Thursday, March 27, 2014

පුංචි කතාවක් | think with oma

මට අද ලිපියක් ලියන්න ඕනේ වුණා අම්මෙකුයි හිතුවක්කාර පුතෙකුයි ගැන. ඒ ළමයා පුංචි කාලේ ඉදන් මං දැකලා තියෙනවා වගේම එයාලගේ පවුල තුල වෙච්ච දේවලුත්  මං දන්නවා. ඒ ළමයව දෙමවුපියෝ රැකබලාගත්ත විදිය එක්ක බලද්දී ළමයට දොස් කියලා වැඩක් නැහැ. ඔයාට ඒ මුළු කතාව කියන්න මං කැමති නැහැ... ඒ කතාව ඔයාට කියවන්න කම්මැලි හිතෙනවා ... ඒ නිසා මං හදපු පුංචි කතාව කියවන්න, ඒ වගේම මගේ අදහස ඔයාට තේරුණා නම් ඒ ගැනත් මට කියන්න. පුංචි උත්සහයක් මේක.

*****************************


වැල යන පැත්තට මැස්ස ගහන්න එපා ;
පළමුව මැස්ස ශක්තිමත්ව  සාදන්න ඉන්පසු ඔබගේ කුඩා ලපටි පැල සිටුවන්න ,, 
දිනපතා ඒවාට සාත්තු කරන්න ,, ඒවල ලපටි කොළ පණුවන්ට කන්න නොදී පරිස්සම් කරන්න ,, 
කුඩා පැල වැල් විදියට ලොකු වෙද්දී නිතරම ඒවා දිහා බලන්න ,,, 
මැස්සෙන් ඉවතට වැල් යන්න හදන මුල් අවස්ථාවේදීම ඒවායේ ලපටි දළු නොකැඩෙන, නොතැලෙන ලෙස ඒවා ඔබේ මැස්ස මතම රදවා ගන්න උත්සහ කරන්න ඒ වෙනුවෙන් කැපවෙන්න. එහෙම නැතුව මැස්සෙන් ඉවත ගිය වැල් ආයාසයෙන් මැස්ස මතට ගන්න උත්සහ කලොත්  මෝරපු අතු ඉති කැඩෙන්න පුළුවන්.

පැල සිටුවා දමා ඔබ ඒවා ගැන නොසලකා වතුර පොහොර පමණක් දමා ඒවායේ පලදාව පමණක් බලාපොරොත්තු වෙන්න එපා ,, 
කාලෙකට පසුව ඇවිත් වැල ගිය පැත්තට මැස්ස බදින්නත් එපා ,,, 

.මැස්ස මතම වැල යවා ගන්න ඔබට බැරි වුනොත් ඔබගේ පලදාව අල්ලපු වත්තේ අය හෝ සතා සිවුපාවා කන්න පුළුවනි ,,, 
ප්‍රමාදය පසුතැවිල්ල හා අතෘප්තකර බව ඔබට දෙනු ඇත ඉන්පසු කළකිරිම හරහා ඔබව මානසිකව වැටීයනු ඇත.,, දරුවන්ට පුංචි කාලේ ඉදලා සමිපවෙන්න එයාලව ඈත් කරන්න එපා. 

හෙට සුබ වෙන්න නම් ලස්සන වෙන්න නම් ඒ වෙනුවෙන් අද කැප වෙන්න.
  ජිවිතේ මිහිරියාව විදින්න..මං හැමදාමත් කියන්නේ ජිවිතේ කියන්නේ හරිම ලස්සන දෙයක්. සතුටින් ඉන්න උත්සහා කරන්න හැම තිස්සෙම.
------------------------------------------------------------
ප/ලි 
මං ජිවිතේ තාම කාලයි ගෙවලා තියෙන්නේ ඒ නිසා මේ කියපු දේවල වැරදි සහ ඉන් එහා දේවල් ඔබට පෙනෙනු ඇත. 


Tuesday, March 25, 2014

සුවඳවත් මනුස්සයෙක් වෙන්න.


කටු පිරිච්ච ඝනකම් පොත්තකින් වැහිලා තියෙන පැණි වරකා ගෙඩියක් ඇතුලේ තියෙන මදුළු කොච්චර රසද...ඒ වගේම ඒවා ගැට කාලේ පොලොස් හදන්නත් පුළුවන්,,පැහුනම උයන්න ,මලවන්න අමුවෙන් කන්න උණත් පුළුවන් ,,ඒ වගේම කොස් ගෙඩියේ අපි කාලා ඉතුරුවෙන කොස් ගෙඩියේ පොත්ත එහෙමත් නැත්තං කොස් කට්ට  හරක් වගේ සත්තුන්ටත් හොද කෑමක්... 


