Monday, April 6, 2015

වැඩිහිටියන්ගේ අපූරු ලෝකය


"අපිට තමයි වතුර පනිට්ටුවක් වත් ඇදලා දෙන්න බැරි!!! 
 තුන්සිය හැටපස්  දවසෙම ඔය ඉන්නේ අපුරුවට නාකියෙක් එක්ක" 
 ස්කයිප් එකෙන්   අම්මා එක්ක ජොබ් එකේ අමාරුකම් කියද්දී  ආච්චි අම්මා  නිතර මට නෝක්කාඩු කියනවා ඔය විදියට. ඒත් ඒක ඇත්ත නෙමේ  ලංකාවේදී මං නිතරම ආච්චි අම්මට සීයට උදව් කරා. 
වතුර  ටැප් කරලා තිබ්බට ආච්චි අම්මට  ඕනේ පල්ලෙහා තියෙන ලිඳෙන් අමාරුවෙන් ඇදලා නාන්න. 
"මොටරේ  ඇතුලෙන් එන ජරා වතුර  මට නාන්න ඕනේ නැහැ "එයාගේ උත්තරේ.
එයාට නාන්න ඕනේ වුණාම කරන්නේ වේලාසන ඉඳලම ඇඳුම් ,සබන් ,පනිට්ටුවක් එහෙම ගේ ඉස්සරහින් තියලා  අපි හැමෝගෙන්ම අහනවා කවුද එන්නේ මට වතුර ඇදලා දෙන්න? අපේ මල්ලි  කරන්නේ "අම්මා කඩේ යන්න කිවුවා ගිහින් ඇවිත් නාවන්නම් " කියලා මාරුවෙලා මාමගේ පුතාව හරි දුවව හරි කාවහරි   අපේ ගෙවල් පැත්තට එවන එක.. ඉතින් ආච්චි අම්මා එයාලගෙනුත් අහනවා.ඔය අතරින් කවුරුහරි කැමති වුණත් ආයේ එයා කියනවා "දැන්ම නෙමේ තව පැය කාලකින් විතර වරෙන් පුතේ " ඕක  දන්න නිසාම අපි හැම තිස්සෙම කියනවා  "ආ එන්න එන්න  ආච්චි අම්මේ මේ දැන්  යන්  "කියලා . 
ඇත්තටම  ඒ කාලේ ආච්චි අම්මා කරන වැඩ අපිට දිරවුවේම  නැහැ, එයාටත් එහෙමයි නිතරම අපේ වැරදිමයි දැක්කේ..
ඒ කාලේ අපිට විතරක් නෙමේ අපේ අම්මලට ,පුංචි අම්මලට පවා ආච්චි අම්ම කියන සමහර කතා අහන් ඉන්න බැහැ. ආච්චි අම්මා තාමත් ඒ වගේම තමයි. 
ඒ කාලේ මට තේරුම් ගන්න බැරිවෙච්ච ආච්චි අම්මව දැන් හොඳට තේරෙනවා. මගේ රැකියාව නිසා ජීවිතේට ලැබෙන්නේ සල්ලි විතරක් නෙමේ.මහ පුදුම අත්දැකීම් ගොඩක්... දරාගන්න බැරි තරම් කටුක තැන් වලදී අඬලා පහුවදා ඉදන් ඒ මට්ටමෙන් එහා කටුකත්වයට මං සුදානම් වෙනවා.
ඔයාලට මතක ඇති ඉවසන සෙල්ලම කියලා පෝස්ට් එකක් ලිවුවා "බීතොන්" ගැන. එයා මගේ ජිවිතේ ගොඩක් දේවල් උගන්නපු ,ශක්තිමත් කරපු කෙනෙක්.නමුත් අවුරුදු එකහමාරක් එකට ජිවත් වෙලා ඒ සීයව  දාලා එන්න හිත හදාගත්තේ  ඝෝෂාකාරී  ටෙලවිව් නගරයෙන් ඈත් වෙලා ජිවිත කාළය පුරා ආස කරපු ඊශ්‍රායලයේ අනන්‍යතාවන් ඇස් වලින් දැකගන්න.
සිවිලියා ඩේවිඩ් ,
ස්ලෝමෝ බීතොන්, 
කර්මේලා ෆල්ක් , 
ඔzනාත් තෝර්ජමන්,
කල්‍යාරා  පෙරීසි, 
එලිශෙවා කවුෆ්මාන්(වර්ථමාන)

මේ හය දෙනා වසර 3ක කාලයක් ඇතුළත මගේ ජිවිතේ ගොඩක්  වෙනස් කළා. වටිනාදෙවල්  එකතු කළා වගේම ජිවිතේ අපායක් කියලා හිතෙන දේවල් කළා...සිවිලියා ඩේවිඩ් එක්ක මං අන්තිමට කතා කල වචන ටික ඔබටත් මතක හිටීවි මට වගේම.
"දෙකට කපලා ජනේලෙන් එළියට විසිකරනවා තමුන්ව" ඒ කථාවට බය වෙච්ච ඩේවිඩ් 
"කරුණාකරලා මට පුතාගේ ෆෝන් නම්බර් එක ඩයල් කරලා දෙන්න එයාට මේ ගැන කියන්න ඕනේ"
 කිවුවා .මාත් පුතාගේ නම්බර් එක ඩයල් කරලා දුන්නා.(ඉයර් පීස් එක වැඩිකරලා දුන්නේ මටත් අහගන්න ඕනේ නිසා )මං කියපු කථාව ළුණු ඇඹුල් සමග පුතාට කියද්දී පුතා හිනාවෙලා නිකන් හිටියා. එතනින් ආයුබෝවන් කියලා ආවට අදටත් මං දුක් වෙනවා. ඒ අර ගෙදරදී ආච්චි අම්මා එක්ක රණ්ඩු වේවි ඉඳලා ආපු අවබෝධයක් බරක් පතලක් නොතේරිච්ච දවස්.

