Thursday, November 20, 2014

The Earth is Art, The Photographer is only a Witness


හි හි ලස්සනට දැක්ක හින්දා ගත්තේ


මේ  ඉර පායන්න කලින් ඔයාට පේනවා කුරුල්ලෝ රංචුවයි ගෑස් බැලුන් එකයි 

ඔලිව් හොදටම මෝරලා තියෙද්දී ගත්තේ 

Saturday, October 11, 2014

නිරුවතේ මාරුව



වින්ටර් වර්ශන් 

ගැහැණුන් උනා දාපු ඇඳුම් 
ආයෙම ඇඟ ලා ගනිද්දී   
ගහකොළ නිරුවත් වෙන අපූරුව
දුටිමි ශිශිරයේ හිම පියළි අස්සෙන්


මේ කවිය ලියලා දැන් අවුරුද්දක් වෙනවා... ගිය අවුරුද්දේ ශිත කාලේ පටන් ගද්දි මගේ ඇස් වලින් ජනේලෙන් එහා පාරේ යන මිනිස්සු දිහා බලන් ඕක ලිවුවේ....ඊට පස්සේ ආපු ගිම්හානේ පටන් ගද්දීත් මේ වගේ එකක් ලිවුවා. දාන්න අමතක වෙලා හිටියේ,,, මේ තියෙන්නේ ඒක.


ඒකෙම සමර් වර්ශන් එක 

ශිශිරයේ නග්නවුණු ගස්කොළන්  
මලෙන් කොළෙන් විලිවසා ගනිද්දී 
ගැහැණුන් රෙදි උනන අපූරුව දිටිමි
වසන්තයේ කෙඳිරිලි සුළඟ අතරින්...


දැන් මං මේ පෝස්ට් එකක් ලියන ගමන් ඉන්නේ,,  එතකල් මේ පුංචි කවි දෙක නිකන් පබ්ලිෂ් කරන්න හිතුණා,, බයින්න එහෙම එපා ඈ මං ආයෙම ලියන්න පටන් ගන්න ගමන් මේ ඉන්නේ ඉදගෙන  :D



වැඩිම දෙනෙක් කියෝපු මගේ සමර් එකේ අඩ නිරුවත පෝස්ට් එකේ ලින්ක් එක මේ...ඔයත් ක්ලික් කරලා ගිහින් කියෝලා,, ඔලුව විකාර කරන් එන්න   


Sunday, August 24, 2014

මිනිස්සු


ඇස් ඇරපුවාම එක එක ඒවා පේනකොට
මිනිස්සු කියනවා එළිය කියලා
ඇස් ඇරපුවම මොකුත් පේන්නේ නැතුව ගියාම 
මිනිස්සු කියනවා අන්ධකාරයි කියලා,,,
හෝ ගාලා වැහැලා වැහැලා ගගවල්, වැව් පිරිලා 
පිටාරා ගලද්දී මිනිස්සු කියනවා ගංවතුර කියලා...
වැහිපොදක් වත් නැතුව ගංගා වැව් අමුණු හිදිලා ගියාම 
මිනිස්සු කියනවා ඉඩොරේ කියලා....
චොක්ලට් කෑල්ලක් තල්ලේ අලෝගෙන 
තලු මර මර මිනිස්සු කියනවා පැණි රසයි කියලා....
බෙහෙත් පෙත්තක් දිවේ ඇළුනොත් 
මිනිස්සු කියනවා තිත්තයි කියලා,,,,
අමු අඹ ගෙඩියක් කාලා
මිනිස්සු කියනවා අම්මෝ ඇඹුල් කියලා
ඉදිච්ච අඹ ගෙඩියක් කාලා 
මිනිස්සු කියනවා හරිම රසයි කියලා
හොරෙන් රූම් එකකට ගියාම 
මිනිස්සු කියනවා කොටු පයිනවා කියනවා
කසාද බැදලා රූම් එකට ගියාම 
මිනිස්සු කියනවා හනිමුන් යනවා කියලා
තමන්ගේ කෙනෙක්ට ඇක්සිඩන්ට් එකක් වුණාම 
මිනිස්සු කියනවා එයාව හප්පලා කියලා..
තමන්ගේ කෙනෙක්ගෙන් ඇක්සිඩන්ට් එකක් වුණාම 
මිනිස්සු කියනවා කාවද හැප්පිලා කියලා....
මිනිස්සු හැමදේටම එක එක ඒවා කියනවා....
එකම දේට වෙන වෙන දේවල් කියනවා....
වෙන වෙන දේවල් වලටත් එකමදේ කියනවා....
මිනිස්සු නිතර කියනවා... මොනවම හරි කියනවා....


Monday, August 18, 2014

I want to be a strong mast| තාත්තා එක්ක හැන්දෑවක්


දෙවියන්ට මාව කුඹගහක් කරන්න ඕනේ වෙලාද කියලත් හිතෙනවා...සෙල්ලං නැහැ පස්න හෙනටම.... ඉතින් ඔන්න පැත්තක තියලා ලියන්න හිතුවා බඩ්ඩක්,,,තාත්තා ගැන ලීවම ඔක්කොම ප්‍රශ්න මෙවුවා වෙලා යනවා :D

ඉස්සර පොඩි කාලේ තාත්තා කියපු කතාවක් මතක් වුණා එක පාරට . අම්මා රට ඉද්දි තාත්තා මාව නිතරම බීච් එකට එයාපෝර්ට් එකට එක්කන් ගියා.,මේ කියන්න යන්නේ දවසක් ගාල්ලේ ගිය වෙලාවක මුහුද අයියේ ඉද්දි අපි දෙන්නා කතාකරපු දෙයක්.

මං ඇහුවා

" රුවල් නැව් වල කුඹ ගහ හදලා තියෙන්නේ මොනවා වලින්ද" කියලා


එතකොට තාත්තා මට කිවුවා ඒක ගැන ලස්සන කථාවක්,... ඇත්තද බොරුද දන්නේ නැහැ නමුත් ඒ කථාව අද මගේ හිතට ලොකු ශක්තියක් වුණා.

තාත්තා කීවේ මෙන්න මෙහෙම

"පුතා ඔය කුඹගස් හදන්නේ ගොඩක් හයිය ගහකින්"


මම ," මොන ගහකින්ද තාත්තේ?"

ගස් වර්ගය ගැන මං දන්නේ නැහැ.....ඒත් ඔය කුඹගහ හදන්න කලින් ඒවා හදන මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ ගහක් සූදානම් කරනවා ඒ වැඩේට....

හම්මේ ඉතින් මං තාත්තා දිහා බලාගෙන කට ඇරගෙන ඒ කතාව අහන්න ලෑස්ති වුණා... අපේ තාත්තා කතාවක් කියද්දී කතාව කියන ගමන් මගේ ඇස් දිහා බලනවා ආයේ අහස දිහා බලනවා...


තින් ඉතින් ,,,,, කොහොමද කරන්නේ කියන්නකෝ,,,

හ්ම්ම්... ඉස්සර ඔය රුවල් නැව් හදපු මිනිස්සු කැලෑවට ගිහින් ගස් තෝරනවලු කුඹගහට ගන්න ගැලපෙන ගහක් හම්බුණාම ඒ ගහ වටේට තියෙන අනිත් උස ගස් ඔක්කොම එයාලා කපලා දානවලු....මීටර් ගාණක් වටේට (මට මතක 50ක් වගේ ) තියෙන ගස් කපලා දාලා මේ ගහ තනිකරලා තියනවලු කාලයක්....(අවුරුදු 3-5 ක් වගේ කාලයක් කියලා තාත්තා කිවුවේ ) ඉතින් මේ කාළය තුළ ඇතිවෙන සුළිසුලං වලට ,අකුණු සැර වලට ,නියඟ වලට මේ ගහට තනියම මුණ දෙන්න වෙනවා..... එයා වටේට සුළං සැර අඩුකරන්න කිසිම ගහක් කොලක් නැති නිසා හැමදේටම මුණ දීලා ,,,හුළඟට ඇඹරිලා ,නැමිලා ආයෙම කෙලින් ඉන්න වෙනවා තනියම..... මෙහෙම කාලයක් මේ වගේ පරිසර තත්ත්ව වලට මුණ දුන්නට පස්සේ මේ ගහේ කඳ හොදට ශක්තිමත් වෙනවාලු....

ඉතින් අර මිනිස්සු ඇවිත් ගහ පරික්ෂා කරලා බලලා නියමිත කාලය එද්දී ගහ උසට හැදිලා ශක්තිමත් නම් කපාගෙන ගිහින් කුඹ ගහක් කරලා නැවේ මැද්දේ සවිකරගන්නවලු" කුණාටු වලදී ඇඹරිලා  කරටි කඩා වැටිලනම් ඒ ගහ අතෑරලා වෙන ගහක් තෝරගන්නවලු......

අපි දන්නවනේ නැවක් මුහුදේ යනකොට කොච්චර නම් කුණාටු වලට ,ලොකු රැළිවලට මුණ දෙනවද කියලා..... ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ඒවාට ශක්තිමත්ව මුණ දෙන්න නිසාලු කුඹගහ හදන්න කලින් ඒ ගහට ට්‍රේනින් එකක් දෙන්නේ... 

ඔය තාත්තා කියපු විස්තර ටික... එදා ඔය කථාව එයා කියාදුන්නට පස්සේ මට අමතක වෙලා යන්න ඇති එතකොට වයස අවුරුදු 6-8 අතර වගේ වෙන්න ඕනේ... ඒත් දැන් අවුරුදු 20 කට වගේ පස්සේ මට ඒක ආයෙම මතක් වුණාම එදා රුවල් නැව් ගැන භෞතිකව දැනගන සතුටු වුණාට වඩා ජීවිතේට වැදගත් යමක් එකතුවුණ එකට සතුටක් දැනුණා....

මට දැනෙන විදියට අපේ ජීවිතෙත් ඒ වගෙයි.... අමාරු කාල ,ප්‍රශ්න කරදර මැද්දෙන් යද්දී අපිව පුදුම විදියට ශක්තිමත් වෙනවා..ආයෙම ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට මුණ දෙන්න අපේ කලින් අත්දැකීම අපිට උදව් වෙනවා...ඒත් අමාරු කාලවලදී අපි දුර්වල වෙලා ජිවිතේ මෙතනින් ඉවරයි කියලා අතෑරලා දැම්මොත් අපි අනාගත ජීවිතේට මුණ දෙන්න නුසුදුසු මිනිස්සු වෙනවා.....ඉතින් අපි අමාරු කාලවලදී කොහොම හරි මුණ දුන්නොත් නැවේ මැද්දාවේ ඔක්කොටම උඩින් ඝාම්භිරව නැගීසිටින කුඹගහක් වෙන්න පුළුවන්,,,,,,
තෝරගත්ත එක ගහක් නැතිවුණා කියලා මිනිස්සු කුඹගස් හදන එක නවත්තන්නේ නැහැනේ ,,එයාලා වෙන ගහක් තෝරාගන්නවා .....ඒ නිසා අද ජීවිතේට ලැබෙන හැම අභියෝගයකටම මුණ දෙන්න කෝම හරි....


