවෙනවා ඉලගොටු වලට ,, ඉලගොටුව බලන්න වෙලට යන්නේ දිග ඉරටුවක් අරන් ,,මාළුවෙක් අහුවෙලා හිටියොත් මාළුවාගේ කරමල අස්සෙන් රින්ගෝලා කටින් එන්න ඉරට්ට ගහලා ගෙදර ගේන්න නිසා, මල් අමුණනවා වගේ තමයි ,, ඒත් ටිකක් ලොකු මාලුවෙක් අහුවෙලා හිටියොත් අහළපහල ගෙවල් වලටත් පෙන්නගෙන ඉලගොට්ට පිටින්ම තමයි ගෙදර ගේන්නේ ,,
                                                 
    වෙලේ වතුර තව ටිකක් අඩුවේගෙන එද්දී පටන් ගන්නේ බිළිබාන්න,, වැස්සට පස බුරුල්වෙලා තියෙන නිසා බිලිබාද්දී ඇමට ගන්න පනුවෝ හොයාගන්නත් ලේසි ,, වත්ත පහළ කොටලා පොල්කට්ටක් පිරෙන්න හොද ලොකු සයිස් පනුවෝ හොයාගන්නවා ,, 

ඊට පස්සේ පොල්කට්ට පණුවන්ගෙන් පිරුණට පස්සේ උඩින් පස් ටිකක් දාලා වහගෙන වෙලට ගෙනියනවා ,, ඊට පස්සේ පනුවාගේ කටින් හෝ පස්ස පැත්තෙන් පණුවව බිලිකොක්කට අමුණගන්නේ පනපිටින්මයි ,, වැඩිපුර කෑල්ල කඩලා පොල්කට්ටෙන් තියනවා ,, ඊට පස්සේ ,, පණුවට කෙළපාරකුත් ගහලා ඇලට දානවා ,, අපි තුන් දෙනා පැය ගණන් මාළු අල්ලනවා එක්කෙනෙකුට එක්කෙනෙක් ඉරිසියයි ලොකු එකෙක් අහුවෙනවට ,, 

මාළු අල්ලන්න  හැමෝටම බැහැ ඒකත් ක්‍රමයක් තියෙනවා ,, ඉපියාව දිහා බලාගෙන තමයි වතුර යට වෙන දේ තේරුම් ගන්නේ ,, ගැස්සී ගැස්සී තිබිලා මාළුවා ගිල්ලා කියලා දැනගන්නකල් අදින්නේ නැතුව ඉන්න ඕනේ ,, මාළු අල්ලලා තියෙන අය දන්නවා ඇතිනේ ,, නිකන් හරි මාලුවෙක් අහුවෙන්නේ නැතුව නිකන් පිත්ත උඩට ගත්තොත් හරි මාළුවා ඇම කාලා ගිහින් තිබ්බොත් හරි ඉතින් එහෙම වෙච්ච කෙනා අනිත් අයගෙන් බැනුම් අහනවා ,, 

"හ්ම්ම් ඔන්න කළා වැඩක් දැන් ඉතින් අපිත් අල්ලලා ඉවරයි " "දැන් මාළු දන්නවා අපි ඉන්නවා කියලා "ශික් අපරාදේ මගේ එකටත් එකෙක් කොට කොට හිටියේ ඔයා වැඩේ කෑවනේ ",,ඔහොම කියනව 
                                            
 වැස්ස නැවතිලා ඇලේ, වෙලේ වතුර හිදීගෙන යන කාලේ එද්දී අපි තුන් දෙනා තව අපූරු වැඩක් කරනවා ,, අපි විතරක් නෙමේ වෙන අයත් කරනවා එහෙම ,, ඇලේ කොහේ හරි තැනක් බලලා වතුර හිදිළා වලක් වගේ වතුර එකතුවෙච්ච තැනක් හොයාගෙන  ඒකේ එක පැත්තකින් වැටියක් බදිනවා මඩ වලින් බැදලා ඉවරවෙලා බාස්කට් ,පනිට්ටු ගෙනත් වතුර ඉහින්න පටන් ගන්නවා ,,, 