තමන්ට වඩා තුන් ගුණයක් විතර වයසින් වැඩි.... අවුරුදු අසු පහ අනුව ඉක්මවූ කෙනෙක් එක්ක තනිව එක ගෙදර හැම  මොහොතක්ම එකට ජිවත් වෙන එක ලේසි දෙයක් නෙමේ..
ගමේ කොල්ලෝ එක්ක වලබැහැපු, හැම වලියකටම සෙට් වෙච්ච, මියුසිකල් ෂෝ , ක්‍රිකට් මැච් එක්ක ජිවත් වෙච්ච කොල්ලෙක්ව එක දවසක අල්ලගෙන ගිහින්  මහන කරලා සිවුරක් ඇන්ඳුවොත් මොනවගේ දැනෙයිද?? මටත් වුණේ ඒ වගේ දෙයක්... 
දවස පුරාම බයික් එකෙන් එහෙ මෙහෙ ගිය, සද්දෙට අඩි තියලා ඇවිදපු මං තට්ටු ගාණක් උඩ තිබ්බ  ජනේලයක් ,දොරක් අරින්නේ නැති ගෙදරක අවුරුදු 88 ක සියෙක් එක්ක.


ඉහතකී  පුද්ගලයන් හය දෙනා සමග මගේ අත්දැකීම් ලියන්න නෙමේ  මට අවශ්‍ය ඒ අය සමග ජිවත් වීම තුළින් වැඩිහිටියන්ගේ සිතුම් පැතුම් ,ආශාවන් ,හැසිරීම් ගැන සහ ලෝකයෙන් ඔවුන්ට තවත් ලැබිය යුතුයැයි මා විසින්  තනිව කල්පනා කල දේවල් ඔබ සමග බෙදා ගැනීමටයි මට අවශ්‍ය. 

ඔබ සමහරුන් දන්නවා ඇති  "ඩිමෙන්සියා(Dementia )සහ අල්සයිමර් (Alzheimer)" කියන තත්වයන් ගැන. ඉහත ලින්ක් වලින් වැඩිදුර විස්තර අවශ්‍ය අයට තොරතුරු කියවන්න පුළුවන්.කෙටියෙන් කීවොත්  ඩිමෙන්සියා කියන්නේ පුළුල් පරාසයක පැතුරුණු මොළයේ රෝග තත්වයක්..එහි රෝග ලක්ෂණ වෙන්නේ ක්‍රමක්‍රමයෙන් සිතීම සහ මතක තබාගැනීමෙන් හැකියාවන් දුර්වල වී යාම...ඩිමෙන්සියා විවිධ අවධි සහ මට්ටම් කීපයකට බෙදා දක්වලා තියෙනවා. අල්සයිමර්  ඉන්එහා ගිය තත්වයක් ඩිමෙන්සියා රෝගීන්ට වඩා අල්සයිමර් රෝගීන් ගේ තත්වය අසීරුයි. ඔවුන්ගේ මොළයට විශාල ලෙස හානි වී අවසන්. 


 අල්සයිමර් තත්වයේ ඉන්න කෙනෙක්ට එයා කරන කියන දේ ගැන මතකයක් අවබෝධයක් නැහැ. අඩුගානේ එයා කාපු බවවත් එයා දන්නේ නැහැ.අතීතයේ යම් යම් මතක වර්ථමානයට ඒම සහ  වර්තමානයේ තමන් කරන කියන දේ සහ තමන් කවුද කියන දේ අමතකවී යාම කොච්චර අවාසනාවන්ත කාරණාද.

දැනට මං රැකියාව කරන එලිශෙවා වයස අවුරුදු 88 ක ආච්චි අම්මා කෙනෙක්. අවුරුදු 12 දී  ජර්මනියේ ඉදලා මේ රටට ආපු එලිශෙවාගෙ අම්මා තාත්තා අයියා අක්කා මුළු පවුලම දෙවන ලෝක යුද්ධ සමයේ හිට්ලර් ගේ වධකාගාර වලදී ජීවිතේට සමුදුන්නා.  මීට අවුරුදු 2කට  කළින්  ඇය විසින් සියළුම චායාරූප සහිතව තමන්ගේ ජීවිත කතාව ලියලා පොතක් පළකරලා තියෙනවා.
අම්මා තාත්තා නැතුව තනිවම ජිවිතේ පටන් ගත්ත එලිශෙවාගේ කථාව පසුව ලියන්නම්.

