Wednesday, April 30, 2014

යොම් හෂිකරෝන් Holocaust Remembrance Day יום השואה(Yom HaShoah)

ලිපිය අවසානය තෙක් කියවා රූපය නැවත බලන්න.

යුදෙවුවන් කියන්නේ මහ පුදුම ජාතියක් ඇත්තටම පුදුමම ජාතියක්. මං ඔයාලට දවසක් කීවා යුදෙවුවන් ගැන නොදන්නා අයට සහ ඔවුන් ගැන හිත්වල යම් යම් ආකාරවල අදහස් දරණ අයට එයාල ගැන තව දැනගන්න ලියන්නම් කියලා. පියවරෙන් පියවර මං ලියන්නම්.

ඔයාලා දන්නවා දෙවන ලෝක යුධ සමයේ හිටලර් ගේ නාසි හමුදාව ඉතිහාසේ කවදාවත් නොවිච්ච විදියට මහා මනුස්ස සංහාරයක් සිද්ධ කළා. මියගිය ගණන ආසන්න මිලියන ගණින් තමයි අදටත් ගණන් හදන්නේ. 1933 -1945 කියන අවුරුදු 12 ක කාලසීමාව තුළ යුදෙවුවන් පමණක් මිලියන 6 ට වඩා වැඩි ප්‍රමාණයක් අමානුෂික විදියට මරලා දැම්මා. (ඒ වගේම දෙවන ලෝක යුද්ධය අවසානයේ සංගණනයන්ට අනුව ජර්මනියේ ජනගහණයෙන් 10 % ක් අඩුවෙලා ,මිය ගිහිල්ලා තිබුණලු.)

මිලියන 6ක් කියලා ගණන් කරලා කීවට ඒවා කජු ඇට හෝ කොස් ඇට නෙමේ මනුස්ස ජිවිත ලක්ෂ 60ක්. මේ ගණන තුල මේ ලෝකේ එළිය දැකපු නැති බිලිඳු කලලයේ  ඉඳලා මහල්ලා දක්වා සියළුම යුදෙව් මනුස්සයෝ හිටියා. මේ ව්‍යසනය නිසා මියගිය යුදෙවුවන් කදුළින් සිහිකරන්න හැම අවුරුද්දකම අප්‍රියල් මාසේ (යුදෙව් මාස ක්‍රමයට අනුව නිසාන් මාසය) පාස්කු උත්සවයට පසුව එන ඉරිදා දවස යුදෙවුවන් යොම්හශිකරෝන් සමරන්න යොදාගන්නවා. 1953 වසරෙදි අගමැති වෙලා හිටපු "ඩේවිඩ් බෙන්ගූරියොන්" මහතා තමයි මේ දිනය රජයේ ශෝක දිනයක් විදියට ප්‍රකාශයට පත්කළේ.( ඊශ්රායලයේ අන්තර්ජාතික ගුවන්තොටුපළේ නම බෙන්ගූරියොන්. අපේ බණ්ඩාරනායක මහත්මාගේ නම දාලා තියෙනවා වගේ. ඒත් ඒකෙන් එන්න හිතන්න නම් එපා හිරිඔතප් ඔක්කොම බිඳලා ,ඊයේ පෙරේදා කාපු බීපුවත් වමාරලා රට ඇතුලට ගන්නේ. ;) ඒ තරමට පරික්ෂා කරනවා.

මේ අවුරුද්දේ අප්‍රියල් 27 වෙනිදා ඉර බැසයනවාත් එක්ක යොම්හශිකරෝන් ජාතික උත්සවය පටන්ගත්තා.ඒ උත්සවය හැම ටීවී චැනල් එකකම සජීවීව විකාශය කළා.  ඊශ්රායල් අගනුවර ජෙරුසලමේදී ජනාධිපති සීමොන් පෙරිස් මහතා , අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සහ ආරක්ෂක අංශ වල ප්‍රධානින් ,ඒ වගේම 1933-1945 ඒ අසීරු කාලසීමාවේදී පුංචි දරුවෝ වෙලා ඉදලා අමාරුවෙන් ජිවිතේ බේරගත්ත අය සහ එයාලගේ පවුල් වල අය මේ උත්සවයට සහභාගී වුණා. උත්සවය මං සීයත් එක්ක ටීවී එකේ බැලුවේ. 