------------------------------------------------------------------
ප/ලි

අහස කට්ට කළුවර වෙනකල් ෂෝයි එකට දිළිසෙන තරුකැට පේන්නේ නැහැමයි.....ඉතින් ඔයාටත් දිලිසෙන්න ඕනේ නම් කරුවලේ යන්නම වෙනෝ.....


Wednesday, August 6, 2014

අවසරයි නික්ම යන්නට | I just want to leave

හිරු ඇවිත් 
මුළු හාත්පස් කලඑළි කරන්...
සද සෙමින් නුඹ බැස යමන්....
නුඹේ පණ අදින එළියත් අරන්.... 
මුදු සුළග මල් කෙමි සෙලවුවත් 
අතු ඉති කඩා බිම දමනු බැහැ..... 
සැඩ සුළගේ දැවටෙන්නට රිසී මං
කොළ ගෙඩි ඉරා මා හැඩි කළත්.....
අනෝරා වැහි වහිනදා....
හිරි ගඩු පිපුණු ගත කකියවා
තෙමෙන්නට මං 
සත්තමයි ආසයි..........
නිරතුරුව බිද බිද වැටෙන ...පණ සිඳුණු 
මෝසම් බීරමේ 
පඬු ස්වරය කටුකයි මට එපා......  :( 




-----------------------------------------------------------------------------------


Saturday, June 7, 2014

ඔමාගේ සස සහස් | with British black model

කාළෙකින් සස සහසක් කියන්න බැරි වුණානේ.මං නිතර හදන සරළ රසවත් කෑමක් ගැන ඔයාලට කියන්න හිතුවා. ලංකාවෙදි මං දැනගෙන හිටියේ අම්මා උයල දෙන එක කාලා ඉන්න.උයන්න අවස්තාවක් ලැබුණේ නැහැ ඒත් ලංකාවෙන් ආවට පස්සේ තනියම උයන්න පුරුදු වුණා ඉබේම, ඒ වගේම අම්මා උයනව වගේ නෙමේ මට ඕනේ විදියට. හරි අද ලියන්න යන්නේ අර්ථාපල් වලින් හදන්න පුළුවන් කෑමක් ගැන. සීයා කීවේ මේක එයාලා හදන "පේරී" කියන කෑම වර්ගය කියලා, ඒත් මං නමක් දන්නේ නැහැ ඔහේ හැදුවා.

මං දැනගෙන හිටියේ අර්ථාපල් වලින් හදන කෑම වලට මෙච්චරයි ...අල තෙල් දාලා,කිරට උයලා එහෙමත් නැත්තං එක එක එළවලු වර්ග එක්ක තනියට ,මදි පාඩුවට දාලා (බෝංචි,කැරට්)  සයිවර් කඩවල අලබෝල, එළවලු රොටි මැද්දට දාලා ඔය වගේ දේවල්.ඒත් අර්ථාපල් කියන්නේ සිය ගාණක්  එක එක වර්ගවල කෑම හදන්න පුළුවන්  එළවළුවක් කියලා දැනගත්තේ අන්තර්ජාලය හරහා හොයද්දි... අම්මේ ආසයි දැක්කම සලාදේ ඉදලා ,කේක් ඉදලා හැමදේම හදන්න පුළුවන්,,,, රස....කෑම ජාති ගොඩක්...

සස සහස් එක්ක බ්ලැක් මොඩ්ල් කෙනෙක්ගේ සම්බන්ධය මොකක්ද කියලා ඔයාලා  හිතනවා ඇති.කුතුහලය මෙවුවා නොකර මං ඒක කියලා ඉන්නම්.
මෙයාගේ නම  Lorrain pascale  බ්‍රිතාන්‍යයේ පළවෙනි කළු ජාතික මෝස්තර නිරුපිකාව වුණේ ලොරේන්..ලොරේන් ඉපදුණේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් ආදිවාසී පවුලක. ඊට පස්සේ එයාව බ්‍රිතාන්‍ය ජාතික පවුලක් දරුකමට හදාගන්නවා...එයින් පස්සේ ඒ පවුල තුලත් නොයෙක් ප්‍රශ්න වලට මුණ දෙන්න ලොරේන්ට සිද්ද වෙනවා. එයාව හදාගන්න ගත්ත දෙමවුපියෝ දෙන්නා දික්කසාද වෙච්ච නිසා...එතනින් පස්සේ ලොරේන් බොහෝ පීඩා මැද්දේ තමයි ජීවිතේට මුණ දෙන්නේ... ඒ කෙටියෙන් කථාව එයා ගැන ඕනේ තරම් අන්තර්ජාලය හරහා කියවන්න දේවල් තියෙනවා....

මං ලොරේන්ට ගොඩක් කැමති එයා නිරූපණ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ඉවුම් පිහුම් වලට වැඩි තැනක් දීලා තියෙන නිසා.දැන් ලොරේන් ලෝකය පුරා රුපවාහිනී ඉවුම් පිහුම් වැඩසටහන් කරන ප්‍රසිද්ද කෙනෙක්,, ඒ වගේම ලොරෙන්ගේම රෙසිපි ඇතුලත් පොත් කීපයක්ම ලියලා තියෙනවා..ලොරෙන්ගේ රෙසිපි වල තියෙන විශේෂත්වය හරිම ඉක්මනින් පහසුවෙන් හදන්න කියාදෙන එක,ඒ වගේම පුදුම ආකර්ෂණීයයි එයා කරන විදිය පවා.. "බේකින් කවීන්"  කියන නම එයාට පටබැඳිලා අත්තේ කේක් ජාති හදන්න තියෙන දක්ෂකම නිසාම වෙන්න ඇති.මාත් කාලයක් තිස්සේ ලොරේන්ගේ රසිකාවියක්.


--------------------------------------------------------------
කෑම ජාතිය ගැන ලියන්නද නොලියා ඉන්නද කියලා හිතෙනවා 1.10 යි වෙලාව  :D 

පේරී( දරුවන් සඳහා වට්ටෝරුව )

මුලින්ම අවශ්‍ය දේවල් 

  • අර්ථාපල් 
  • සුප් කූඩු හෝ කැට
  • ඔලිව් තෙල් හෝ එළවළු තෙල්
  • මාගරින් 
  • ලුණු
පිළියෙළ කරගන්නා ආකාරය 

මේවගේ සුද්ද කර ගන්න 

ඊට පස්සේ මේ වගේ පොඩි පොඩි කොටු වලට කපන්න 


ඊට පස්සේ මේ වගේ බඳුනකට දාලා වතුර දාලා සුප් කූඩු දාන්න (අවශ්‍ය නම් කහත් දාන්න ) සුදු ගම්මිරිස් ටිකකුත් දානවා මං නම් 

තෙල් මේස හැඳි 2 කුත් දාලා ලුණු නොදා ලිපේ තියලා හොඳට තම්බ ගන්න.

හැන්දෙන් ටිකක් තද කලාම  පොඩි වෙන ගාණට  තැම්බුනාට පස්සේ වතුර පෙරලා අයින් කරන්න අල 500 g වලට මාගරින් 60 g වගේ තමයි මං දාන්නේ බටර් දාන්න එපා.මාගරින් දාන්න.    

ඊට පස්සේ උණුවෙන්ම මාගරින් එක්ක අල පොඩි කරගන්න.මේ වෙලාවේ ලුණු රස බල්ලා ඕනේ නම් එකතු කරන්න.සුප් කුඩුවල ලුණු රස තියෙන නිසා රස බලලම එකතු කරගන්න. ඒ වගේම පොඩි කරන අතරත් ඔලිව් තෙල් තියෙන අය ඔලිව් තෙල් ටිකක් එකතුකරන්න ගුණයි.

මේ අල පිටි වෙන්නම පොඩි කරන්න එපා කෑලි ටිකක් ඉතුරුවෙන්න පොඩි කරන්න හොදේ.ඊට පස්සේ කැමති භාජනයක කිරිබත් කෑලි කපන්න වගේ අතුරන්න ෂෝයි එකට 

මෙන්න හැදුවට පස්සේ  ඊට පස්සේ නිමෙන්න ඇරලා ෆ්‍රිජ් එකේ දාන්න. පැය 2,3 ක් ෆ්‍රිජ් එකේ තිබුණට පස්සේ අරන් ,,,,,

මේ වගේ කෑලි කපන්න.... 

මේ වගේ ලස්සනට කෑලි වෙන් වෙනවා ෆ්‍රිජ් එකේ දාලා ගත්තම...


නිකන් අල පොඩිකරලා දරුවන්ට කවනවට වඩා මෙහෙම හදලා කැවුවොත් එයාලා කයි. මාගරින් දාන නිසා අමුතුම රසක් එනවා...පොඩි අයට නිසා මේ විදියට රෙසිපි එක ලීවේ. ලබන සතියේ ලියන්නම් අපිට සැරට හදන පේරී සහ "පැස්ටිඩා" ගැන...ඔයාලා පැස්ටිඩා එක නම් එක පාරක් කෑවොත් ආයේ ආයේ හදනවා..ඒක හරිම රසයි පහසුම පහසුයි... පැස්ටා පැස්ටිඩා කරලා කද්දී අම්මේ සස......  
--------------------------------------------------
ප/ලි 
මේ වගේ කෑම ගැන ඔයාලත් දන්නවා නම් මටත් කියන්න හොදේ. වෙද පප්පා වගේ මාත් ආසයි එස්පරිමන්ට්ස් මෙවුවා කරන්න නිතර :D

Wednesday, June 4, 2014

Matan Torah (Shavuot/שבועות)


යුදෙවුව්වන් ඊයේ දවසේ එයාලගේ තවත් සුවිශේෂී දිනයක් සැමරුවා. ජුනි 3 වෙනිදා ඉර බැසයාමෙන් පටන් ගන්න මේ උත්සවය අවසන් වෙන්නේ ජුනි 4 වෙනිදා ඉර බැස යාමත් එක්ක. යුදෙව් ඇදහිල්ලට අනුව මෝසෙස් දෙවියන්වහන්සේගෙන් ටෝරා එක ලබාගෙන තියෙන්නේ  අද වගේ දවසක. ඒ සීනයි කඳු මුදුනේ දෙවියන් සමග දහවල් හතළිහක් සහ රැයවල් හතළිහක් ගතකිරීමෙන් පස්සේ.

 යාකොබ්ගේ බාලපුතා යෝසෙප්ගේ කාලේ ඊජිප්තුවට ගිය යුදෙවුවෝ පාරාවෝ රජුගේ මරණයෙන් පස්සේ ඉබේම ඊජිප්තුවේ වහළුන් බවට පත් වුණා...මට මේක ලියද්දි හිතුණ දෙයක් තමයි ඒ අවුරුදු දහස් ගාණකට  කලින් ඊජිප්තු ජාතිකයන් යුදෙවුවන් වහළුන් කරගත්ත හේතුව සහ දෙවනි ලෝක යුද්ධ සමයේදී ජර්මනිය ඇතුළු යුරෝපා රටවලදී යුදෙවුවන් වධකාගාර වල ගාල් කර කෘර ලෙස සමුහ ඝාතනය කරන්න මුල් වෙච්ච හේතුවත් දෙකම එකයි කියන එක.. හරි ඒක නෙමේ ලියන්න ගියේ මතන් ටෝරා ගැන.