පස්සේ ලියන්නම් කීවට ලිපිය අවසන් කරන්න කලින් එලිශෙවා පාස්කු දවසේ කරපු දෙයක් ලියන්න හිතුණා. සෙනසුරාදා අපි දෙන්නා දුවගේ ගෙදර ගිහින් ඇවිත් හවස නිදාගද්දී 4 යි වෙලාව.වෙනද නම් 2 ට නිදාගන්නවා. හවස 6 ට ඇහැරවන්න කියපු නිසා එයාගේ කාමරේට ගියත් පොඩි එකෙක් වගේ නිදන් ඉන්නවා දැක්කම මට ඇහැරවන්න ලෝබයි. ආයේ සැරින් සැරේ බලලා බලලා අන්තිමට රෑ 7 ට කතා කළා.  නැගිට්ටට 7.30 වෙනකල්ම ඇඳේ ඉඳලා 7.30 ට තමයි මුණ කට එහෙම හෝදන් කිචන් එකට ආවේ.
හවස් වෙච්ච නිසා එයාට රෑට දෙන කෑම දීලා රෑට දෙන බෙහෙත් දීලා බොන්න කිවුවම වෙලාව බලලා එහෙම එලීශෙවා කියපි
"ඕවා රෑට බොන බෙහෙත් තාම උදේ 8.30 යි "

"නෑ නෑ මේ රෑ ...ඔයා නිදාගත්තා වැඩි අද ඒකයි ඔය"

එයා ඉතින් නෑම තමයි කියන්නේ. මං ඊට පස්සේ කිචන් එකේ ලොකු ජනේලේ ඇරලා කිවුවා
"හරි වැඩේ තමයි තාම ඉර පායලා නෑ මාර කරුවලයි ඇයි දන්නේ නෑ දැන් 8.30 ත් වෙලා" 

ඊට පස්සේ කිසි සද්දයක් නැතුව එයාම බෙහෙත් පෙති දෙක අරන් බිවුවා.මං මොකුත් නොවුණා වගේ සාමාන්‍ය විදියට කතා කළා ඊට පස්සේ.
......................


 ළමා ලෝකය ,පෙම්වතුන්ගේ ලෝකය වගේම ආච්චිලගේ  සීයලාගේ ලෝකයත්  හරිම සුන්දරයි. බැලූ බැල්මට පේන්නේ තිත්ත අන්ධකාරයක්. ඒත් අපිට පුළුවන් එයාලව තේරුම් අරන් එයාලට සතුට දෙන දේවල් කරන්න. වයසට ගියාම මිනිස්සු පොඩිලමයි වගේ වෙනවා කියලා පහුගිය දවසක අපේ tv එකේ කීවම එලීශෙවා මට කිවුවේ ඒ කථාව අර්ථ විරහිතයි කියලා.
එලීශෙවාගේ පැහැදිළි කිරීම මේ තියෙන්නේ
"පොඩි ළමයි නොදන්න කමට හැමදේම වේගයෙන් ඇදලා දානවා. ඒත් වයසට ගිය කෙනෙක්ට අත දරුවෙක් වගේ වේගයෙන් එක එක දේවල් කරන්න බැහැ...හිමින් හිමින් කරන්නේ..ඒ වගේම දෙයක් වැටුණොත් කැඩුනොත් ඒ දේ වෙන්නේ නොදන්න කමට අත පත ගාන්න ගිහින් නෙමේ හරියට අල්ල ගන්න වාරු නැතිකමින් ශක්තිය මදි කමින්"...

_මතු සම්බන්ධයි -



81 comments:

  1. මම නම් වයසට යන්නෙ නෑ.
    වෙන කොහේ හරි යන්න හිතන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. වයසට යන්නේ නැතුව ඉන්න මාත් ආසයි ඇනෝ.

      Delete
  2. අවුරුදු 12 දී ජර්මනියේ ඉදලා මේ රටට ආපු එලිශෙවාගෙ අම්මා තාත්තා අයියා අක්කා මුළු පවුලම දෙවන ලෝක යුද්ධ සමයේ හිට්ලර් ගේ වධකාගාර වලදී ජීවිතේට සමුදුන්නා. ??????

    Auschwitz : http://transyl2014.blogspot.ca/2015/01/auschwitz.html

    ReplyDelete
    Replies
    1. ස්තුතී ගිහින් කියෝලමයි ආවේ.. මාරක් දුම්රිය ගැන එළිශේවාගේ මතකයන් ගැන කියවද්දී දැනේනේ අද ඊයේ දෙයක් වගේ

      Delete
  3. අපෙ මාමණ්ඩිත් ඔයාගෙ ආච්චි වගේ.පයිප්ප අරහං. ගේ පිටිපස්සෙ අලි ටැංකියක් හදලා ඒකට වතුර පුරවලා ඒකෙන් නෑවෙ. මගෙ පොඩි කෙල්ල සීයාට හොරෙන් ඔය වතුර ටැංකියට බැහැලා නානවා. සමහරදාට එයාවත් අර ටැංකියෙන්ම නාවනවා ගණන් කර කර.