උත්සවය ආරම්භ වුණේ විශේෂිත ට්‍රම්පට් වාදනයක් එක්ක.ඒ වාදනයට සමගාමීව හමුදා නිලධාරියෙක් ඊශ්‍රායල් ජාතික කොඩිය අඩකුඹු  කළා (half mast). වැඩි ආලෝකයක් නැති තැනක තමයි මේ උත්සවය පැවැත්වුණේ. අගමැති තුමා සහ ආගමික නායකයන් කීපදෙනෙක් කතා පැවත්තුවාට පස්සේ තව විශේෂිත වයලින් වාදනයක් තිබුණා. මං ජිවිත කාලෙටම අහලා තිබුණේ නැහැ එහෙම වයලින් වාදනයක්. මහා වැලපීමක්,මොරගැසීමක් ඒකෙ තිබුණේ. වයලින් වාදනය අවසානයේ වේදිකාවක් වගේ තැනක ලොකු ගෑස් පහන් 6ක් පත්තු කරන්න නියමිතව තිබුණා.  පහන් 6ක් පත්තු කරන්න හේතුව විදියට සීයා කීවේ නාසි සිරකඳවුරු වල මියගිය මිලියන 6ක් වෙච්ච යුදෙවුවන් සිහිකිරීමක් විදියටයි කියලා.මිලියනයට එක බැගින්.

Sunday, April 27, 2014

පොරබැදීම

මං මහලොකුවට දුක කඳුළ නැමති දුෂ්ටයන් පරාජය කර සිනාසෙමි කීවට දැන් ඒ වචන මටම හිනාවෙනවා...දුක ඔත්තුබලලා බලලා කදුල ඇවිත් පහර දීගෙන යනවා....



මේ ෆොටෝ එකේ ඉන්න කෙනා වගේම මං මේ දවස් ටිකේම ඇඳ උඩ අතපය විසිකරලා දාලා නිදාගත්තා..ලිපි ලියන්න දේවල් ගොඩක් පහුගිය ටිකේම එකතු වුණා.ඊශ්‍රායලයේ මගුල් ගෙයක් ගැන....ඒ වගේම යුදෙවුවන්ගේ පාස්කු උත්සවය (පේසක්) ගැන.. තව ලංකාවේ ගතකල දවස් කීපය ගැන.ඒත් මටම තේරුම්ගන්න බැහැ.කිසිම දෙයක් ලියන්න හිතෙන්නේ නැහැ.මං ආස නැහැ මෙහෙම වෙන්න.මට ඕනේ ලියන්න.ඒත් මං ඕනෙවට වඩා හිතන්න අරන් මේ තනිකම ගැන.සීයව මට පේන්නේ යකෙක් වගේ. තනියම මංම කොඳුර කොඳුරා තිත්තකම වැඩිකරගන්නවා. 

ඕනෙවට වඩා හිතන්න ගියාම පිස්සු හැදෙනවා කියලා පොඩිකාලේ ඉඳලම අහල තියෙන නිසා තනියම හුඟ වෙලාවක් කල්පනාකරන ගමන් චෙක් කරලා බලනවා...බොරුවට හිනාවෙලා බලනවා..කණ්නාඩියෙන් බලනවා.පිස්සු නැහැ කියලා සැක හැර දැනගන්නවා ආයේ හිතනවා.

මාසයක් ගෙදර අයත් එක්ක ඉඳලා අපු එක නිසා තමයි මං මෙහෙම හැසිරෙන්නේ කියලා මටම මගේ ඇතුලේ ඉඳන් ටිකක් කල්පනාවෙන් ඉන්න කෙනෙක් කීවා..පොඩිකාලේ ඉදන්ම මගේ හිත කාරණාවක අන්තෙටම ගිලෙන්න හදද්දී ඒ කෙනා තමයි නවත්තන්නේ, වගේම සීමාවන් තේරුම් ගන්නන්නේ ..

ලංකාවට ගිය වෙලේ මගේ ප්‍රොෆෙසර්ගෙන් තෑගී හම්බුණු පොත් අතර තිබ්බ "your mind and how to use it "කියන පොත කියවන්න සුදුසුම  පරිසරය අන්තිමට ඔය දේවල් නිසා සකස් වුණා.   
-----------------------------------------------------------------------------
මාසයක් ලිපි නොලියා ඉඳීමෙන් කීපදෙනෙක් සිදුකළ මරණ තර්ජන හමුවේ මෙවැනි පෝස්ට් එකක් හෝ පලකරන්න ශක්තිය ගත්තේ ස්තුතී...

ඔන්න පහුගිය ටිකේ බලපුවා.. හි හි :) 


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...