"මතනා කියන්නේ හිබ්රු වලින් තෑග්ගට" මතන් ටෝරා කියන්නේ දෙවියන්ගෙන් ලැබුණු උතුම්ම තෑග්ග වෙච්ච ටෝරා එක ලැබිච්ච මංගල්‍ය දවසට. පාස්කුවෙන් හරියටම සති හතක් ගෙවුණු දවස තමයි මේ වෙනුවෙන් යොදාගන්නේ.. ශුද්ධ බයිබලය තුලත් නික්මයාම පොතේ මේ දේවල් සදහන් වෙනවා. 
ජුනි 3 වෙනිදා හවස 7.13 ඉදලා ජුනි 4 හවස 8.22 වෙනකල් ඒ මංගල්‍ය දිනය පැය 25 ක් පුරා සමරනවා ,මේ කාළය තුල ප්‍රවාහන සේවා විදියට තියෙන්නේ අරාබි ජාතිකයන් පවත්වගෙන යන  ටැක්සි විතරයි බස් නැහැ. ඒ වගේම ගෙදර tv දාන්නේ නැහැ . කිසිම කරන්ට් එකෙන් වැඩකරන දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. හරියටම "ශබත් දවස වගේ" ( ශබත් ගැන මං හෙට ලියන්නම් ඔයාට වඩා පහසුවෙයි තේරුම් ගන්න)  මේ මතන් ටෝරා කියන මංගල්‍යට සමගාමීව තව උප මංගල්‍ය 3ක් පවත්වනවා.... ඒවට කියන හිබ්රු නම් ටිකක් පැටලෙනවා , ඊට වඩා ලේසි දන්න සිංහලෙන් ලියන එක.

නැවුම් පලතුරු මංගල්‍ය
නැවුම් වතුර මංගල්‍ය
අස්වනු නෙලීමේ මංගල්‍ය ( හිත්ථාහ් කියන ධාන්‍ය මුලිකයි තිරිඟු වලට තමයි ඒ නම පාවිච්චි කරන්නේ...



දැන් මෙහෙට ගොඩක් රස්නෙයි මේ කාලේ තමයි ඊශ්‍රායලයේ පලතුරු වැඩිම කාලේ..එළවලු වැඩිම කාලේ... ඒ වගේම තිරිඟු අස්වනු නෙලන කාලේ. ඉතින් ඒ දේවල් ඔවුන්ට ලබාදෙන දෙවියන්ට ස්තුතී කරන්න අද දවස එයාලා පාවිච්චි කරනවා..



ඒ වගේම පොඩි ළමයි පාරවල් දිගේ දුව දුවා වතුර ගහගන්නවා ලොකු සෙල්ලම් තුවක්කු වලින් වතුර විද ගන්නවා.සෑහෙන්න විනෝද වෙනවා. ඒ වගේම අද උෂ්ණත්වය 42 c. සමහර පැති වල 48 ඉක්මවා තිබුණා.ජනේලෙන් එළියට අතදාපුවම අවන් එකට දැම්මා වගේ. (ඔයාලා දන්නවද ඊශ්‍රායල් රජය මේ රටේ රශ්නේ වැඩි පැති වල කරන්ට් බිල සමර් එකේදී අඩු කරනවා ඒ මිනිස්සුන්ට වැඩිපුර A/C දාන්න වෙන නිසා අපේ රටේ වගේමයි )




අද දවසේ තවත් විශේෂම දෙයක් තමයි මුළු දවසෙම එයාලා කන්නේ කිරි වලින් හදපු කෑම වර්ග. කෑම මෙසේ තිබ්බ කෑම වර්ග හැම එකම චීස් වලින් හදපුවා.. චීස් කේක් වර්ග, පැස්ටා චීස් එකතුකරලා හදපු පැස්ටිඩා වර්ග ,සලාද වර්ග, පිට්සා..තව මං නම් නොදන්නා ගොඩක් කෑම වර්ග.. "යුදෙව් ඉතිහාසය තුළ දෙවියන්වහන්සේ අබ්‍රහම්ට පොරොන්දු වුණා කිරි සහ මීපැණි ගලායන දේශයක් මම නුඹට ලබාදෙනවා කියලා" ඒ පොරොන්දුව සිහි කිරීමක් විදියට යුදෙවුවෝ අද දවස ඒ විදියට කිරි ආහාර වලින් ගෙවල් වල කෑම මේස පුරෝනවා.බඩවල් තද වෙනකල් කනවා....

මේවා විකාර කියලා සමහරුන්ට හිතෙනවා ඇති මටත් වෙලාවකට හිතෙනවා. ඒත් අනිත් පැත්තට මගේ හිතම කියනවා ආගම බදාගෙන හිටියට ජාතියක් විදියට ඔවුන් අපිට වඩා කොච්චර ඉදිරියෙන්ද ? ඔවුන්ගේ ඇදහිලි ක්‍රම  වලට හිනාවෙන්න අපි කවුද කියලා.. ඊශ්‍රායලයේ වරකට කිරි ගවයෙක්ගෙන් දොවාගන්න කිරි ප්‍රමාණය දළ වශයෙන් ලීටර් 9ක් ,අපේ රටේ සාමාන්‍ය අගය ලීටර් 2 ට අඩුයි... ඒ වගේම වරකට දොවාගන්න කිරි ප්‍රමාණය  අනුව ලෝකේ අංක එකේ ඉන්නේ වැස්සක සලකුණක් වත් නැති මේ කාන්තර රට. 
චීස්  කියන්නේ මේ රටේ ඕනෙම ගෙදරක වැඩියෙන්ම ගේන කෑම වර්ගය..චීස් වර්ග සිය ගාණක් තියෙනවා යුදෙවුවන්ටම ආවේණික වෙච්ච.. 

ඔය විදියට රැකියාවලින් ප්‍රශ්න වලින් ඈත්වෙලා යුදෙවුවෝ හරිම සතුටින් ඒ වගේම සියල්ල ඔවුන්ට දීපු දෙවියන්ට ස්තුතී කරමින් අද දවස ගතකළා..

 ඇත්තටම මේ රටේ කිරි මීපැණි ගලනවා...

----------------------------------------------------------------------
යුදෙවු උත්සව ගැන සහ යුදෙවුන් ගැන මීට පෙර ලියු ලිපි පහතින් එකතු කරන්නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියවන්න.







7.former-israeli-prime-minister-ehud. 
______________________________________

Wednesday, May 28, 2014

කැදැල්ල


"අද බැංකුවේ හරියට සෙනග" 
"හප්පා ඊට හපන් අවුරශ්නේ'  
"හෙට පුතාලා එනවා කිවුව හින්දා ඔන්න මස් කිලෝ එකකුත් අරන් ආවා" 
මහන්සියෙන් ගෙට ගොඩ වෙච්ච ගුණතිලක බඩු මල්ල උදුලා අතට දීලා ඉස්තොප්පුවෙන්ම වාඩි වුණා.

"ඈ උදුලා පුතාලා හෙට එනවම කිවුවද හැබෑට ?" 
"එනවනම් කිවුවා ඉතින්  පුතා ඒවි". 
"කී සැරයක්නම් එනවැයි එනවැයි කීවද කෝ ආවද ? 
"ඒ දරුවන්ටත් හරියට වැඩ රාජකාරි පොඩි එකී සිස්සත්තෙ ලියන්න ඉන්නේ මයේ හිතේ. පුතා ඉරිදා සෙනසුරාදත් වැඩ කරනවා කියන්නේ .ඒ දරුවෝ එයි හෙමීට" 
'මේ දෙහි වීදුරුව බීලා හිටින්න මහත්තයා' 
ගුණතිලක අතට දෙහි වීදුරුව පෑ උදුලා සුපුරුදු පරිදි ගුණතිලක ලගම තිබුණු කුඩා පුටුවේ වාඩි වුණේ මද සිනහවකුත් සමගයි. 
'ලිඳ ගාව බේසමේ වතුර පුරෝලා තියෙනවා ඕක බීලා ගිහින් මුණ කට ටිකක් හෝදගෙන හාන්සි වෙන්න ගුණේ."
'හ්ම්ම් මුළු ඇගම තලදාලා වගේ ,බොහොම පිං'  සීතල වතුර ගුණතිලකගේ ගත මෙන්ම සිතද පුබුදු කලසෙයක් පෙනුණි. 
'මං නංගිලගේ දිහා ගිහින් එන්නම් ඔයා ටිකක් හාන්සිවෙලා ඉන්නකෝ' 

අලිගැටපේර ගෙඩි කීපයක් කවරෙක්ට දාගත්ත උදුලා පිටිපස්ස ගේට්ටුවෙන් පිටත් වුණේ නන්දාවතී ලගේ වෙරළු ගහෙන් වෙරළු අහුලගෙන ගිහින් නංගිගේ පුංචි මිණිබිරියන් දෙදෙනාට දීම පුරුද්දක් කරගෙන සිටි නිසාය. 
උදුලා දුරදීම දකින දැරියන්ගේ ඇස් සතුටින් පිනායන්නේ උදුලා ඔවුන්ට දක්වන අප්‍රමාණ සෙනෙහස නිසාමයි.
..............................................................................................

විවාහයෙන් වසර තුන හතරක් ඉක්ම ගියත් උදුලා දරුවන් නොලැබුවාය. දවසින් දවස ගුණතිලකගේ පවුල තුල උදුලා කොන් වුවාය. ගුණතිලකගේ නංගිගේ දරුවාගේ කිරිබාරේ දවස ඇගේ ජීවිතයේ අතෘප්තකරම දිනය වුවාට සැක නැත.

"බැඳලා අවුරුදු කීයක්ද ..තාම කෝ ඉතින්"
"ඔය ඉන්නේ ලොකු ලේලී ...වඳයි"
"රන්දුණුපිටිය මුදලාලිගේ පරම්පරාවටම පිරිමියෙක්ට ඔච්චරයි අපරාදේ "
"අපි මුලින් කීවා කොහෙද ඇහුවේ නැහනේ...විස්ස්විජ්ජාල වල ගිහින් කරගත්ත මගුල්නේ ඕවා"

කිරිඅම්මාවරුන්ගේ කතාබහ අතර ඇගේ හදවත කෑලි කෑලි වී ඇත්තාසේය.

"අපි දරුවෙක් අරන් හදාගමු ගුණේ.ඒ ඔයාගේ උපන් හැටිනේ ..මොනවා කරන්නද අපි "
දොස්තර මහත්තයා කීවනේ තවත් සල්ලි වියදම් කරලා වැඩක් නැහැ කියලා. 
"ඔයාලගේ අම්මල නංගිලා කියන කතා තවත් මට අහන් ඉන්න බැහැ ගුණේ;අපි යමු අපේ මහගෙදර අම්මයි අප්පච්චියි ඉන්නෙත් තනියම....හ්ම්ම්
...............................................................................