    ReplyDelete
    Replies
    1. ඒහැටි වයසට යද්දී එයාලට ඕනේ අනිත් අයට පෙන්නන්න මං වෙනස් වෙලා නැහැ මන් ශක්තිමත් ,මට ඕනේ දේ මන් කරන්නේ කියලා,,,

      Delete
  4. ඔබ දක්වා ඇති රෝග සෑදීම කෙරෙහි හරක් මස් අනුභවයේ යම් සම්බන්ධතාවක් තිබෙනවා කියා මා අසා තිබෙනවා. අද මේ වගේ රෝග වඩාත් පැතිරෙමින් පවතින්නේ විවිධ හේතු නිසා බව පෙනෙනවා. අපේ පැරණි ආර්ථික හා සාමාජික රටාව අනුව වැඩිහිටියන් මෙලෙස තනිවුනේ නැහැ. නමුත් අද ජීවත්වීමේ යුද්ධයට මුහුණදී සිටින නිසා තම දෙමව්පියන් පවා අමතක කරන තත්වයක් ඇතිවී තිබෙනවා. එයට විසඳුමක් ලෙස තමයි මෙලෙස ඔවුන් බලාගන්නට කෙනෙක් යොදවන්නේ. එය රැකියාවකට වඩා සේවයක්.

    මේ දිනවල මගේ මිත්‍රයෙකුත් මේ සේවයෙම යෙදෙනවා. පාන්දරින් සේවයට යන ඔහු එන්නේ මහ රෑ බවත්, බ්ලොග් ලිපියක් කියවන්නවත් වෙලාවක් නැති බවත් කිව්වා. ඔහු ඉතා වැදගත් කරුණක් කිව්වා. ඔහු බලාගන්නා පුද්ගලයාගෙන් විවිධ ශාස්ත්‍රීය කරුණු ඉගෙනගන්නට ලැබෙන බව. මා හිතනවා මෙවැනි පුද්ගලයන්ගේ ඇසුර ඔබටත් විශ්ව විද්‍යාලයකින් ලබන්න බැරිතරම් දැණුමක් ලබාදෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. හරක් මස් කෑමේ සම්බන්ධයක් ඇත්දැයි මං ඇත්තටම දන්නේ නැහැ. නමුත් තියෙන්න පුළුවනි. ඇත්තටම විචාරක තුමණි මේ රටේ නම් ආර්ථික ප්‍රශ්න වලට වඩා දෙමාපියන් තනිව තබන එක සිරිතක් වගේ වෙලා ඔවුනුත් ඒකට කැමති,, දරුවෝ නිතර හොයලා බලනවා.. අනිත් දේ අපේ රටේ ආයුෂ කාළය අඩුයි මෙහෙට සාපේක්ෂව මෙහෙ අවුරුදු 90 න් එහා බොහෝ දෙනෙක් ජිවත් වෙනවා ඒ නිසා ඔවුන්ගේ දරුවන් ඒ වෙද්දී සීයලා ආච්චිලා ඔවුන්ට වෙනම වගකීම් තියෙනවා ..

      ඔව් ඔයාගේ යාළුවා කියපු දේ හරි මෙයාලගෙන් ඉගෙන ගන්න දේ බොහොමයි

      Delete
    2. පිස්සුද විචාරක, අපේ ආච්චි කරවල හාල්මැස්සො විතරයි කෑවෙ.
      91 ක් ඉඳල මලා. අන්තිම අවුරුදු දෙක තුනේ ඔය දෙකම තිබුනා මම හිතන්නෙ

      Delete
    3. අපේ ආතා දිනපතා හරක්මස් කෑවා , දැං නං ඔය නැන්දල මාමල තලෙයිබාන් බුදුදාගං කාරයෝ වෙලා ගේ හරියේ ගේන්නැ , ආතා ඔය ඉන්නේ යසට සොලෝකත් කිය කිය

      Delete
    4. හි හි තලේබාන් බුද්දාගම් කාරයෝ :)

      Delete
  5. වයසට ගිහාම එයාලා අමුතු වෙනවා. හරියට කේන්ති යනවා. කියන දේවල් පිහියෙන් අනිනවා වගේ. ඒත් ඒ අය විශාල බියකින් පසුවෙන්නෙ. දැන් ජීවිතයේ අවසාන හරිය කියලා. අනුකම්පා කල යුතුමයි.
    මේ... මටත් ඇල්සයිමර්ද කොහෙද? මේ දැන් කරපු දේ මේ දැන් මතක නෑ. හැබැයි කාපු බීපුවනං හොඳට මතක හිටිනවා.

    ReplyDelete
    Replies
    1. ///වයසට ගිහාම එයාලා අමුතු වෙනවා. හරියට කේන්ති යනවා. කියන දේවල් පිහියෙන් අනිනවා වගේ./// අම්මෝ මේ අපේ ආච්චි අම්මා ගැනද ? මන්දා

      මධු අපි දැන් සීයලා ආච්චිලා කියන අය අතිතේ අපි වගේ දගලපු නටපු අය... හිතන්න තව ගැඹුරින්

      Delete
  6. මලේ යාළුවෙක්ගේ ආච්චි කෙනෙක් හිටියා....එයාත් ඔය වගේ...අනික් ලමයි ආවම කියනවා කන්ඩ දුන්නේ නෑ කියලා....මේ කනවා...මේ මතක නෑ...