වතුර ටික ටික අඩුවේගෙන එද්දී මාළු දගලනවා පේනවා ,, නියමයි ,, මඩ ගදේ ඉන්න බැහැ ,, ඒත් අපි තුන් දෙනා වතුර ඉහල වල හිදීගෙන එද්දී මාළු අත්වලින් අල්ලනවා ,, අර ගගේදී වගේ ගුල් අස්සට අත දාලා තමයි "මගුරෝ" වගේ මාළු අලන්නේ ආදෝ , කාවයියෝ ,ලුලෝ තමයි ගොඩක් ඉන්නේ ,,අපේ මුණවල් ගන්න දෙයක් නැහැ මඩ,,හි හි මතක් වෙද්දී දැන් අප්පිරියයි  

                                              ඔහොම එක එක විදි වලට මාළු අල්ලන් ආවට අපි තුන් දෙනාම කන්නේ නැහැ ඒත් ආසයි අල්ලන්න ,, ඊට පස්සේ මන්  තාත්තා එන්න කලින් ගෙදරට ඇවිත් නාලා ඉන්නවා සද්ද නැතුව .. තාත්තා කවුරුත් එක්කවත් ආශ්‍රයක් නැති නිසා මාළු අල්ලන,, වෙලේ දඟලන සෙල්ලම එයාට ආරංචි වෙන්නේ නැහැ ලොකුවට ,, 

තව එකක් අමතක වුණා.. "කූනී ගානවා " කියලා එකක් තියනවා ,, හොදට වැහැලා දවසින් දෙකෙන් වෙල්යාය පිරුණම පහුවදා උදේට තමයි මේක කරන්නේ ,, වෙලේ ලියදි වල හතර කොනේ ඉන්න කූනිස්සෝ අල්ලන්න පුළුවන් මෙහෙම,,අර පස් පුරෝන කුඩ තියෙන්නේ අන්න ඒවගේ කූඩයක් විතරයි ඕනේ..

 ලියද්දේ කෝන් වලට ගිහින් එතන මඩ වෙනකල් උඩපැනල පැනලා මඩ කරනවා ඊට පස්සේ  අර කූඩේ අරන් වතුර යටට දාල ගන්න තියෙන්නේ ,, කොහෙන් ආපු කුනිස්සොද දන්නේ නැහැ ඒත් හැමදාමත් එහෙම හිටියා කූනිස්සෝ ,,
                                                      ඔහොම  දවසක් වෙලේ වලක් ඉහලා මාළු අල්ලන්න ගුලකට මම අත දානකොට ලේ හුන්ගෙක් අතට විද්දා එකපාරටම ආපු වේදනාවට මට හොදටම ඇඩුනා ,,, කෑ ගහගෙන ගොඩට දුවනකොට මාමත් බයවෙලා මගේ පස්සෙන් දුවන් ආවා මම අඬාගෙන ගෙදර දුවන්න හදනකොට මාම මගේ අතින් අල්ලං බේතක් කරල වේදනාව අඩුවෙනකල්ම ඉඳලයි ගෙදර යන්න දුන්නෙ...ඒත් මම ගෙදර ගිහිං වෙච්චි දේ කිව්වෙ නෑ.

එහෙම වුනත් මාළු අල්ලන්න තියෙන ආසාව පොඩ්ඩකින්වත් අඩුවුණේ නෑ.....