අපි පොඩි දරුවෙක් අරන් හදාගමු ගුණේ..
නොනවත්වා කරන මේ ඇවටිල්ල කෙලවර වුයේ පුංචි පිරිමිදරුවෙක් ගෙදරට ගෙන ඒමෙන්ය.
"දැන් ඇගේ මුහුණ පිරිපුන්ය,ඇයට කල්පනා කරන්න ,හඬන්න තබා ගුණපාල සමග නෝක්කාඩු කීමටවත් කාලයක් නොමැත...දරුවා සමග කෙලිදොලෙන් දවස ගෙවන උදුලා දකින ගුණපාලගේ සිත සතුටින් පිනා යයි. තමුන් වෙනුවෙන් වඳ ගැහැණියක ලෙස සමාජයෙන් ,පවුලෙන් කොන් වුණත් කිසිම දවසක ඒ වරද තමා පිට පටවන්නේ නැතුව සියල්ල දරාගත් උදුලා ගුණපාලගේ ජීවිතය තුල දේවතාවියක් ලෙස වැඩ හිඳී.

"ගුණේ හෙට පුතා උපාධිය ගන්නවා " 

"ගුණේ පුතාලා කියන්නේ කසාදෙන් පස්සේ කොළඹ පදිංචියට යනවා කියලා"

කාළය මැනවින් තම කාර්‍ය ඉටුකරමින් ඔවුන් වියපත් කර හමාරය...
........................................................................................
.
වෙරළු කඳ මැද්දෑවේ  හැමදාමත් දකින ගිරා කූඩුව හොඳටෝම නිශ්ශබ්දය .. දින කීපයකට උඩදී බෙනය ඇතුලේ ඉඳ මුව අයා කෑමට කටහැරි පුංචි ගිරා පැටවුන්ගේ  ගෝරනාඩුව අද නැත... නියඟට කොළ හැළුණු ලුණුමිදෙල්ලා ගස් අග්ගිස්සේ අකීකරු හුළගට අනුව පැද්දෙමින් සිටි  ගිරා ජෝඩුව දෙස මොහොතක් බලාසිටි ඇය වෙරළු ගෙඩි කීපයක් අහුලා අලිගැට පේර මල්ලටම දමාගත්තාය.
____________________________________________________
ප /ලි
පහුගිය සතියේ මගේ යාළුවන්ගේ බ්ලොග් කියවන්න,කොමෙන්ට් කරන්න  බැරි වුණා ඒ ගැන සමාවෙන්න..

Tuesday, May 13, 2014

දාවිත් දඟ ගෙට | Former Israeli Prime Minister Ehud Olmert sentenced to 6 years in prison

ඊශ්‍රායලයේ හිටපු අගමැති වන එහුද් ඕලමර්ට්  Ehud Olmert  මහතා හට වසර 6ක සිරදඩුවමක් සහ ඩොලර් 290,000 ක දඩ මුදලක් tel-awiv දිස්ත්‍රික් අධිකරණය මගින් අද උදෑසන නියමකරනු ලැබුවා. ඊට හේතුව මුදල් වංචා ,අල්ලස් ගැනීම් වලට( Holyland corruption case සිද්ධිය )වැරදිකරු ලෙස ඔප්පු වීම. ඒ වගේම නඩුවේ විනිසුරුවරයා (ඩේවිඩ් රොෂේන් )මේ විනිශ්චය නියම කිරීමෙන් පසු ප්‍රකාශ කර තිබුණා. "රටේ කොතරම් ඉහළ නිලයක හිටියත් වංචාවට,අල්ලසට නීතිය අනිවාර්යෙන් දඩුවම් දෙන බව ඒ වගේම මේ නඩු තීන්දුව අල්ලස ,දුෂණය මුලිනුපුටා දැමීමට ගත්ත යෝධ පියවරක් බවත් සදහන් කළා".


Judge David Rozen


තමන්ගේ නඩු තීන්දුව සැහැල්ලුවෙන් අහගෙන ඉන්නවා 

Wednesday, April 30, 2014

යොම් හෂිකරෝන් Holocaust Remembrance Day יום השואה(Yom HaShoah)

ලිපිය අවසානය තෙක් කියවා රූපය නැවත බලන්න.

යුදෙවුවන් කියන්නේ මහ පුදුම ජාතියක් ඇත්තටම පුදුමම ජාතියක්. මං ඔයාලට දවසක් කීවා යුදෙවුවන් ගැන නොදන්නා අයට සහ ඔවුන් ගැන හිත්වල යම් යම් ආකාරවල අදහස් දරණ අයට එයාල ගැන තව දැනගන්න ලියන්නම් කියලා. පියවරෙන් පියවර මං ලියන්නම්.

ඔයාලා දන්නවා දෙවන ලෝක යුධ සමයේ හිටලර් ගේ නාසි හමුදාව ඉතිහාසේ කවදාවත් නොවිච්ච විදියට මහා මනුස්ස සංහාරයක් සිද්ධ කළා. මියගිය ගණන ආසන්න මිලියන ගණින් තමයි අදටත් ගණන් හදන්නේ. 1933 -1945 කියන අවුරුදු 12 ක කාලසීමාව තුළ යුදෙවුවන් පමණක් මිලියන 6 ට වඩා වැඩි ප්‍රමාණයක් අමානුෂික විදියට මරලා දැම්මා. (ඒ වගේම දෙවන ලෝක යුද්ධය අවසානයේ සංගණනයන්ට අනුව ජර්මනියේ ජනගහණයෙන් 10 % ක් අඩුවෙලා ,මිය ගිහිල්ලා තිබුණලු.)

මිලියන 6ක් කියලා ගණන් කරලා කීවට ඒවා කජු ඇට හෝ කොස් ඇට නෙමේ මනුස්ස ජිවිත ලක්ෂ 60ක්. මේ ගණන තුල මේ ලෝකේ එළිය දැකපු නැති බිලිඳු කලලයේ  ඉඳලා මහල්ලා දක්වා සියළුම යුදෙව් මනුස්සයෝ හිටියා. මේ ව්‍යසනය නිසා මියගිය යුදෙවුවන් කදුළින් සිහිකරන්න හැම අවුරුද්දකම අප්‍රියල් මාසේ (යුදෙව් මාස ක්‍රමයට අනුව නිසාන් මාසය) පාස්කු උත්සවයට පසුව එන ඉරිදා දවස යුදෙවුවන් යොම්හශිකරෝන් සමරන්න යොදාගන්නවා. 1953 වසරෙදි අගමැති වෙලා හිටපු "ඩේවිඩ් බෙන්ගූරියොන්" මහතා තමයි මේ දිනය රජයේ ශෝක දිනයක් විදියට ප්‍රකාශයට පත්කළේ.( ඊශ්රායලයේ අන්තර්ජාතික ගුවන්තොටුපළේ නම බෙන්ගූරියොන්. අපේ බණ්ඩාරනායක මහත්මාගේ නම දාලා තියෙනවා වගේ. ඒත් ඒකෙන් එන්න හිතන්න නම් එපා හිරිඔතප් ඔක්කොම බිඳලා ,ඊයේ පෙරේදා කාපු බීපුවත් වමාරලා රට ඇතුලට ගන්නේ. ;) ඒ තරමට පරික්ෂා කරනවා.

මේ අවුරුද්දේ අප්‍රියල් 27 වෙනිදා ඉර බැසයනවාත් එක්ක යොම්හශිකරෝන් ජාතික උත්සවය පටන්ගත්තා.ඒ උත්සවය හැම ටීවී චැනල් එකකම සජීවීව විකාශය කළා.  ඊශ්රායල් අගනුවර ජෙරුසලමේදී ජනාධිපති සීමොන් පෙරිස් මහතා , අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සහ ආරක්ෂක අංශ වල ප්‍රධානින් ,ඒ වගේම 1933-1945 ඒ අසීරු කාලසීමාවේදී පුංචි දරුවෝ වෙලා ඉදලා අමාරුවෙන් ජිවිතේ බේරගත්ත අය සහ එයාලගේ පවුල් වල අය මේ උත්සවයට සහභාගී වුණා. උත්සවය මං සීයත් එක්ක ටීවී එකේ බැලුවේ. 

උත්සවය ආරම්භ වුණේ විශේෂිත ට්‍රම්පට් වාදනයක් එක්ක.ඒ වාදනයට සමගාමීව හමුදා නිලධාරියෙක් ඊශ්‍රායල් ජාතික කොඩිය අඩකුඹු  කළා (half mast). වැඩි ආලෝකයක් නැති තැනක තමයි මේ උත්සවය පැවැත්වුණේ. අගමැති තුමා සහ ආගමික නායකයන් කීපදෙනෙක් කතා පැවත්තුවාට පස්සේ තව විශේෂිත වයලින් වාදනයක් තිබුණා. මං ජිවිත කාලෙටම අහලා තිබුණේ නැහැ එහෙම වයලින් වාදනයක්. මහා වැලපීමක්,මොරගැසීමක් ඒකෙ තිබුණේ. වයලින් වාදනය අවසානයේ වේදිකාවක් වගේ තැනක ලොකු ගෑස් පහන් 6ක් පත්තු කරන්න නියමිතව තිබුණා.  පහන් 6ක් පත්තු කරන්න හේතුව විදියට සීයා කීවේ නාසි සිරකඳවුරු වල මියගිය මිලියන 6ක් වෙච්ච යුදෙවුවන් සිහිකිරීමක් විදියටයි කියලා.මිලියනයට එක බැගින්.

Sunday, April 27, 2014

පොරබැදීම

මං මහලොකුවට දුක කඳුළ නැමති දුෂ්ටයන් පරාජය කර සිනාසෙමි කීවට දැන් ඒ වචන මටම හිනාවෙනවා...දුක ඔත්තුබලලා බලලා කදුල ඇවිත් පහර දීගෙන යනවා....



මේ ෆොටෝ එකේ ඉන්න කෙනා වගේම මං මේ දවස් ටිකේම ඇඳ උඩ අතපය විසිකරලා දාලා නිදාගත්තා..ලිපි ලියන්න දේවල් ගොඩක් පහුගිය ටිකේම එකතු වුණා.ඊශ්‍රායලයේ මගුල් ගෙයක් ගැන....ඒ වගේම යුදෙවුවන්ගේ පාස්කු උත්සවය (පේසක්) ගැන.. තව ලංකාවේ ගතකල දවස් කීපය ගැන.ඒත් මටම තේරුම්ගන්න බැහැ.කිසිම දෙයක් ලියන්න හිතෙන්නේ නැහැ.මං ආස නැහැ මෙහෙම වෙන්න.මට ඕනේ ලියන්න.ඒත් මං ඕනෙවට වඩා හිතන්න අරන් මේ තනිකම ගැන.සීයව මට පේන්නේ යකෙක් වගේ. තනියම මංම කොඳුර කොඳුරා තිත්තකම වැඩිකරගන්නවා. 

ඕනෙවට වඩා හිතන්න ගියාම පිස්සු හැදෙනවා කියලා පොඩිකාලේ ඉඳලම අහල තියෙන නිසා තනියම හුඟ වෙලාවක් කල්පනාකරන ගමන් චෙක් කරලා බලනවා...බොරුවට හිනාවෙලා බලනවා..කණ්නාඩියෙන් බලනවා.පිස්සු නැහැ කියලා සැක හැර දැනගන්නවා ආයේ හිතනවා.