කොස් ගෙඩියේ අහක යන කිසිම දෙයක් නැහැ. අතේ පයේ ඇලෙන කිරිටික පවා අපිට වලඳක ,කලගෙඩියක සිදුරක් වහන්න ගන්න පුළුවන් ඒත් ලස්සනට සුදට ලොකුවට හැදෙන පුහුල් ගෙඩියක් ඒ වගේ නෙමේනේ පොත්ත සුමුදුවට ලස්සනට තිබුණට ඒකෙ ඇතුලේ මිහිරි රසයක් නැහැ. පුහුල් දෝසි හදන්න පුළුවන් උණත් පිටින් සීනි දාලා රසවත් කරන්න ඕනේ..,පුහුල් උයනවද කියලනම් මං දන්නේ නැහැ.


ඒ වගේම පුහුල් ගෙඩි තොවිල් වලදි කඩුවෙන් දෙකට කපලා පාළු තුන්මන් හන්දියක දාලා එනවා ,,ඒවා බල්ලෙක් වත් කන්නේ නැහැ.. තව අර අලුතෙන් හදන ගෙවල් වල මුදුන් ලී වල පරාල වල එල්ලලා තියනවා මං දැකලා තියෙනවා.. ඔහේ අවුරුදු ගානක් හරි එල්ලිලා තියෙනවා.


මට හිතෙන්නේ සමහරුන්ගේ ජිවිතත් හරියට පැණි වරකා ගෙඩි වගේ පිටතින් ගොරෝසුවට අවලස්සනට පෙනුණට එයාලගේ අභ්‍යන්තරය හරිම සුන්දරයි ..ඒ වගේම හරිම ආදරණීයයි.. ඒත් සමහර පිටින් හරිම ලස්සන..මුර්දු පෙනුමින් ඉන්න සමහරුන්ගේ අභ්‍යන්තරය හරිම අවලස්සනයි ,,අමිහිරියි... කිසිම මනුස්සයෙක්ට වැඩක් නැහැ තෙතමනයක් නැහැ එයාලා ළඟ.

මං පුංචි කාලේ ඉදන් දන්න ඉස්කෝලේ යාළුවෙක් හම්බෙන්න ගියා අද එයා පොඩිකාලේ ඉදන්ම ගොඩක් ආඩම්බර කෙනෙක්. ඒකට හේතුව එයා සුදුයි ලස්සනයි. තාමත් ඒ වගේමයි.පුංචි කාලේ නොතේරුම් කමටද කියලත් මට හිතිලා තිබුණා. ඒත් අද දැක්කම මට එයා ගැන දුක හිතුණා. මෙච්චර ලොකු මහත් වෙලත් ඒ උඩඟුකම් ඒ විදියමයි.එහා ගෙදර මනුස්සයෝ එක්කවත් මුණබලලා කතා කරන්නේ නැහැ. ඔයාලටත් ඒ වගේ අය ගැන ඕනේතරම් අත්දැකීම් ඇති. 

අපිට ලැබිලා තියෙන හමේ පාට ,ශරීරයේ හැඩය අපේ තෝරාගැනීම් නෙමේනෙම්.ඉතින් කෙනෙක් කොහොමද තමන් උපතින් ලස්සන උනා කියලා ඒ ගැන ආඩම්බර වෙන්නේ?...ඒක මගේ දැකීමේ හැටියට මහා මෝඩකමක්...


ප/ලි
ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට වැල් වල හටගන්නා ගෙඩි අතුරින් හොඳම වර්ගය අළු පුහුල් කියලත් කියනවා

Sunday, March 9, 2014

යහපත් ගොවියෙක් වෙන්න | don't forget your dreams


මගේ බ්ලොග් අඩවියේ නම ඔමාගේ හීන. ඇත්තටම මං කල්පනා කළා හීන ගැන සහ හීනත් එක්ක මගේ තියෙන සම්බන්ධය ගැන ලියන්න.

"ඕවා හීන විතරයි"

"දවල් හීන දැක්කද?"