    ReplyDelete
    Replies
    1. පව් එයාට අමතක නිසා ඔහොම කියන්නේ . අපේ ආච්චි දරුවෝ කෝල් කලාම තනිකර කියන්නේ බොරු ඒත් එයාලා දන්නවා ඒ අමතක නිසා කියලා. ස්තුති ඊලග ලිපියට මේ කරුණු වැදගත්

      Delete
  7. මට මගේ කිරිඅම්මව මතක් උනා.එයා තමයි මගෙ ජීවිතේ මට ලැබුනු එකම වයසක කෙනා.මට හරියට තේරුම් ගන්න බැරි උනා.ලිඳෙන් වතුර ඇදලා බේසමට දාලා හරියට ගණන් කරලා ඒ ගානම විතරක් නානවා..පෙනෙන්නෙ අනිත් අයගෙ වැරදිම විතරයි.. හොඳටම අසනීප වෙලා ඔත්පල උනාමත් මට තරහ ඇවිත් හිටියෙ... එක දිගට කියවන නිසා නින්දක් නැතිව දවස් ගානක් ඉඳලා මම හිත හදා ගත්තා පහුවදා උදෙන්ම මල් ටිකක් කඩලා අත ගස්වලා පූජා කරනවා කියලා.එතකොටයි මට නින්ද ගියේ.ඇස් පියවෙනකොටම අම්ම කෑ ගැහුවා.... එයා ගිහින්... ඔයාගේ මේ කතා පෙල ගොඩක් වටිනවා.. එයාලව තේරුම් ගන්න..

    ReplyDelete
    Replies
    1. ඔය කියපු ලක්ෂණ එයාලා දරදඩු කමට හෝ අපි එක්ක තරහකට නෙමේ එයාගේ වයසේ වැරැද්ද.. හි හි ඔත්පල වුණාට පස්සේ එයාට ඕනේ දේවල් කරන්න බැරි නිසා කටින් තමයි සේරම ...

      ඔයාගේ කතාව නම් සංවේදී ගොඩක්,, ස්තුති

      Delete
  8. මමත් හිතාගෙන ඉන්නවා මෙහෙ වැඩිහිටි අයව බලාගන්න නර්සින් හෝම් එකක් පටන් ගන්න සීයලට ආචිචිලටතියෙන ආදරේට (නෙවි සල්ලිවලට තියෙන ආදරේට)............

    ReplyDelete
  9. මට මේ ලිපියෙන් ලැබුන ලොකුම ප්‍රයෝජනේ මමත් ඇල්සයිමර් රෝගියෙක් බව අවබෝධ කරගන්න ලැබීමයි!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අල්සයිමර් අයට භාෂා හැසිරවීමේ හැකියාව නෑ... මැරිලා වැටිච්ච බස්සෙක් ගැන මගේ මතකයක් තියෙනවා ඒ ගැන ලිපියක් ලියන්නම් බස්සි,, මෙතන කීවොත් බස්සිට හොඳ නැහැ සීන් එක

      Delete
    2. අල්සයිමර් රෝගයේ මුල් අවස්ථාවෙදි භාෂා හැසිරවීමේ හැකියාව තියෙනවා. ඒ අවස්ථාවෙ වෙන්නේ කෙටි කාලින මතකය අහිමි වීමයි. (short term memory loss)

      Delete
  10. අල්සයිම නං බොහොම භයානකයි. කොටින්ම මලා වගේ තමයි. ඩිමෙන්ශියා නං එච්චර අවුල් නෑ. කොහොම උනත් හොඳ අත්දැකීමක්.
    හැබැයි හොඳ අත්දැකීමක් කියල කිව්වට 24*7 ඉන්න එකත් සෑහෙන අමාරු වැඩක් වෙන්න අැති

    ReplyDelete
    Replies
    1. හි හි ඒත් මලාවගේ ඉන්න අය එක්ක ඉන්න ලේසි ඩිමෙන්සියා අය එක්ක ඉන්න හරිම අවදානම්.. දවස් 3ක් එක දිගට මන් නිදාගත්තේ නැහැ ක්ලාරා එක්ක,, රෑට ඇඳුම් ටික ගලෝලා දාලා ගිහින් ෂවර් එක ඇරන් ඉන්නවා.. පෑන්ටිය පිටින් ගිහින් පාර අයිනේ තියෙන බංකුවේ ඉදන් ඉන්නවා හම්මේ එයාලා කරන්නේ ඇම්ඩන් වැඩ ඔලුව විකාර වෙනවා රාජ් අයියේ

      Delete
  11. අපේ ආතා පවසන දේවල් එයාට මතක ඇති දේවල් බැලුවාම පුදුමයක් දැනෙනවා. ඩිමෙන්ෂීයා තත්ත්වය සම්බන්ධ සමහර ලක්ෂණ කලාතුරකින් පෙන්නුවත් නවීකරණය වෙන සිතිවිලි දිහාබැලුවාම පුදුමයි. මාර්ටින් වික්‍රමසිංහයන් ගේ අවසන් සමයේ ලේඛන තරුණ අදහස් තිබූ ඒවා.