මාසයක් ගෙදර අයත් එක්ක ඉඳලා අපු එක නිසා තමයි මං මෙහෙම හැසිරෙන්නේ කියලා මටම මගේ ඇතුලේ ඉඳන් ටිකක් කල්පනාවෙන් ඉන්න කෙනෙක් කීවා..පොඩිකාලේ ඉදන්ම මගේ හිත කාරණාවක අන්තෙටම ගිලෙන්න හදද්දී ඒ කෙනා තමයි නවත්තන්නේ, වගේම සීමාවන් තේරුම් ගන්නන්නේ ..

ලංකාවට ගිය වෙලේ මගේ ප්‍රොෆෙසර්ගෙන් තෑගී හම්බුණු පොත් අතර තිබ්බ "your mind and how to use it "කියන පොත කියවන්න සුදුසුම  පරිසරය අන්තිමට ඔය දේවල් නිසා සකස් වුණා.   
-----------------------------------------------------------------------------
මාසයක් ලිපි නොලියා ඉඳීමෙන් කීපදෙනෙක් සිදුකළ මරණ තර්ජන හමුවේ මෙවැනි පෝස්ට් එකක් හෝ පලකරන්න ශක්තිය ගත්තේ ස්තුතී...

ඔන්න පහුගිය ටිකේ බලපුවා.. හි හි :) 


Thursday, March 27, 2014

පුංචි කතාවක් | think with oma

මට අද ලිපියක් ලියන්න ඕනේ වුණා අම්මෙකුයි හිතුවක්කාර පුතෙකුයි ගැන. ඒ ළමයා පුංචි කාලේ ඉදන් මං දැකලා තියෙනවා වගේම එයාලගේ පවුල තුල වෙච්ච දේවලුත්  මං දන්නවා. ඒ ළමයව දෙමවුපියෝ රැකබලාගත්ත විදිය එක්ක බලද්දී ළමයට දොස් කියලා වැඩක් නැහැ. ඔයාට ඒ මුළු කතාව කියන්න මං කැමති නැහැ... ඒ කතාව ඔයාට කියවන්න කම්මැලි හිතෙනවා ... ඒ නිසා මං හදපු පුංචි කතාව කියවන්න, ඒ වගේම මගේ අදහස ඔයාට තේරුණා නම් ඒ ගැනත් මට කියන්න. පුංචි උත්සහයක් මේක.

*****************************


වැල යන පැත්තට මැස්ස ගහන්න එපා ;
පළමුව මැස්ස ශක්තිමත්ව  සාදන්න ඉන්පසු ඔබගේ කුඩා ලපටි පැල සිටුවන්න ,, 
දිනපතා ඒවාට සාත්තු කරන්න ,, ඒවල ලපටි කොළ පණුවන්ට කන්න නොදී පරිස්සම් කරන්න ,, 
කුඩා පැල වැල් විදියට ලොකු වෙද්දී නිතරම ඒවා දිහා බලන්න ,,, 
මැස්සෙන් ඉවතට වැල් යන්න හදන මුල් අවස්ථාවේදීම ඒවායේ ලපටි දළු නොකැඩෙන, නොතැලෙන ලෙස ඒවා ඔබේ මැස්ස මතම රදවා ගන්න උත්සහ කරන්න ඒ වෙනුවෙන් කැපවෙන්න. එහෙම නැතුව මැස්සෙන් ඉවත ගිය වැල් ආයාසයෙන් මැස්ස මතට ගන්න උත්සහ කලොත්  මෝරපු අතු ඉති කැඩෙන්න පුළුවන්.

පැල සිටුවා දමා ඔබ ඒවා ගැන නොසලකා වතුර පොහොර පමණක් දමා ඒවායේ පලදාව පමණක් බලාපොරොත්තු වෙන්න එපා ,, 
කාලෙකට පසුව ඇවිත් වැල ගිය පැත්තට මැස්ස බදින්නත් එපා ,,, 

.මැස්ස මතම වැල යවා ගන්න ඔබට බැරි වුනොත් ඔබගේ පලදාව අල්ලපු වත්තේ අය හෝ සතා සිවුපාවා කන්න පුළුවනි ,,, 
ප්‍රමාදය පසුතැවිල්ල හා අතෘප්තකර බව ඔබට දෙනු ඇත ඉන්පසු කළකිරිම හරහා ඔබව මානසිකව වැටීයනු ඇත.,, දරුවන්ට පුංචි කාලේ ඉදලා සමිපවෙන්න එයාලව ඈත් කරන්න එපා. 

හෙට සුබ වෙන්න නම් ලස්සන වෙන්න නම් ඒ වෙනුවෙන් අද කැප වෙන්න.
  ජිවිතේ මිහිරියාව විදින්න..මං හැමදාමත් කියන්නේ ජිවිතේ කියන්නේ හරිම ලස්සන දෙයක්. සතුටින් ඉන්න උත්සහා කරන්න හැම තිස්සෙම.
------------------------------------------------------------
ප/ලි 
මං ජිවිතේ තාම කාලයි ගෙවලා තියෙන්නේ ඒ නිසා මේ කියපු දේවල වැරදි සහ ඉන් එහා දේවල් ඔබට පෙනෙනු ඇත. 


Tuesday, March 25, 2014

සුවඳවත් මනුස්සයෙක් වෙන්න.


කටු පිරිච්ච ඝනකම් පොත්තකින් වැහිලා තියෙන පැණි වරකා ගෙඩියක් ඇතුලේ තියෙන මදුළු කොච්චර රසද...ඒ වගේම ඒවා ගැට කාලේ පොලොස් හදන්නත් පුළුවන්,,පැහුනම උයන්න ,මලවන්න අමුවෙන් කන්න උණත් පුළුවන් ,,ඒ වගේම කොස් ගෙඩියේ අපි කාලා ඉතුරුවෙන කොස් ගෙඩියේ පොත්ත එහෙමත් නැත්තං කොස් කට්ට  හරක් වගේ සත්තුන්ටත් හොද කෑමක්... 


කොස් ගෙඩියේ අහක යන කිසිම දෙයක් නැහැ. අතේ පයේ ඇලෙන කිරිටික පවා අපිට වලඳක ,කලගෙඩියක සිදුරක් වහන්න ගන්න පුළුවන් ඒත් ලස්සනට සුදට ලොකුවට හැදෙන පුහුල් ගෙඩියක් ඒ වගේ නෙමේනේ පොත්ත සුමුදුවට ලස්සනට තිබුණට ඒකෙ ඇතුලේ මිහිරි රසයක් නැහැ. පුහුල් දෝසි හදන්න පුළුවන් උණත් පිටින් සීනි දාලා රසවත් කරන්න ඕනේ..,පුහුල් උයනවද කියලනම් මං දන්නේ නැහැ.


ඒ වගේම පුහුල් ගෙඩි තොවිල් වලදි කඩුවෙන් දෙකට කපලා පාළු තුන්මන් හන්දියක දාලා එනවා ,,ඒවා බල්ලෙක් වත් කන්නේ නැහැ.. තව අර අලුතෙන් හදන ගෙවල් වල මුදුන් ලී වල පරාල වල එල්ලලා තියනවා මං දැකලා තියෙනවා.. ඔහේ අවුරුදු ගානක් හරි එල්ලිලා තියෙනවා.


මට හිතෙන්නේ සමහරුන්ගේ ජිවිතත් හරියට පැණි වරකා ගෙඩි වගේ පිටතින් ගොරෝසුවට අවලස්සනට පෙනුණට එයාලගේ අභ්‍යන්තරය හරිම සුන්දරයි ..ඒ වගේම හරිම ආදරණීයයි.. ඒත් සමහර පිටින් හරිම ලස්සන..මුර්දු පෙනුමින් ඉන්න සමහරුන්ගේ අභ්‍යන්තරය හරිම අවලස්සනයි ,,අමිහිරියි... කිසිම මනුස්සයෙක්ට වැඩක් නැහැ තෙතමනයක් නැහැ එයාලා ළඟ.

මං පුංචි කාලේ ඉදන් දන්න ඉස්කෝලේ යාළුවෙක් හම්බෙන්න ගියා අද එයා පොඩිකාලේ ඉදන්ම ගොඩක් ආඩම්බර කෙනෙක්. ඒකට හේතුව එයා සුදුයි ලස්සනයි. තාමත් ඒ වගේමයි.පුංචි කාලේ නොතේරුම් කමටද කියලත් මට හිතිලා තිබුණා. ඒත් අද දැක්කම මට එයා ගැන දුක හිතුණා. මෙච්චර ලොකු මහත් වෙලත් ඒ උඩඟුකම් ඒ විදියමයි.එහා ගෙදර මනුස්සයෝ එක්කවත් මුණබලලා කතා කරන්නේ නැහැ. ඔයාලටත් ඒ වගේ අය ගැන ඕනේතරම් අත්දැකීම් ඇති. 

අපිට ලැබිලා තියෙන හමේ පාට ,ශරීරයේ හැඩය අපේ තෝරාගැනීම් නෙමේනෙම්.ඉතින් කෙනෙක් කොහොමද තමන් උපතින් ලස්සන උනා කියලා ඒ ගැන ආඩම්බර වෙන්නේ?...ඒක මගේ දැකීමේ හැටියට මහා මෝඩකමක්...


ප/ලි
ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට වැල් වල හටගන්නා ගෙඩි අතුරින් හොඳම වර්ගය අළු පුහුල් කියලත් කියනවා

Sunday, March 9, 2014

යහපත් ගොවියෙක් වෙන්න | don't forget your dreams


මගේ බ්ලොග් අඩවියේ නම ඔමාගේ හීන. ඇත්තටම මං කල්පනා කළා හීන ගැන සහ හීනත් එක්ක මගේ තියෙන සම්බන්ධය ගැන ලියන්න.

"ඕවා හීන විතරයි"

"දවල් හීන දැක්කද?"

"නිකන් හීන මවන්න එපා මනුස්සයෝ"

ඕවා හීන ගැන අපිට ඇහෙන දේවල්..ඇත්තටම මං හීන මවන්නියක්..පුංචි කාලේ ඉදන්ම...යම් යම් දේවල් ගැන හිතේ ආසාවල් ඇතිවෙද්දී ඒවා මං හීන කරගත්තා..ඇත්තමයි මං හීන කියන නම පාවිච්චි කරන්නේ මගේ අරමුණු වලට. මට පුදුමයි මේ වෙද්දී මං එහෙම හිතෙන් හීන මවාගෙන හිටපු ගොඩක් දේවල් මගේ ජිවිතේ යතාර්ථ කරගෙන තියෙනවා.

..ඔයා විශ්වාස කරන එකක් නැහැ. තාම අත් කරගත්ත නැති හීන අතර තියෙන මගේ පුංචි කාලේ හීනයක් ඔයාට හිනා යයි මේකට .. පිටසක්වල ජීවියෙක් එක්ක එයාගේ යානාවේ යන එක, එයා එක්ක කතා කරන එක..මේක හරිම ප්‍රාතමිකයි තමයි.. ඔව් ඉතින් මේක මට අවුරුදු පහක් හයක් කාලේ ඇතිකරගත්ත හීනයක්නේ.ඒත් ඒක තාමත් මගේ හීනයක්.. 