"නිකන් හීන මවන්න එපා මනුස්සයෝ"

ඕවා හීන ගැන අපිට ඇහෙන දේවල්..ඇත්තටම මං හීන මවන්නියක්..පුංචි කාලේ ඉදන්ම...යම් යම් දේවල් ගැන හිතේ ආසාවල් ඇතිවෙද්දී ඒවා මං හීන කරගත්තා..ඇත්තමයි මං හීන කියන නම පාවිච්චි කරන්නේ මගේ අරමුණු වලට. මට පුදුමයි මේ වෙද්දී මං එහෙම හිතෙන් හීන මවාගෙන හිටපු ගොඩක් දේවල් මගේ ජිවිතේ යතාර්ථ කරගෙන තියෙනවා.

..ඔයා විශ්වාස කරන එකක් නැහැ. තාම අත් කරගත්ත නැති හීන අතර තියෙන මගේ පුංචි කාලේ හීනයක් ඔයාට හිනා යයි මේකට .. පිටසක්වල ජීවියෙක් එක්ක එයාගේ යානාවේ යන එක, එයා එක්ක කතා කරන එක..මේක හරිම ප්‍රාතමිකයි තමයි.. ඔව් ඉතින් මේක මට අවුරුදු පහක් හයක් කාලේ ඇතිකරගත්ත හීනයක්නේ.ඒත් ඒක තාමත් මගේ හීනයක්.. 

ඒ වගේම ගගණ ගාමියෙක් වෙන්න හිතුවා පස්සේ කාළෙක.අර හීනෙට තව පාට එකතු කරගන්න නිසා...එතකොට මට රොකට් එකක යන්නවත් චාන්ස් එකක් හම්බෙයිනේ ඊට පස්සේ මට පුළුවන් විශ්වයේ ඈත බලන්න හදලා තියෙන  නවීන උපකරණ වලින් අහස දිහා බලන්න,, ගේ ඉස්සරහා බෙලිගහ යට බංකුවේ ඉදන් බෙල්ල කඩාගෙන අහස දිහා බලනවට වඩා ඒක පහසු නිසා..
පියාඹන අස්සයා තමයි මගේ ආසම සතා
මගේ ජීමේල් ,සහ ලෝගෝ වල ඉන්නේ එයා.

ඊට පස්සේ ලන්ච් ෂීට් වල කොන් හතර එකතුකරලා; නුල් හතර එකතුවෙන තැනට කෝටු කෑල්ලක් බැඳලා එකේ මං මගේ රූපයක් ඇදලා අමාරුවෙන් අකුරු අමුණගෙන ඉංග්‍රීසියෙන් ලොකුවට නම ලීවා; පිටසක්වල ජීවීන් සිංහල දන්නේ නැහැ කියලා හිතුණු නිසා. ඊට පස්සේ වෙලට ගිහින් පැරිෂුට් එක උඩ යවලා එනවා.. ඒත් පස්සේ දවසක නැන්දලගේ වත්තේ ලුනුමිදෙල්ලා ගස් වල උඩ මගේ පැරිෂුට් පැටලිලා තිබ්බා.. ඒත් ඔක්කොම තිබ්බේ නැති නිසා මං හිතුවා එකක් හරි විශ්වයට යන්න ඇති කියලා..ඒ වගේම එයාලගෙන් උත්තර පරක්කුවෙද්දී මංම හිතාගත්තා මං තාම පොඩි නිසා වෙන්න ඇති කියලා.. :) 

බටුවත්තේ ආච්චිලගේ දිහා අවුරුද්දක් තිස්සේ ඉස්කෝලේ යාමක් නැතුව තාත්තා අම්මා ළඟ නැතුව ,හරියට රසට  කෑම කන්න නැතුව,වැඩ කාරියෙක් වගේ ඉන්න කාලේ ආච්චි එක්ක කඩේ ගියාම ඒ කඩේ මුදලාලිගේ දුවව දකිද්දී ඉරිසියා හිතුණා..එයා හැම තිස්සෙම හිනාවෙවී,,ටොෆි චොක්ලට් කනවා දකිද්දී මං ගැන ගොඩක් දුක හිතුණා.. ගෙදර ඇවිත් රෑට නිදාගන්න ගියාම හීන මැවුවා කවදාහරි මං ලොකුවෙලා එයාට වඩා රස ජාති ගොඩක් කනවා කියලා ,, මේවා හරිම බොළඳ සිතුවිළි වගේ ඔයාට දැනෙයි.ඒත් ඒවා ඔහොම තමයි... 