    ඒත් අපේ කිරිඅම්මා නම් ඔමාට හමුවුන අයවගේ අපූරු ලෝකයක හිටියේ. එයාට උනුවතුර නාන්න ඕන හැබැයි ගෙයි පිටුපස ගල්තුනක් තියල ලිපක් හඳල දරවලින් ගිනිමෙලෙව්ව ලිපක මුට්ටියක් තියල උනු කළොත් විතරයි පිළිගන්නෙ. ඉතින් අපි හුඟක් වෙලාවට හිනාවෙවී කිරිඅම්මා එක්ක රන්ඩුවෙවී ඒ කරදර වින්දා. වැඩිහිටියො අපූරු අය තමයි. ආතගෙ තියෙන්නෙ තරුණයන්ටත් ගැලපෙන අදහස්වගේ උනත් සමහර වෙලාවට කියාගන එන දේ වෙනපාරකට හැරෙනවා හරියට කේන්තියනවා. ඩිමෙන්ෂීයා මුල් අවදිය වෙන්න ඕන නේද ඔමා

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිමෙන්සියා අවදි තුනකට බෙදලා තියෙනවා ,මුල් අවදියේ ලක්ෂණ තමයි ආතට තියෙන්නේ,, ඒත් ප්‍රශ්නේ තමයි මේ රෝගයන් එකෙක් කෙනාට තියෙන්නේ එක එක විදියට. ඔයාගේ අතා වගේ තමයි මගේ දැන් එම්ප්ලෝය්ර් එයාට 88 උනාට මට වඩා හොඳ මතකයක් තියෙනවා සමහර දේවල් ඒ වගේම හොඳ අදහස්, මගෙන් fb එක ගැන පවා අහනවා .. ඒත් තේ එක හදලා දුන්නට පස්සේ මගෙන් අහනවා මොකක්ද මේ ? මොනාද මේ? තව සුළු සුළු දේවල් මෙයාට මොලේ සහ කල්පනාව වැඩි නිසා මට පිස්සු හැදෙනවා වෙලාවකට..

      අපි එයාලට යටහත්ව ඇහුන්කන් දෙන්න ඕනේ, අනුකම්පාව දක්වනාවට එයාල කැමති නැහැ,

      Delete
  12. ඇත්තම කියනවනම් ඔමාගෙ රැකියාව ගැන අපේ හිතේ මැවෙන්නෙ මෙහෙම චිත්‍රයක්. කිසිම කායික හෝ මානසික වෙහෙසක් නැතිව , කිසිම වගකීමක් නැතිව ,ඔහේ කමින් බොමින් තමන්ගෙ වැඩක් කරගනිමින් කරන ජොබක් විදියට. වයසක මිනිස්සු ඒ අයගෙ පාඩුවෙ ඉන්න නිසා කකා බිබී බ්ලොග් වල බුකියෙ සැරිසරමින් පඩිගන්න වාසනාවන්ත ජොබක් විදියට.
    ඒත් ඒක ඇත්තම නෙමෙයි කියල දැන් තේරෙනව
    ඔය ඇල්ෂයිමර් වගෙ රෝගවලට මුහුණ දෙන රෝගියෙක් බලාගන්න වුනොත් ලොකු ප්‍රශ්නයක්.

    මේ වයසක අය කියන්නෙ දැනුම් කෝෂ්ඨාගාර.අත්දැකීම් සම්භාරයක් ඇති අය. ඔවුන්ගෙන් ඔබට ලැබෙන දේ බොහොමයි.ඔවුන් අපේ රටේ අය වගෙ නොවෙයි .මාහාචාර්යවරු , යුධනායකයො , ව්‍යාපාරිකයො වගෙ වැඩකාරයො ඉන්න පුළුවන්.
    මේ අත්දැකීම් අපි එක්ක බෙදාගැනීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. හම්මේ නිකම්ම නම් තමයි ඉන්නේ ඒත් මේ ජොබ් එකේ තියෙන වගකීම මෙච්චරයි කියන්න බැහැ මමී. මේ මුළු ගෙදරත් සියළුම කළමනාකරණ වැඩත්. ඒ හැමදේටම වඩා මේ වයසක අය අපිට දෙන මානසික වදය හරි අමාරුයි ඉවසන්න.. සල්ලි කොච්චර හම්බුනත් බිත්ති හටහරක් ඇතුලේ මේ වගේ කෙනෙක් එක්ක ජිවත් වෙන එක ඉතාම අපහසුයි..

      ඔබ කියා තිබෙන සියලුම කරුණු සත්‍යයි.... ඉදිරියට තව ලියන්නම්

      Delete
  13. පිං සිද්ද වෙන රස්සවා

    ReplyDelete
    Replies
    1. කුරුටු.. හ්ම්ම්ම් ඒ වගේම පව් පුරෝගන්නත් තෝ තැන්නක්

      Delete
    2. ඒක අැත්ත ඔමා..... අසරණ වෙච්චි මිනිස්සුන්ට උදව් කිරීම කියන්නේ වෙනත් පව් ගානක් වුණත් මැකිලා යන හේතුවක්...... ඒ නිසා පව් අඩු වෙයි....