ඒ වගේම ගගණ ගාමියෙක් වෙන්න හිතුවා පස්සේ කාළෙක.අර හීනෙට තව පාට එකතු කරගන්න නිසා...එතකොට මට රොකට් එකක යන්නවත් චාන්ස් එකක් හම්බෙයිනේ ඊට පස්සේ මට පුළුවන් විශ්වයේ ඈත බලන්න හදලා තියෙන  නවීන උපකරණ වලින් අහස දිහා බලන්න,, ගේ ඉස්සරහා බෙලිගහ යට බංකුවේ ඉදන් බෙල්ල කඩාගෙන අහස දිහා බලනවට වඩා ඒක පහසු නිසා..
පියාඹන අස්සයා තමයි මගේ ආසම සතා
මගේ ජීමේල් ,සහ ලෝගෝ වල ඉන්නේ එයා.

ඊට පස්සේ ලන්ච් ෂීට් වල කොන් හතර එකතුකරලා; නුල් හතර එකතුවෙන තැනට කෝටු කෑල්ලක් බැඳලා එකේ මං මගේ රූපයක් ඇදලා අමාරුවෙන් අකුරු අමුණගෙන ඉංග්‍රීසියෙන් ලොකුවට නම ලීවා; පිටසක්වල ජීවීන් සිංහල දන්නේ නැහැ කියලා හිතුණු නිසා. ඊට පස්සේ වෙලට ගිහින් පැරිෂුට් එක උඩ යවලා එනවා.. ඒත් පස්සේ දවසක නැන්දලගේ වත්තේ ලුනුමිදෙල්ලා ගස් වල උඩ මගේ පැරිෂුට් පැටලිලා තිබ්බා.. ඒත් ඔක්කොම තිබ්බේ නැති නිසා මං හිතුවා එකක් හරි විශ්වයට යන්න ඇති කියලා..ඒ වගේම එයාලගෙන් උත්තර පරක්කුවෙද්දී මංම හිතාගත්තා මං තාම පොඩි නිසා වෙන්න ඇති කියලා.. :) 

බටුවත්තේ ආච්චිලගේ දිහා අවුරුද්දක් තිස්සේ ඉස්කෝලේ යාමක් නැතුව තාත්තා අම්මා ළඟ නැතුව ,හරියට රසට  කෑම කන්න නැතුව,වැඩ කාරියෙක් වගේ ඉන්න කාලේ ආච්චි එක්ක කඩේ ගියාම ඒ කඩේ මුදලාලිගේ දුවව දකිද්දී ඉරිසියා හිතුණා..එයා හැම තිස්සෙම හිනාවෙවී,,ටොෆි චොක්ලට් කනවා දකිද්දී මං ගැන ගොඩක් දුක හිතුණා.. ගෙදර ඇවිත් රෑට නිදාගන්න ගියාම හීන මැවුවා කවදාහරි මං ලොකුවෙලා එයාට වඩා රස ජාති ගොඩක් කනවා කියලා ,, මේවා හරිම බොළඳ සිතුවිළි වගේ ඔයාට දැනෙයි.ඒත් ඒවා ඔහොම තමයි... 

වෙන අය එක්ක කතා කරද්දී ලියද්දි ටිකක් ලස්සනට ලියන්න ඕනේ ...කියන්න ඕනේ ඒත් හීන දකින්නේ මං මගේ  හිත එක්කනේ ,,වෙන අයට පේන්නේ නැහනේ..ඒ නිසා පහසුම විදියට තමයි දෙයක් හිතේ කොටාගෙන හීන ගොඩට දාගන්නේ.. පුංචි කාලේ ඉතින් කෙලින්ම හිතන්නේ එයාට වඩා මං මෙහෙම කෙනෙක් වෙනවා ,,, මෙහෙම දේවල් ගන්නවා වගේ දේවල්නේ. කාටවත් පේන්නේ නැති හින්ද හොදයි ඉතින් ඒ මෝඩ හිත..

මේ වෙද්දී මං ගොඩක් හීන ලඟාකරන් තියෙනවා කීවට ඒවා පෝස්ට් එකේ ලියන්නේ නැහැ. ඒවා ලොකු නයි වගේ පේන්න පුළුවන්. ඒ නිසා ඒවා ලියන්නේ නැහැ.ඒ වලින් කියෝන කෙනාට ඇති වැඩකුත් නැහැ. ඉස්සර ඉස්කෝලේ යන කාලේදී අපි ගණන් වලදී කොපි කලාම ටීච කීවේ කොපි කරන්න එපා කියලා නෙමේ..කොපි කරගන්න යාළුවාගෙන් උත්තරේ ගත්ත හැටිත් අහගන්න කියලා... 

හි හි නිකන් මේක දැම්මේ ඈ..154 cm3 කියලා උත්තරේ එන්න කොපි ගහගෙන හදපු විදියත් අහගන්න ඕනේ 
11 වසර ගණිතය පොතෙන් 

ඉතින් මං හීන දකිද්දී අනුගමනය කරන ක්‍රමේ තමයි හැම තිස්සෙම ඒක මතක් කරන එක, ඒ වගේම ඒකට අවශ්‍ය කරන සුදුසුකම් ටික ටික සෙට් කරගන්න එක.. හරියට හීනයක් කියන්නේ පුංචි බීජයක් වගේ.බීජය පැළ කලාට පස්සේ ඒකට වතුර දාන්න ඕනේ,, සාත්තු කරන්න ඕනේ,, පෝර දාන්න ඕනේ,...ඒ වගේම පලිබෝධකයන්ගෙන් පරිස්සම් කරගන්න ඕනේ...එහෙම නැතුව බීජය ඉන්දලා කාලයක් ගියාට පස්සේ ඒකෙ අස්වැන්න නෙලන්න ගිහින් වැඩක් නැහැ ...ඊට පස්සේ පොළවට හරි බිජයට හරි බැනලා වැඩකුත් නැහැ. ඒ වගේම හිටෝපු දා ඉදන් උදේ හවස බීජය ගොඩ අරන් මුල් ඇදලද කියා කියා බලන්න යන්නත් හොද නැහැ..ඉවසීමෙන් සාත්තු කරමින් බලාඉන්න ඕනේ හොද අස්වැන්නක් ලබන්න නම්.

ඒ වගේමයි අපේ හීන සහ අරමුණුත්. අපි හීන අමතක කරලා වෙනම ලෝකවල ජිවත් වෙනවා පස්සේ කියනවා 

"මං හිතන කිසිම දෙයක් අද වෙනකල් කරගන්න බැරිවුණානේ" 

"ශික් මං වගේ අවාසනාවන්තයෙක් "

"ඕවා හීන විතරයි වැඩක් නැහැ ඕවා හිතලා"

ඒ නිසා ඔයා මොන වයසේ කෙනෙක් වුණත් හොද හීන දකින්නෙක් සහ හීන වලට සාත්තු කරන්නෙක් වෙන්න.. 
ජිවිතේ කියන්නේ පට්ටම ලස්සන හීනයක් -

ජයවේවා!!!!!
-------------------------------------------------------

Friday, March 7, 2014

සිරීපාදේ ජෝඩු නොබලා අත කඩාගත්තෙමි. (නිමි)


අපි යාළුවො ටික සිකුරාදා දවසක වෙනද වගේම කතාවෙලා ආවේ සිරීපාදේ යන්න.. (ඔයාලා දන්නවනේ සිරීපාදේ කියන්නේ මොකක්ද කියලා )ඉදිකටු පානේදී හොර පුසෝ වගේ ආච්චිලගේ ගෙවල් පාරට හැරුණා. දුර ඉදලම අපිව දැක්කම ආච්චිට හරිම සතුටුයි. 

කට්ටිය ගෙට ගිහින් ඇදුම් මාරු කරන් ආච්චිගේ තේ  එක බීලා මිදුලට ආවම දැක්කේ ගේ ඉස්සරහා ඇඹරැල්ලා ගහේ ගෙඩි පිරිලා.අපි ඇඹරෙද්දී ආච්චි දන්නවා ...

"කෙක්ක ගේ පිටිපස්සේ කොස් ගහට හේත්තු කරලා ඇති ගෙනත් කඩා ගනිල්ලා" කීවා විතරයි අපේ කෙනෙක් සින් ගාලා ගිහින් ගෙනාවා.

ගෙඩි දහයක් විතර කඩාගෙන දැම්මා සැරට මැටි කෝප්පෙන් එකක් අච්චාරුවක්.. අම්මෝ රස..,, අඹරැල්ලා පොතු ඇරලා  ලුනුයි ගම්මිරිසුයි එක්ක වංගෙඩියේ දාලා හොදට කොටනවා ..ඊට පස්සේ ඒකට සීනියි ,විනාකිරියි දානවා කෙළ වැක්කෙරෙනවා මතක් වෙද්දී. හායි හුඋයි කිය කිය අපි කන්නේ.. 

එදා අච්චාරු කාලා ඉවරවෙලා අපි කජුගහේ නගින්න ගියේ.. ඔයාලට හිනාත් යයි අවුරුදු  13ක් වෙලත් ඕවා කලාද කියලා ..ඉතින් කජු ගහේ නගින සෙල්ලම නම් නියමයි ..

මේ වගේ පෙරලිච්ච කජු ගහක් 
මේ උඩ තියෙන ෆොටෝ එකේ වගේ කජුගහක් තමයි අපි නැගපු එකත් .හැබැයි මිට වඩා ගොඩක් ලොකු මහත ගහක්. ඉතින් අපි සෙල්ලම් කරන්නේ මේ ගහේ.
 ඔට්ටු සෙල්ලම් වගේ හැබැයි ගහෙන් බිමට බැහැලා දිවුවොත් අල්ලන කෙනාට ගහන්න පුළුවන් අනිත් කෙනාට රිදෙනකල් ..  

හෝ...දහය ..විස්ස...තිහ ..හතලිය කියලා ගැනලා ඉතුරු වෙන කෙනා තමයි අල්ලන්නේ ඒ කෙනා ගහමුලට වෙලා 20 ට ගැනලා අනිත් අයව අල්ලන්න පටන් ගන්නවා .. ගහමුලින් පටන් අරන් අත්තක් දිගේ දුවලා ,,බඩගාලා ,,,සුරගෙන බිමට පැනලා ...ආයේ ගහ මුලට ඇවිත් නැගලා බේරෙන්න තියෙන්නේ ..ඉතින් කවුරුහරි අහු වුණාම ඒ අහුවෙච්ච කෙනාත් අර මුලින් අල්ලපු කෙනා එක්ක එකතුවෙලා අනිත් අයව අල්ලනවා.. වටකරලා අලන්න එද්දී තමයි ඉතින් සෙල්ලම නියම හරිය.... සමහර අතුවල දිමි ඉන්නවා අම්මෝ එතකොට තමයි පයින්නේ එතැනින්ම බිමට.  