වෙන අය එක්ක කතා කරද්දී ලියද්දි ටිකක් ලස්සනට ලියන්න ඕනේ ...කියන්න ඕනේ ඒත් හීන දකින්නේ මං මගේ  හිත එක්කනේ ,,වෙන අයට පේන්නේ නැහනේ..ඒ නිසා පහසුම විදියට තමයි දෙයක් හිතේ කොටාගෙන හීන ගොඩට දාගන්නේ.. පුංචි කාලේ ඉතින් කෙලින්ම හිතන්නේ එයාට වඩා මං මෙහෙම කෙනෙක් වෙනවා ,,, මෙහෙම දේවල් ගන්නවා වගේ දේවල්නේ. කාටවත් පේන්නේ නැති හින්ද හොදයි ඉතින් ඒ මෝඩ හිත..

මේ වෙද්දී මං ගොඩක් හීන ලඟාකරන් තියෙනවා කීවට ඒවා පෝස්ට් එකේ ලියන්නේ නැහැ. ඒවා ලොකු නයි වගේ පේන්න පුළුවන්. ඒ නිසා ඒවා ලියන්නේ නැහැ.ඒ වලින් කියෝන කෙනාට ඇති වැඩකුත් නැහැ. ඉස්සර ඉස්කෝලේ යන කාලේදී අපි ගණන් වලදී කොපි කලාම ටීච කීවේ කොපි කරන්න එපා කියලා නෙමේ..කොපි කරගන්න යාළුවාගෙන් උත්තරේ ගත්ත හැටිත් අහගන්න කියලා... 

හි හි නිකන් මේක දැම්මේ ඈ..154 cm3 කියලා උත්තරේ එන්න කොපි ගහගෙන හදපු විදියත් අහගන්න ඕනේ 
11 වසර ගණිතය පොතෙන් 

ඉතින් මං හීන දකිද්දී අනුගමනය කරන ක්‍රමේ තමයි හැම තිස්සෙම ඒක මතක් කරන එක, ඒ වගේම ඒකට අවශ්‍ය කරන සුදුසුකම් ටික ටික සෙට් කරගන්න එක.. හරියට හීනයක් කියන්නේ පුංචි බීජයක් වගේ.බීජය පැළ කලාට පස්සේ ඒකට වතුර දාන්න ඕනේ,, සාත්තු කරන්න ඕනේ,, පෝර දාන්න ඕනේ,...ඒ වගේම පලිබෝධකයන්ගෙන් පරිස්සම් කරගන්න ඕනේ...එහෙම නැතුව බීජය ඉන්දලා කාලයක් ගියාට පස්සේ ඒකෙ අස්වැන්න නෙලන්න ගිහින් වැඩක් නැහැ ...ඊට පස්සේ පොළවට හරි බිජයට හරි බැනලා වැඩකුත් නැහැ. ඒ වගේම හිටෝපු දා ඉදන් උදේ හවස බීජය ගොඩ අරන් මුල් ඇදලද කියා කියා බලන්න යන්නත් හොද නැහැ..ඉවසීමෙන් සාත්තු කරමින් බලාඉන්න ඕනේ හොද අස්වැන්නක් ලබන්න නම්.

ඒ වගේමයි අපේ හීන සහ අරමුණුත්. අපි හීන අමතක කරලා වෙනම ලෝකවල ජිවත් වෙනවා පස්සේ කියනවා 

"මං හිතන කිසිම දෙයක් අද වෙනකල් කරගන්න බැරිවුණානේ" 

"ශික් මං වගේ අවාසනාවන්තයෙක් "

"ඕවා හීන විතරයි වැඩක් නැහැ ඕවා හිතලා"

ඒ නිසා ඔයා මොන වයසේ කෙනෙක් වුණත් හොද හීන දකින්නෙක් සහ හීන වලට සාත්තු කරන්නෙක් වෙන්න.. 
ජිවිතේ කියන්නේ පට්ටම ලස්සන හීනයක් -

ජයවේවා!!!!!
-------------------------------------------------------

Friday, March 7, 2014

සිරීපාදේ ජෝඩු නොබලා අත කඩාගත්තෙමි. (නිමි)


අපි යාළුවො ටික සිකුරාදා දවසක වෙනද වගේම කතාවෙලා ආවේ සිරීපාදේ යන්න.. (ඔයාලා දන්නවනේ සිරීපාදේ කියන්නේ මොකක්ද කියලා )ඉදිකටු පානේදී හොර පුසෝ වගේ ආච්චිලගේ ගෙවල් පාරට හැරුණා. දුර ඉදලම අපිව දැක්කම ආච්චිට හරිම සතුටුයි. 