      Delete
  14. වයසක අයට කෙටි කාලීන මතකය නැති වුනාට දිගුකාලීන මතකය තියෙනවා. ඒකනේ ඉස්සර දේවල් හොඳ මතකයෙන් කියන්නේ. කොහොම වුනත් අපි හුඟක් ඉවසිලිවන්තව එයාලාව තේරුම් ගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් තුෂ් ඒක අපිට හරිම අමාරු වැඩක් නමුත් ඒක කරන්නම ඕනේ

      Delete
  15. අත්දැකීම නම් හොඳයි තමයි. ඒත් ඉතිං ඔය වගේ දේවල් කරන්න පුළුවන් එක්තරා පිරිසකට විතරයි. මගේ බිරින්දෑත් වයසක අයට උදව්පදව් කරන්න බොහොම කැමති කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ඒත් තිසරයියේ ඒ එක්තරා පිරිස හැරුණුකොට අනෙකනුත් වයසට යන්න සුදානමින් ඉන්නේ.. ඒ නිසා හැමෝම ඒ ඉවසිල්ල පුරුදු වෙන්න ඕනේ,, මන් උත්සහ කරනවා ඒ ගැන ලිපි කීපයක් ලියන්න

      Delete
  16. ඇත්තටම අපිට හිතන්න දෙයක් ඉතුරු කරල. අක්කගෙ රැකියාවෙ අත්දැකීම් අස්සෙන් ලොකු වැදගත් කතාවක් කියල තියෙනව. ආච්චිල සීයල ගැන අපි මීට වඩා අවධානයෙන් ඉන්න ඕනෙ. ඒ වගේම එයාලගෙ ජීවිත අත්දැකීමෙන් දෙන උපදෙස් ගොඩක් වටිනව. අන්තිමට තියෙන එලීශෙවාගේ පැහැදිළි කිරීම සමග මාත් එකඟ වෙනව. ඔමා අක්කගෙ අත්දැකීම් මේ විදිහට බෙදා ගැනීම හොඳයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එලිශේවා ගොඩක් බුද්දිමත් කෙනෙක් ස්තුති මනා

      Delete
  17. අනේ මන්ද අක්කි.......මගෙ ආච්චියි සීයයි ළිද ලග ලොකු කළු ගල් තුනක් උඩ......ලොකු කල්දේරම් කියන භාජනයේ දරවලින් වතුර උණු කොරල....ලිද ලගම තිබ්බ සිමෙන්තියෙන් බැන්ද ටැංකියට දමල.....ඇල් වතුර ගානට රස්නය එන්න මුහු කොරල තමයි නෑවේ ......කවුරුත් නෑව්වේ නැහැ....ආච්චි 90 පන්නලත්....සීය සෙන්චරිය පන්නලත් නිවන් ගියා.......දිවිය ලෝකේ....
    දැන් එහෙත් ෆ්‍රී නිසා Pie Y ...ඒ දෙන්න අහනව ...මම කවදද....එන්නෙ කියල.....
    මම ඊයෙ කිව්ව .....ආච්චිට......උයාව බැන්ද ගමන් ...සුටුස් ගාල එනව කියල....
    කමක් නැහැ නේද සත්තලන්......

    ReplyDelete
    Replies
    1. දෙන්නා දිව්‍යලෝකේ ඉදන් තව කල්පයක් බලන් හිටියත් මුණුපුරා එහෙ යන්නේ නැති බව මට හොදටෝම විශ්වාසයි ඉදගෙන

      Delete
  18. ඕමා ගේ බ්ලොග් එක අදමද මන්ද මුලින් බැලුවේ...
    ඔයා කරන රස්සාව මටනම් මළාට කරන්න බැහැ. මට හරියට කේන්ති යනවා...

    ReplyDelete
    Replies
    1. ලොකු @ ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතුකරගන්නවා. මාත් එහෙම තමයි හිටියේ ඒත් ගොඩක් අමාරුවෙන් මට මගේ හිත වෙනස් කරගන්න සිද්ධ වුණා. ඒක හරිම කටුකයි නමුත් වෙන කෙනෙක්ගේ සතුට වෙනුවෙන් ඒ දේ කරාම ලැබෙන සතුට අපමණයි