අනේ ඉතින් ඒ අවාසනාවන්ත දවසේ අහිංසක මම අත්තක් දිගේ දුවගෙන යද්දී ඉස්සරහිනුත් අල්ලන්න කෙනෙක් එනවා.. අපේ ගොබ්බයා :) ඊට පස්සේ එයාව වට්ටන්න මං ගහේ අතු හෙල්ලුවා..ඒකත් ෂෝයි වැඩේ ..ගස් වල දගලලා තියෙන අය දනනවා ඇති එක අත්තක හිටගෙන උඩ තියෙන අත්තේ එල්ලිලා අත්වලින් ගස්ස ගස්ස කකුල් වලින් අත්ත එක්කම උඩ පයින්න තියෙන්නේ.. ඒවා හෙනම ආතල් වැඩ..අපේ ගොබ්බස් වැටිල්ල කෙසේ වෙතත් උඩ අත්තක හිටපු දළඹුවෙක් මගේ අත උඩට වැටුණා..බයවෙච්ච පාර මං බිම .. බිම වැටුණු ගමන් නැගිටින්න බැරිවුණා කකුළ උළුක් වෙලා වගේ නිසා..

 අම්මරුවෙන් නැගිටගන්න අත බිමට ගහන්න හැදුවා අත මගේ නෙමේ වගේ ....ඒ වෙලාවේ අම්මගේ මුණ මතක් වෙලා මගේ ඇග සීතල වෙලා ගියා. ඔක්කොමලා බයවෙලා ඇඩුවා. වම් අත මැණික් කටුවට චුට්ටක් උඩින් ඉස්සිලා එක තැනකින් .. බලාගෙන ඉද්දි ඉදිමුණා...

අපේ කට්ටිය ඒ වෙලේ මොනාද කලේ කියලා මතක නැහැ , ඔක්කොම ඇඩුවා බයට..පස්සේ ආච්චි ... අම්මට කෝල් කරලා ත්‍රී වීල් එකක් අරන් වෙදමහත්තයෙක් ළගට ගියා ..හි හි ඉස්සර කොහෙද අනේ පාන් කියාගන්න බැරුව හිටපු අපිට ෆෝන්. 

අත කැඩුනට වඩා බය හොරෙන් පැනලා වෙච්ච දේ නිසා.. පස්සේ නැන්දා මොලේ පාවිච්චි කරලා මාව පත්තඩුවන වෙද මහත්තයා ළගට එක්ක ගියා.අනිත් සෙට් එක ගෙදර තියලා , ඒ වගේම ඉස්කෝලේ ඇරිලා එන වෙලාව පහුවෙලත් අපි ආවේ නැත්තම් අපේ අම්මට කියන්න කීවා ඉස්කෝලෙදි වැටිලා මගේ අත කැඩිලා ආච්චි ළගපාත නිසා ඉස්කෝලෙන් එයාව ගෙන්නලා මාව බෙහෙත් බඳින්න යැවුවා කියලා ..ඊට පස්සේ අහලපහල ගෙදරක ලොරියකින්තමයි මාව එක්ක ගියේ ..ත්‍රීවීල් ගැන මතකයක් නැහැ ඒ කාලේ..තියෙන්න ඇති ඒත් අද වගේ නැහනේ ..

මිනුවන්ගොඩ පොල්වත්ත කියන ගමේ මිනිස්සු වළං හදන්නේ ඉතින් බොහොමයක් ගෙවල් වල ලොරි තියෙනවා 226 - නිල්පාට එකක ගෙනිච්චේ මාව ..
ඒ වගේම තව දෙයක් මතක් වුණා ඉස්සර අපි පොල්වත්ත කියන ගමේ ළමයින්ට "බඩහැලයෝ" කියලා අපහස කළා... එයාලා වළන් හදන නිසා අඩුකුලේ කියලා.. අපේ ආත්තම්මලා අපේ ඔළුවලට දාපුවා තමයි ඒ..ඉතින් ඒ වගේ වලි වලට සෙට් වෙලා දවසක් සුදු ගවුමේ අතක් ගලෝලා ගත්තා ඒ ගමේ කෙල්ලෙක්,,, ඊට පස්සේ කාලයක් අපි ඒ පාරෙන් වත් ගියේ නැහැ හි හි ..පව් අපේ චැලිය මං වෙනුවට ගුටිකාලත් තියෙනවා...

හැමදේම හොදින් වුණා..අපේ කට්ටිය ගෙදර ගිහින් තිබුණා අපි එද්දී ,, මං මේ පෝස්ට් එක ලියනකල් මේ අත කැඩිච්ච සිද්දිය දන්නේ අපි හය දෙනයි ආච්චියි  විතරයි .. එදා අම්මා බයවෙලා හිටපු නිසා මං ලඟින් ආපු ගස් ගඳ එයාට ගානක් වුණේ නැහැ...මේ අත් දෙක කීපාරක් කැඩෙන්න ඇත්ද කකුල් කෙටිලා ,උළුක්වෙලා ඇත්ද..දැන් පුදුමයි ...ඇත්තටම ඒ දේවල් මතක් වෙන්නේ මේ වගේ ලියන්න ගත්තම...ඉතින් ඔන්න ඔහොමයි සිරීපාදේ ගිහින් ජෝඩු බලලා අත කඩාගත්තේ...

අන්නාසි කැලේ සීනි පේර කඩන්න රිංගලා පොළොන් හැවක් පෑගිලා වෙච්ච සිද්දියක් මතක් වුණා..හි හි  
.........................................................................
පළවෙනි කොටස කියවපු නැති කෙනෙක්ට මෙතනින් කියවන්න පුළුවන් පළවෙනි කොටස

Tuesday, February 25, 2014

ෆිල්ම් බලලා චිත්තරපටි හැදීම (Geri's Game )

මේ පුංචි ෆිල්ම් එක බලලම පෝස්ට් එක කියවන්න.   ෆිල්ම් එක  එකතුකලේ ඔයාලා නොබලපු චිත්‍රපටියක් ගැන මං ලියන විචාරයක් තේරුම් ගන්න  කාටවත්ම බැරි නිසා. 
     මේ ෆිල්ම් එකේ මුළු ධාවන කාළය විනාඩි හතර හමාරයි.
(ෆිල්ම් එක ඔබ නොබලා පෝස්ට් එක කියවන්න එපා ) මෙහි ඔබට දැනුනු දේ ටිකක් මෙනෙහි කරලා පෝස්ට් එක කියවන්න යනවනම් වඩා හොදයි යාළුවනේ.

---------------------------------------------------------------

මුලින්ම ෆිල්ම් එක  පටන්ගන්නේ මේසයක් උඩට වැටිලා තිබ්බ වියළි කොළ රොඩු ටිකක් කටින් පිඹලා අයින් කරන ශබ්දයක් එක්ක..ඊට පස්සේ මහළු අත්දෙකකින් චෙස් බෝඩ් එකක් තියනවා..එතන කටින් පිඹලා කොළ රොඩු අයින් කරන එකෙන් මං තේරුම්ගත්තේ වියළිලා ගිය කඩතොළු වෙච්ච ජීවිතයකට තාවකාලික සහනයක් දෙන්න දරන උත්සහයක් වගේ. ඊට පස්සේ චෙස් බෝර්ඩ් එක උඩට ඉත්තෝ ටික හලනවා ..

මුළු කතාව පුරාම චෙස් බෝර්ඩ් එක තියෙන නිසා කතාව එක පාරක් බලලා ඉවරවෙලා චෙස් ගැන දන්න යාලුවෙක්ගෙන් චෙස් ක්‍රීඩාවේ සරළ නීති ටිකක් සහ ඉත්තන් ගැන යම් අවබෝදයක් අරගෙන තමයි ආයෙම බැලුවේ...චෙස් බෝර්ඩ් එකක් උඩ වෙන්නේ යුද්දයක් ...රජ වරු  , නයිට් වරු,බිෂොප් ලා ,පෝන්ලා විදියට. ඒ නිසා මං හිතුවා චෙස් බෝර්ඩ් එක කියන්නේ මේ මනුස්සයගේ ජිවිතේ කියලා. චෙස් බෝර්ඩ් එකෙත් ගේම් එක යන්නේ "චෙක් මේට් " වෙනකල්.රජට අටෑක් කලාට පස්සේ එතනින් එහාට ක්‍රීඩාව ඉවරයි.අපේ ජීවිතෙත් මේ හැම අරගලයක්ම කරන්නේ අපේ අන්තිම හුස්ම ,අපේ පණ තියෙනකල්,, ජීවිතය වෙනුවෙන්...හරි ඊට පස්සේ මේ මනුස්සය හලපු ඉත්තෝ එකින් එක බෝර්ඩ් එකේ තියන්න පටන් ගන්නවා...මේ වෙනකලුත් අපි දන්නේ නැහැ මෙතන මොනවගේ තැනක්ද ? කීදෙනෙක් ඉන්නවද ? මේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ.ඉත්තෝ තියන අතරතුරදී කළුපාට නයිට්ව තියන අවස්ථාව (0.42 තත්පරය) විතරක් ඉතා සමීප රූපයකින් පෙන්නනවා මේ වගේ ...

Saturday, February 22, 2014

චිත්‍රපටියක් කියවා රසවිදිමු


ඔයාලට මතක ඇති ඉවසන සෙල්ලම කියලා ලිපියක් ලීවා මගේ රැකියාව නිසා ජීවිතේට එකතු කරගත්ත දෙයක් ගැන සහ රැකියාව නිසාම අමාරුවෙන් වෙනස් කරගත්ත මගේ ජිවිතේ සමහර පුරුදු ගැන . මීට අවුරුදු දෙක තුනකට කලින් මාව තුරුල් කරගෙනම මැරුණ ආචිචිට පස්සේ (මොරාන් එයාගේ නම) මං සති තුනක් වගේ කාළයක් අපූරු සීයා කෙනෙක් බලාගත්තා ඒ සීයා හමුදාවේ ඉංජිනේරු බලකායේ හිටපු කෙනෙක්. එයා කතා කලේ ගොඩක් අඩුවෙන්.
නිතරම කලේ ප්‍රංශ සහ ඉංග්‍රීසි චිත්‍රපටි බලපු එක. ඒ අතර කෙටි චිත්‍රපටි සහ දෙබස් අඩු චිත්‍රපටි වලට සීයා වැඩි කැමැත්තක් දැක්වුවා. ඊට පස්සේ එයා නිසාම මාත් ඒ වගේ චිත්‍රපටි බලන්න හුරුවුණා. පැය එකහමාරක් දෙකක් දිගු සහ සිය  ගණන් මිනිස්සු රඟපාන චිත්‍රපටි වගේම විනාඩි 5 කටත් වඩා අඩු කාලෙකින් නිමාකරන කෙටි චිත්‍රපටියකින් වුනත් ලොකු කතාවක් ප්‍රේක්ෂකයට නරඹන්න පුළුවන්.
 සීයත් එක්ක ගෙවපු ඒ අපූරු සති තුන ගැන වෙනම ලිපියක් මං ලියන්නම් ඔයාට පුදුම හිතෙයි ඒ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කියලා. 

මං අදටත් දවස් දෙක තුනකට සැරයක් කෙටි චිත්‍රපටියක් බලනවා. මේ දක්වා ආසාවෙන්ම බලපු කෙටි චිත්‍රපටිය තමයි  1997  හොදම කෙටි ඇනිමේෂන් චිත්‍රපටිය විදියට ඇකඩමි සම්මානය දිනාගත්ත  
"Geri's Game".අධ්‍යක්ෂණය කලේ jan pinkava .