.
        ඔය විදියට අවුරුදු දාහතරක් පහළවක් වෙනකල්ම අපි මාළු අල්ලන වැඩේ කළා ,,පායන කාලෙට සරුංගල් පිස්සුව ඒත් වෙලේමයි ..පස්සේ පස්සේ මන් දැක්කා ගමේ ලොකු  ගෑණු ළමයි ස්ටයිල්  එකට ඇදගෙන පාරේ යනවා මන් මාළු අල්ලනවා පිලීගඳ මඩ ගාගෙන වෙළවල් වල, ලැජ්ජාවක් එක්ක මේදේවල් ඇති කියන අදහස මටම දැනෙන්න ගත්තා  .. සාමාන්‍ය පෙලට පංති යන්න පටන් ගද්දි ඉබේම ඒ දේවල් නතරවුණා,, මෙදා ලංකාවට ගිය වෙලාවේ දැක්කා අපි මාළු අල්ලපු ඇළ වටේටම ලොකු පදුරු ,කටුගස් වැවිලා,, සන්නිවේදනයේ  දියුණුවේ බලමහිමය ,,මහා විපර්යාසයක් ඒ මුළු පරිසරයේම ,,,,,

ලිපිය ලියලා පබ්ලිෂ් කළාටත් පස්සේ ලැප් එක ෂට්ඩවුන් කරන්න හදද්දී දැක්කේ මාස ගාණක් තිස්සේ මගේ ඩෙක්ස්ටොප් එකේ වෝල් පේපර් එක මේ ෆොටෝ එක ,,,හරි පුදුමයි මන් තාමත් ඒ අතීතේ විදිනවා

Friday, October 11, 2013

තාත්තෙක් වෙන්න ආසද 33


                                           ලියන්න ඕනේ යටිපෙළ අදහස මට ආරම්භයක් දෙන්නේ නැහැනේ ,,,මෙහෙ  සුදු ඇන්ටිලා සමර් එකේ උනාදාපු ඇදුම් ආයෙම අදින්න පටන් අරන් ,,, ලොකු අවුකන්නාඩි නොදා පාර්ක් එකේ යන්න පුළුවන් ,,, සීතල හුළං රැළි ඇගේ වැදෙද්දී ආ,,,සයි,,,
                     ඒ බලු පැටියගෙයි එයා අයිති රයිනෝ වගේ ලොකු ගෑණු කෙනාගෙයි මුණු දෙකම එක වගේ වුණේ කොහොමද ,,, ඕක වෙච්ච පළවෙනි වතාව නෙමේ මේ ,, ඒකට උත්තරයක් හොයන් මට වැඩක් නැහැ ,, දහස්  ගණන් දීලා  සැන් පවුඩර් ගාලා ,කොණ්ඩා පීරලා හැදුවට බිත්තරයක් වත් දානවයැ,,බල්ලෝ 
                                   තාත්තාට මන් කෝල් කලා ,,අවුරුදු තුනකින් ඒ කටහඩ ඇහුවේ ...පුංචි කාලේ මතකයන් ගොඩක් අළුත් වුණා.. මගේ තාත්තා කොච්චර වයසට ගියත් මට අදටත් මැවෙන්නේ එයාගේ තරුණ කාලේ කඩවසම් රූපේ ,කටහඩ ,,එදා තාත්තා කතා කරපු දා රෑ අහපු සිංදුවක් මගේ හිතට වද දෙනවා මන් ඔයාට කියන්නම් සේරම අහගෙන ඉන්න 

            සද හාමිනේ මගේ ....දරුවන් උකුළේ තියා 
            නිදිකිරනවා ඇතී......රෑ මැද නෙත නොපියා 
            දිපන්කරේ ආවේ.. ..මගේ දරු පැටව් නිසා 
            මට බය උන්ට මා ...අමතක වේද කියා 