කට්ටිය ගෙට ගිහින් ඇදුම් මාරු කරන් ආච්චිගේ තේ  එක බීලා මිදුලට ආවම දැක්කේ ගේ ඉස්සරහා ඇඹරැල්ලා ගහේ ගෙඩි පිරිලා.අපි ඇඹරෙද්දී ආච්චි දන්නවා ...

"කෙක්ක ගේ පිටිපස්සේ කොස් ගහට හේත්තු කරලා ඇති ගෙනත් කඩා ගනිල්ලා" කීවා විතරයි අපේ කෙනෙක් සින් ගාලා ගිහින් ගෙනාවා.

ගෙඩි දහයක් විතර කඩාගෙන දැම්මා සැරට මැටි කෝප්පෙන් එකක් අච්චාරුවක්.. අම්මෝ රස..,, අඹරැල්ලා පොතු ඇරලා  ලුනුයි ගම්මිරිසුයි එක්ක වංගෙඩියේ දාලා හොදට කොටනවා ..ඊට පස්සේ ඒකට සීනියි ,විනාකිරියි දානවා කෙළ වැක්කෙරෙනවා මතක් වෙද්දී. හායි හුඋයි කිය කිය අපි කන්නේ.. 

එදා අච්චාරු කාලා ඉවරවෙලා අපි කජුගහේ නගින්න ගියේ.. ඔයාලට හිනාත් යයි අවුරුදු  13ක් වෙලත් ඕවා කලාද කියලා ..ඉතින් කජු ගහේ නගින සෙල්ලම නම් නියමයි ..

මේ වගේ පෙරලිච්ච කජු ගහක් 
මේ උඩ තියෙන ෆොටෝ එකේ වගේ කජුගහක් තමයි අපි නැගපු එකත් .හැබැයි මිට වඩා ගොඩක් ලොකු මහත ගහක්. ඉතින් අපි සෙල්ලම් කරන්නේ මේ ගහේ.
 ඔට්ටු සෙල්ලම් වගේ හැබැයි ගහෙන් බිමට බැහැලා දිවුවොත් අල්ලන කෙනාට ගහන්න පුළුවන් අනිත් කෙනාට රිදෙනකල් ..  

හෝ...දහය ..විස්ස...තිහ ..හතලිය කියලා ගැනලා ඉතුරු වෙන කෙනා තමයි අල්ලන්නේ ඒ කෙනා ගහමුලට වෙලා 20 ට ගැනලා අනිත් අයව අල්ලන්න පටන් ගන්නවා .. ගහමුලින් පටන් අරන් අත්තක් දිගේ දුවලා ,,බඩගාලා ,,,සුරගෙන බිමට පැනලා ...ආයේ ගහ මුලට ඇවිත් නැගලා බේරෙන්න තියෙන්නේ ..ඉතින් කවුරුහරි අහු වුණාම ඒ අහුවෙච්ච කෙනාත් අර මුලින් අල්ලපු කෙනා එක්ක එකතුවෙලා අනිත් අයව අල්ලනවා.. වටකරලා අලන්න එද්දී තමයි ඉතින් සෙල්ලම නියම හරිය.... සමහර අතුවල දිමි ඉන්නවා අම්මෝ එතකොට තමයි පයින්නේ එතැනින්ම බිමට.  

අනේ ඉතින් ඒ අවාසනාවන්ත දවසේ අහිංසක මම අත්තක් දිගේ දුවගෙන යද්දී ඉස්සරහිනුත් අල්ලන්න කෙනෙක් එනවා.. අපේ ගොබ්බයා :) ඊට පස්සේ එයාව වට්ටන්න මං ගහේ අතු හෙල්ලුවා..ඒකත් ෂෝයි වැඩේ ..ගස් වල දගලලා තියෙන අය දනනවා ඇති එක අත්තක හිටගෙන උඩ තියෙන අත්තේ එල්ලිලා අත්වලින් ගස්ස ගස්ස කකුල් වලින් අත්ත එක්කම උඩ පයින්න තියෙන්නේ.. ඒවා හෙනම ආතල් වැඩ..අපේ ගොබ්බස් වැටිල්ල කෙසේ වෙතත් උඩ අත්තක හිටපු දළඹුවෙක් මගේ අත උඩට වැටුණා..බයවෙච්ච පාර මං බිම .. බිම වැටුණු ගමන් නැගිටින්න බැරිවුණා කකුළ උළුක් වෙලා වගේ නිසා..