Wednesday, February 19, 2014

ඔමාගේ සස සහස් | bread mixy rice

                   ෴වටිනා සූප සාස්තර මාලාවේ 5 වැන්න෴

පරක්කු වෙලා නැගිටින ඉරිදා දවසක උදේට කන්න කෑමක් හදන හැටි කියන්න හිතුණා.  සමහර විට ගෙදර කන්න මොකුත් නැතිවෙන්න පුළුවන් ඒ වගේම චුන් පාන් කාරයොත් ඇවිත් ගිහින් ,කඩේකට යන්නත් කම්මැලි, කඩේට ගියත් කෑම ඉවර වෙලා .එහම වෙලාවක උදේට පවුලේ ඔක්කොටම කන්න පිරිමැසුම් දායක කෑමක් වේවි මේක..

දවසක් උදේක අපේ අම්මා මේ කෑම එක හැදුවේ කන්න මොකුත් නැතිම නිසා.පස්සේ අපි ඒකට රහ වැටුනට පස්සේ නිතර හදන් කෑවා 

අවශ්‍ය දේවල්:(4 දෙනෙක් සඳහා)
  • රෑ ගෙනත් ඉතුරුවෙච්ච පාන් බාගයක්.
  • රෑ උයලා ඉතුරුවෙච්ච බත් .
  • කැරට් අලයක්.
  • බටර් හෝ තෙල්
  • කෑලි මිරිස් 
  • බී ළුණු ලොකු ගෙඩියක් 
  • තක්කාලි ගෙඩියක් 
  • දිග අතට පලාගත්ත අමු මිරිස් කරල් 4ක් 
  • කරපිංචා කොළ දෙකක්. රම්පෙ කෑල්ලක්
  • හොදින් ගසා ගත් බිත්තර 2ක්.
  • ළුණු සහ ගම්මිරිස්.
පිළියෙළ කරගන්නා ආකාරය :

Sunday, February 16, 2014

පීනන කුරුල්ලා | kings of the Antarctica (Emperor Penguin)

හ්ම්ම්... තනියම වැලන්ටයිනුත් ගෙවලා දැම්මා ඒත් පහුගිය දවස් කීපය පුරාම නිදහසක් ලැබෙන හැමවෙලාවකම මං එයා ගැන කල්පනා කළා, තොරතුරු හෙවුවා.. පහුගිය සති 2ක් ' 3ක් තිස්සෙම මගේ හිත පුරාම පිනුම් ගැහුවේ එයා..මේ වෙද්දී එයාට හොරෙන් මං එයාගේ ගොඩක් විස්තර හොයාගෙන තියෙන්නේ ...ඒ තරම් ආදරණීය පිරිමි කෙනෙක්... ,වගකීමෙන් වැඩ කරන කෙනෙක් මං මීට කලින් දැකලා තිබුණේ නැහැ...

අද මං ලියන්නේ සැමන් මාළුවගෙන් පස්සේ මගේ හිත හොරා ගත්තු පෙන්ගුයින් කියන අපූරු සත්වයා  ගැන..එයාගේ ජිවිතේ හරිම කටුකයි. පුංචි කාලේ tv එකේ පෙන්ගුයින් ලා දැක්කම මං හිතුවේ උන් හිනාවෙලා හරිම සතුටින් ඉන්නේ කියලා..ඒත් පෙන්ගුයින් ගැන හොයන්න ගත්තට පස්සෙයි දැනගත්තේ   එයාගේ නැටුම් වලට එහායින් තියෙන  ජිවිතේ ගැන.


පෙන්ගුයින් පිළිබදව අධ්‍යනය කරන පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට මේ වන විට ලෝකයේ පෙන්ගුයින් විශේෂ 20 කට ආසන්න ප්‍රමාණයක් ජිවත් වෙනවා. ඒ වගේම පෙන්ගුයින්ගේ ඉතිහාසය අවුරුදු මිලියන 55 ක් තරම් දුරට යනවා. පෘතුවියේ දක්ෂිණ අර්ධගෝලයේ වසර පුරාම හිමෙන් වැසුණු ඇන්ටාර්ක්ටිකාව තමයි පෙන්ගුයින්ගේ ප්‍රධාන නිජබිම. පෙන්ගුයින් අයිති වෙන්නේ කුරුළු ගණයට (CLASS AVES).

කළු සහ සුදු පාට ඝණ පිල් කළඹවල් දෙකක් ඔවුන්ගේ  ශරීරයේ තියෙනවා. ඒ වගේම පිල් කළඹ ඇතුලේ වාතය ස්ථර විදියට රදවාගැනීමේ හැකියාවක් තියෙන මේ සතුන්ට මුහුදේ කිමිදීමේදී ඒ වායු ස්ථරය තමන්ගේ වේගය වැඩිකරගන්න උපකාරී වෙනවා. ජලජ පරිසරයට දක්වපු අනුවර්තනයක් විදියට පෙන්ගුයින්ලාගේ තටු වරල් විදියට හැඩගැහිලා තියෙනවා. ඒ වගේම විනාඩි 2 -18 ත් අතර කාලයක් පෙන්ගුයින් කෙනෙක්ට වතුර යට ඉන්න පුළුවන් එක දිගට. (විශේෂයෙන් විශේෂයට කිමිදුම් කාලයන් ,කිමිදුම් ගැඹුර වෙනස් වෙනවා). ඒ වගේම මොවුන්ගේ විශේෂය  අනුව ශරීරයේ ප්‍රමාණය, ජීවත්වෙන ප්‍රදේශය ,ආයුකාළය වගේ දේවල් වෙනස් වෙනවා. නවසීලන්තය,දකුණුදිග ඔස්ට්‍රේලියාව ,දකුණු ඇමරිකාව සහ සමකයට ආසන්නව පිහිටලා තියෙන Galapagos දුපත් වලත් පෙන්ගුයින්ලා ජිවත් වෙනවා.

ප්‍රධාන පෙන්ගුයින් විශේෂ නවය  

                                             1.Emperor Penguin
                                            2.Adelie Penguin
                                            3. King Penguin
                                            4.Galapagos Penguin
                                             5.Humboldt Penguin
                                             6.Macaroni Penguin
                                             7.Little Blue Penguin
                                             8.Rockhopper Penguin
                                             9.African Penguin

Wednesday, February 12, 2014

දෙවියනි ඔබ කොහිද ? sometimes GOD must be busy



තවම වින්ටර් එක උනාට අද ශීතල නැහැ ,හොදට ඉර පායලා ඉතින් මං බෑන්ක් එකට යද්දී අත් කොට ටී ෂර්ට් එකක් ඇදන් ගියා.. වැඩේ කියන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියලා මං හිතන් හිටපු මේ රටේ මිනිස්සු හැරී හැරි බැලුවනේ මං දිහා මාත් ඉතින් ඕනෙවට වඩා උවමනාවෙන් මුණු වලට එබිලා බැලුවා..පස්සේ බෑන්ක් එකට මෙහාදි අපේ ගෙවල් ලග කෙනෙක් ඇහුවා මොකද මේ කෝ ජැකට් ? ජැකට් එකක් නැද්ද ? කියලා.. ..අනේ මන්දා මිනිස්සු වින්ටර් එක කියලා පොදුවේ කියන නිසා හැමෝම බූට් සපත්තු දාලා ජැකට් ,ජර්සි ඇදගෙන යනවා  අද රශ්නේ දවසක් ඒත් අර විදියටම අඳින්න මිනිස්සු පුරුදුවෙලා....


මේ සිද්දිය නිකන් කීවේ. ගොඩක් දේවල් වලදී මිනිස්සු යම් යම් දේවල් වලට හුරුවෙලා... පුරුද්දක් විදියට කරගෙන යනවා..  ඒකෙන් චුට්ටක් එලියට ඇවිත් බලන්න හෝ හිතන්න කැමති නැහැ. මේක ගැන ලියන්න නෙමේ මං මේ වෙන එකක් ලියන්න පටන් ගත්තේ..පොඩිකාලේ කට්ටි පැනපු කතාවේ දෙවැනි කොටස ඒත් අද බැහැ.. වෙන මොනාහරි කොටාගෙන කොටාගෙන ගිහින් පබ්ලිෂ් කරනවා..


දෙවියනි... ඔබ කොහිද?
කුමට මැවුවාද වෙන වෙනම ඇස් ...
හැම කෙනාටම දෙක දෙක..
රටකට ජාතියකට දෙකක් මැවුවානම් .
හොදටම ඇතිය...
දෙවියනි කුමට දුන්නාද කන් ...
හැමෝටම දෙක දෙක වෙන වෙනම 
අසන්නට නමන පිණිස බොල් හුළඟට..
දෙවියනි කුමට දුන්නාද දිවක්...
හැමෙකාටම එක එක ...
දුෂ්ට වචන හසුරුවන්න ..
අහෝ දෙවියනි 
කුමට දුන්නාද ලොකුවට ඔළු ගෙඩියක් ...
පිටින් ඔප මට්ටම් කර ලොකුවට පුම්බපු....
කුමට මැවුවාද හමෙකාටම ..
වෙන වෙනම සිත්.....
තනිව සිතුවිල්ලක් නෙලාගන්න බැරි...
අහෝ නුඹ කුමට මැවුවාද මා ..
මේ ගොහොරු විල්ලුවේ ..........


හිමියනි ඔබ මැව් ලොව පුදුමයි ..
පහන ලගයි ආලෝකේ දුරයි ....

Thursday, February 6, 2014

Yashoda achived her dream with our support !!!

--------------------------------------------------------------------------------------
  අද මට ගොඩක් සතුටු දවසක් වුණා..01.21 වෙනිදා රෑ හිතට ඇතුල් වෙච්ච මහ බරකින් නිදහස් වුණා. 
අපි හැම කෙනාම දන්න යශෝධා ජයරත්න අපේ සහෝදරීට ඇගේ සැත්කම සඳහා අවශ්‍ය වෙලා තිබ්බ ලක්ෂ 45 ක මුළු මුදල අද දවස වෙද්දී සම්පුර්ණ කරගන්න පුළුවන් වුණා. මට වගේම ඔයාලා හැමෝටමත් සතුටු ඇති.

ඇයටත් හුස්ම ගන්න ඉඩදෙන්න  කියමින් 2013.03.27 මුලින්ම බ්ලොග් හරහා ඇය ගැන අපව දැනුවත් කරමින් යශෝධා වෙනුවෙන් පළමු බ්ලොග් සටහන තබපු හර්ෂණ අධිකාරි මල්ලිට ඇය ස්තූතිවන්ත වුණා. 
HOPE YASHODA

ඒ වගේම ඉහත විජේට්ටුවට තමන්ගේ බ්ලොග් එකේ තැනක් වෙන් කරමින් ඇයට සහය දක්වන්න එකතුවෙච්ච බ්ලොග් අවකාශයේ සියළු දෙනාට යශෝධා ස්තුතිවන්ත වුණා. 

අපේ සතුට ඈට කොයිද  2013.03.28 වෙනිදා සෑම් අයියා යශෝධා වෙනුවෙන් ඇගේ රෝගීතත්වය ,පවුලේ විස්තර සහ ඇගේ අවශ්‍යතාව ගැන විස්තර ඇතුලත් කර දෙවැනි බ්ලොග් සටහනත් තැබුවා. ඒ වෙනුවෙන් යශෝධාගේ ස්තූතිය.

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...