                                ඉස්සර තාත්තා මට කැට පෝලයක් හදලා දීලා තිබ්බා අපි දෙන්නට දෙකක් තිබ්බා ,, හවසට වෙලේ ඉන්න කොක්කුන්ට අපි විදිනවා ගල් වලින් ,,,මං කල්පනාකලේ මගේ තාත්තට මාව හුරතල් කරලා ලොකු සතුටක් හම්බෙන්න ඇති ,,අම්මා ලග නැති පාළුවත් ටිකක් හරි තුනී වෙන්න ඇති ,, ඒත් අවුරුද්දේ දෙකේ පුංචි දරුවෝ බිරිඳ එක්ක තියලා පිට රටවල රස්සාවල් කරන තාත්තලා ,,ඒ වගේම ඒ තාත්තලගේ පුංචි දරුවෝ ,,සමහරවිට බිරිදට බබා හම්බවෙන්න ඉද්දි සැමියට රට යන්න වෙනවා ...
                               රෝගියෙක් විදියට ප්‍රතිකාරෙකට ,එහෙම නැත්නම් ස්ථිර පදිංචිය පිණිස පවුල් පිටින්ම පිට රට යෑම හැර වෙන මොන කාරණාවක් වෙනුවෙන් හරි අපි පිට රටක රැකියාවක් කරන්නේ සල්ලි ඕනේ නිසා ,,, මේ ඉන්නවට වඩා ඉහලට යන්න ඕනේ නිසා ,, පවුලේ අනාගතය ,,ගේ හදාගන්න ,,ළමයින්ට උගන්නන්න මේ වගේ මුලික හේතු එකක් හෝ කීපයක් නිසා ,,,මන් ආස නැහැ ඔබට වාර්තාමය ලිපියක් ලියන්න රාජකාරි විදියට බස හසුරවමින් ,,කරුණු පෙළගස්වමින් ,,,ඒ මොකද මන් ආස නැහැ එවැනි ලිපි කියවන්න ,,උඩයි යටයි විතරයි මන් කියවන්නේ ඒ වගේ ලිපිවල ,, "අපේ ශ්‍රී ලංකාව ඇතුළු තුන් වන ලෝකයේ කියන රටවල් වල විදේශ ගත වි රැකියා කරන එක සහ එහි ආදීනව එදිනෙදා ඕනේ තරම් අහන්න ලැබෙනවා" අපි හැමෝම දන්නවා ඉතින් ඒ ගොඩට මට මොකුත් එකතු කරන්න ඕනේ නැහැ ,,ඔබේ හදවතට පුංචි කතාවක් කියන්නම් රට ගිය පියෙක් හා එවැනි පියෙක්ගේ දරුවෙක්  ගැන  එච්චරයි ,, හ්ම්ම් 
                                   
                                       

         දරුවට මාස කීපයක් වෙද්දී තාත්තා පිට රටකට රැකියාවට යනවා ,,,, ඔයා හිතන්න ඒ දරුවට මේ විදියට තාත්තගේ කරේ ඉන්න පුළුවන් වෙනවද ,,, අතේ තියාගෙන ඉන්නවට වඩා මෙහෙම ගොඩක් උස තැනක ඉදලා අවට බලන්න එයා ආසයි ,,, හරි දරුවට මාමලා ,,සීයලා ඉන්නවා එයාලා මෙහෙම කරලා ඒ කරේ යන අත්දැකීම දුන්නා කියමුකෝ .... ඒත් ඒ තාත්තට කෝ ඒ අත්දැකීම ,, එයා රැකියාව කරනවා නවාතැනට එනවා (පිට රට ඉන්න තරුණ තාත්තලාගේ අතුරු කතානම් බොහොමයි ...ස්කයිප් ,ෆේස්බුක් හරහා ඔවුන් බොහොම සතුටින් ඉන්නවා කියලා ඔයා දැන් හිතයි ඒත් ඒ සියල්ල පසෙක තියලා ගැඹුරින් බැදීම් ගැන විතරක් හිතලා ලියන්නේ )අවුරුදු දෙකක් රැකියාව කරලා ගෙදර යද්දී ළමයා ලොකුයි.. 