 අම්මරුවෙන් නැගිටගන්න අත බිමට ගහන්න හැදුවා අත මගේ නෙමේ වගේ ....ඒ වෙලාවේ අම්මගේ මුණ මතක් වෙලා මගේ ඇග සීතල වෙලා ගියා. ඔක්කොමලා බයවෙලා ඇඩුවා. වම් අත මැණික් කටුවට චුට්ටක් උඩින් ඉස්සිලා එක තැනකින් .. බලාගෙන ඉද්දි ඉදිමුණා...

අපේ කට්ටිය ඒ වෙලේ මොනාද කලේ කියලා මතක නැහැ , ඔක්කොම ඇඩුවා බයට..පස්සේ ආච්චි ... අම්මට කෝල් කරලා ත්‍රී වීල් එකක් අරන් වෙදමහත්තයෙක් ළගට ගියා ..හි හි ඉස්සර කොහෙද අනේ පාන් කියාගන්න බැරුව හිටපු අපිට ෆෝන්. 

අත කැඩුනට වඩා බය හොරෙන් පැනලා වෙච්ච දේ නිසා.. පස්සේ නැන්දා මොලේ පාවිච්චි කරලා මාව පත්තඩුවන වෙද මහත්තයා ළගට එක්ක ගියා.අනිත් සෙට් එක ගෙදර තියලා , ඒ වගේම ඉස්කෝලේ ඇරිලා එන වෙලාව පහුවෙලත් අපි ආවේ නැත්තම් අපේ අම්මට කියන්න කීවා ඉස්කෝලෙදි වැටිලා මගේ අත කැඩිලා ආච්චි ළගපාත නිසා ඉස්කෝලෙන් එයාව ගෙන්නලා මාව බෙහෙත් බඳින්න යැවුවා කියලා ..ඊට පස්සේ අහලපහල ගෙදරක ලොරියකින්තමයි මාව එක්ක ගියේ ..ත්‍රීවීල් ගැන මතකයක් නැහැ ඒ කාලේ..තියෙන්න ඇති ඒත් අද වගේ නැහනේ ..

මිනුවන්ගොඩ පොල්වත්ත කියන ගමේ මිනිස්සු වළං හදන්නේ ඉතින් බොහොමයක් ගෙවල් වල ලොරි තියෙනවා 226 - නිල්පාට එකක ගෙනිච්චේ මාව ..
ඒ වගේම තව දෙයක් මතක් වුණා ඉස්සර අපි පොල්වත්ත කියන ගමේ ළමයින්ට "බඩහැලයෝ" කියලා අපහස කළා... එයාලා වළන් හදන නිසා අඩුකුලේ කියලා.. අපේ ආත්තම්මලා අපේ ඔළුවලට දාපුවා තමයි ඒ..ඉතින් ඒ වගේ වලි වලට සෙට් වෙලා දවසක් සුදු ගවුමේ අතක් ගලෝලා ගත්තා ඒ ගමේ කෙල්ලෙක්,,, ඊට පස්සේ කාලයක් අපි ඒ පාරෙන් වත් ගියේ නැහැ හි හි ..පව් අපේ චැලිය මං වෙනුවට ගුටිකාලත් තියෙනවා...

හැමදේම හොදින් වුණා..අපේ කට්ටිය ගෙදර ගිහින් තිබුණා අපි එද්දී ,, මං මේ පෝස්ට් එක ලියනකල් මේ අත කැඩිච්ච සිද්දිය දන්නේ අපි හය දෙනයි ආච්චියි  විතරයි .. එදා අම්මා බයවෙලා හිටපු නිසා මං ලඟින් ආපු ගස් ගඳ එයාට ගානක් වුණේ නැහැ...මේ අත් දෙක කීපාරක් කැඩෙන්න ඇත්ද කකුල් කෙටිලා ,උළුක්වෙලා ඇත්ද..දැන් පුදුමයි ...ඇත්තටම ඒ දේවල් මතක් වෙන්නේ මේ වගේ ලියන්න ගත්තම...ඉතින් ඔන්න ඔහොමයි සිරීපාදේ ගිහින් ජෝඩු බලලා අත කඩාගත්තේ...

අන්නාසි කැලේ සීනි පේර කඩන්න රිංගලා පොළොන් හැවක් පෑගිලා වෙච්ච සිද්දියක් මතක් වුණා..හි හි  
.........................................................................
පළවෙනි කොටස කියවපු නැති කෙනෙක්ට මෙතනින් කියවන්න පුළුවන් පළවෙනි කොටස

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...