මේ විදියට වැඩට ගිහින් ඇවිත් ෂර්ට් එක විතරක් ගලෝලා දාඩිය පිටින් පොඩි එකාව අතට අරන් බලන් ඉන්න එයාට හම්බවෙනවද ,,,(දැන් නම් එහෙම අල්ලන්නවත් දෙන්නේ නැහැ විෂබිජ නිසාලූ) "මගේ මුණමයි ,,,දෙයියනේ මේ මගෙම දරුවා නේද" ,, කිරිපොවලා ,, ඔඩිකොලෝන් ගාලා පව්ඩර් ගාලා ඉන්න තමන්ගේ දරුවව ලගට අරන් ඉබිද්දී එන ඒ සුවද රට ඉදලා ස්කයිප් එකෙන් හුරතල් කලාට තාත්තට විදින්න පුලුවන්ද ,,,මාස හය හත ඉදලා අවුරුදු දෙක තුන කියන බහතෝරන කාලේ කියන හුරතල් කතා ඒ තාත්තට රිසිසේ අහන්න හම්බවෙයිද ,,,අපි පොඩිකාලේ කථාකරන්න අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ඉගෙනගත්තා ඒත් තාත්තා රට ඉන්න පුංච් දරුවට තාත්තාගෙන් ඉගෙනගන්න ලැබෙන්නේ නැහැ ,, තාත්තා අනාගතේ ඉටුකරන්න තියෙන යුතුකම් වෙනුවෙන් වර්තමානේ කැප කරලා ,,,
                                දරුවට අවුරුදු දෙකක් තුනක් වෙද්දී තාත්තා කෙනෙක් රට යනවා ,, ඔහු යන්නේ දරුවා වෙනුවෙන්මයි පවුලේ අනාගතය වෙනුවෙන් ,,, බොහෝ විට එක වරකට සීමාවෙන්නෙ නැහැ ඒ ගමන,, වසරින් වසර අළුත් උවමනාවල් හේතු එකතු වෙනවා දිගටම රට රැකියාව කරන්න ,, "උන්ගේ තාත්තා ඉතාලි බන් " "යනවා එනවා " "දැක්කද අළුත් බයික් එක උන්ගේ තාත්තා සල්ලි එවනවනේ බන් "  යාළුවො කියයි ,,,
මොනදේ ලැබුණත් ....ඒ වගේ තාත්තා කෙනෙක් පොඩිකාලේ ඉදන්ම පිටරට ඉන්න දරුවෙක්ට කොච්චර අත්දැකීම් ගොන්නක් අහිමි වෙනවද ...
                                        වැරදි කරලා අම්මා කෑගහද්දී ඉස්සර මට හිටපු ගැලවුම්කාරයා තාත්තා ,,ඒත් අම්මා කෙනෙක් එක්ක විතරක් හැදෙන දරුවෙක්ට අත්තම්මා ,සීයත් නැත්තම් ඉතින් අම්මා ඉස්සරහා නැගිසිටින්න කිසිම හයියක් නැහැ ,,,තාත්තා අවුරුද්දට සැරයක් දෙකකට සැරයක් නිමාඩුවට ඇවිත් ගියාට සමීප බවක් දැනේවිද ,, ඒ තාත්තා ආගන්තුකයෙක් වගේ ඇවිත් ටිකක් දරුවා සමීප වේගෙන ඉද්දි ආපහු යනවා ,,, 

                    "තාත්තේ ටිකක් වඩාගන්නකෝ " කියන්න පුලුවන්ද ළමයෙක්ට අවුරුදු අටක් දහයක් ගියාම ,,, තාත්තට පුලුවන්ද ඒ වයසේ ළමයෙක් ඉස්සරහ වීරයෙක් වෙන්න,, ඒ වයස වෙද්දී ...මෝටර් බයික් එකේ ඉස්සරහා ටැංකිය උඩ ඉදගෙන තාත්තා එක්ක ඉස්කෝලේ යන ළමයෙක්ගේ මුණේ තියෙන ආඩම්බර උද්දාමය මන් දැකලා තියෙනවා ,,, තාත්තා රට ඉන්න දරුවෙක්ට එහෙම යන්න පුළුවන් වයස පහුවෙලා තාත්තා එක්ක යන්න වෙන්නේ බයික් එකේ පිටිපස්සේ තමයි 

                                     ..ආර්ථිකය ඉහල ගියාට සල්ලි හම්බවෙලා ගේ හැදුවට අග හිඟකම් දුරු උණාට පුතෙකුටයි තාත්තා කෙනෙක්ටයි ලබන්න තිබ්බ අත්දැකීම් ,,,වින්දනයන් මහාගොඩක් අහිමි වෙලා ඒවා ආයේ කවදාවත් ගන්න බැහැ ...දරුවන්ට ආදරේ නිසාමයි රට රකියාවකට යන්නේ ,,,පවුල ගොඩගන්න ඕනේ නිසා,, ඒවා එහෙම වෙනවා ,,, ඒත් අර කරේ ගිහින් ,, ලුණු ගිහින් ,,,වඩාගෙන ,,බයිසිකල් පද්දගෙන දරුවාගේ  ඇගේ ගෑවී ගෑවී කාලේ ගත වෙද්දී දැනෙන පිරිච්ච අමුතු බැදීම හිත් වලට කොහෙන්ද ගේන්නේ ,,,, ඒවා කොහෙහරි රටකට ගිහින් ගේන්නද ,,, සල්ලි වලට මොනතරම් දේ කරන්න පුලුවන්ද මනුස්ස ජිවිතේක ,,,
                     අගක් මුලක් හොයාගෙන ලිහන්න බැරි තරම් පැටලිච්ච නූල් බෝලයක්  ලිහන්න උත්සහ නොකර ඇස් වලින් ලිහන්න පාරවල් හොයා හොයා නූල් බොලේ දිහා බලන් ඉන්න විතරයි මට පුළුවන් හොදටම පැටළුම වැඩිනම් ඒක විසිකරලා අළුත් නූල් පන්දුවක් අරන් පටලගන්නේ නැතුව තියාගන්න එක තමයි කරන්න වෙන්නේ ,,,
                                 මන් පටන් ගන්නවා ,,දැනටමත් පටන් අරන් තියෙන්නේ ,,, ඔයත් පටන් ගන්න ,, කසාද බදින්න කලින් පුළුවන් තරමින් ජිවිතේ ගොඩ දාගන්න ,,, ඔයා අම්මෙක් තාත්තෙක් වුණාට පස්සේ දරුවන්ගෙන් ඈත් වෙන්න එපා ,,,ජිවිතේ ලැබෙන ගවුරව ,,නම්බුනාම ,,ඉඩකඩම් දේපළ මේ හැම දේටම වඩා දරුවෝ බිරිද ,සැමියා ආදරෙන් හිනාවෙලා සතුටින් ඉන්න එක කොච්චර වටිනවද ,,,කියන්න ලේසී කරන්න නේ අමාරු දැන් තියන ආර්ථිකෙත් එක්ක ,, එහෙම කියලා හේතු හදන් හර්දසාක්ෂිය වහලා හිස් ටින් බෙලෙක්ක වගේ හිනාවෙන්න එපා ,,, දරුවෝ කුඩුකාරයෝ ,,ස්ත්‍රීදුෂකයෝ වෙච්ච කෝටිපතියෝ ඕනේ තරම් ඇති අඩා වැටෙන ඉතින් ඒ සල්ලි වලට පුලුවන්ද එයාගේ හිත හදලා එයාව හිනස්සවන්න ,, ඒ නිසා නතරවෙලා ජිවිතේ ගැන හිතන්න ,, ඔයාගේ ජිවිතේ ඔයාගේ ,,   මන් ලියලා ඉවරයි  ස්තුතී------------------෴




,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...