      Delete
  19. වෙලාව අරගෙන හිතල හිතල උත්තරයක් ලියන්න හිතෙන පෝස්ටුවක්. ඔමා.. ඇත්තම ඇත්ත කියනවා නම් මට මගේ පුංචි කාලෙත් මට ආච්චි වෙන අයගෙන් ලැබුනේ තරමක් කෙනෙහිලිකම්. මොකද මම පොඩ්ඩක් විතර ඇම්ඩන් ටයිප් වැඩ කරපු වෙනස් විදියට හිතපු පොඩි කෙල්ලෙක් නිසා. ඒ හින්දා මම එයාලගෙන් පීඩා වින්දා. මට තේරෙනවා ඒ හින්ද මම එයාලට ඇහුම්කන් දෙන්නේ ටිකක් අඩුවෙන්. නමුත් නපුරුකම් නම් කරන්නෙම නැහැ. ඇහුම්කන්දෙන එකත් සාපේක්ෂයි. කරුණාවන්ත නම් විතරයි කියන ඕනේ දෙයක් අහන්නේ.
    රැකියාවක් විදියට ඔබ ඔය කරන සේවාව මට නම් ටිකක් අමාරු වෙයි. එක එක්කනාගේ පෞර්ෂය අනුවත් වෙනස් වෙනවා නේ. ඔබ කියපු කරුණු ගැන මම ගොඩක් දුරට හිතුවා. ඔව්.. ආච්චිලා සීයලා අපේ රටේ ජිවත් උනේ වෙනස් පරිසරයක, නාගරික වෙනකොට ලොකු අර්බුධයක් තියෙනවා එයාලව බලාගන්න එක. ලංකාවෙත් මම ඔබ කරන ජාතියේ සේවාවන් සපයන ආයතන තිබෙනවා. මගේ පුද්ගලික මතය නම් ඒවා ඉතාම හොඳයි. ඒ වගේම දිවා සුරැකුම් මද්‍යස්ථාන පවා මම දැකල තියෙනවා. වැඩේ කියන්නේ වැඩිහිටි ළමයි ඒ සේවාවන් ලබාගන්න තියෙන නොකැමැත්ත.
    ලෙඩක් දුකක් උනත්, නැතත් එයාලට ඕනේ කාගේත් එක්ක හරි රණ්ඩු හරි වේවි කතා බහ කරමින් ඉන්න. හුදකලා මහළු ජිවිත පව් කියල හිතෙනවා. නමුත් මම නම් වයසට ගියහම ( අනිත් උන්ගේ කරුමෙට අවුරුදු 60 පහු වෙනකල් පණකෙන්ද තිබ්බොත්) ටිකක් හුදකලාව ඉන්න කැමති වෙයි. දැනට නම් එහෙම හිතෙනවා. දන්නේ නැහැ ඒ වයසේදී මොකක් හිතෙයිද කියල

    ස්තුතියි මේ අදහස් වලට..

    ReplyDelete
    Replies
    1. හැට පහුවෙන්න තව අවුරුද්දයි නේද?

      Delete
    2. උපේක්ෂා ඔයා ව්වගේම කීනෙක් තමයි මමත් ඒත් මං ගෙවන මේ මහ හුදෙකළාව නොදැනිම මාව වෙනස් කරලා.ඒක මගේ හොඳක් නෙමේ..

      මේ රටේ හැම සිටි එකකම ඉස්කෝල ගානට වඩා වැඩිහිටි නිවාස සහ වැඩිහිටි දිවාසුරකුම් මද්‍යස්ඨාන තියෙනවා.

      අනික අපි දැන් තීරණය කලාට මං මෙහෙම ඉන්නවා කියලා අපිට හිතාගන්න බැරි විදියට වයසත් එක්ක අපි වෙනස් වෙනවා ,,ස්තුති උපේක්ෂා

      Delete
    3. ඉවාන් @ ක්ලාස් මේට් ලා වගේ ඉදගෙන :)

      Delete
  20. වයසට ගිහාම අපිත් ඉතිං මේ වගේ පොඩි උන් වෙයි

    ReplyDelete
    Replies
    1. පිළිකාවක්, දරුණු ලෙඩක් හැදිලා හරි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි කලින් මරුනේ නැත්තනම් අපිත් අනිවාර්යෙන් ඒ අවදියට යන්න එපැයි හිටන්

      Delete
  21. මේ වගේ මිනිස්සු එක්ක ජීවත් වෙන් වෙන එක වෙලවකට හරි වදයක් කියලා හිතෙනවා, එත් ජීවිතේ අන්තිම කාලේ ගෙවන මේ මිනිස්සුන්ගෙන අපේ ජීවිත වලට ගන්න තියෙන ආදර්ශ ඉතාමත් වටිනවා. ඔමාට ඒ දේවල් වලින් ලැබෙන පන්නරය ඔමාව ශක්තිමත් කෙනෙක් බවට පත් කරාවි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ මට එපා වෙනවා වෙලාවකට. අම්මෝ එකම දේ හත් ඇට වතාවේ අහද්දී... මං එච්චර හොඳ එකෙක් නෙමේනේ අයියේ . මගේ වාසනාවකට කොහෙන් හරි කැරකිලා මේ ටයිප් ජොබ් එකකට සෙට් වුණේ

      Delete
    2. මමත් ශක්තිමත් වුනේ ඉවානයාට උදව් කරලා ගත්ත අත්දැකීම් වලින්නේ......

      Delete
    3. හි හි හි පව් බන් කුරුට්ටෝ

      Delete
  22. අපේ සීයත් ඔහොමම තමා. බේරෙන්න හරි අමාරුයි.. වචනෙ මිස් උනත් තරහ වෙනවා. එපා කියන දේ මයි කරන්නෙ.අම්මයි සීයයි රණ්ඩු වෙන්නෙ තාත්තයි දුවයි උනාට හරියට නිකං මාමයි ලේලියි වගේ.. මං කියන දේ අහනවා අනිත් යට වැඩිය. මට ආදරේ වැඩි නිසා වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. සජ්ජා@ ඔයා ඔය කියන්නේ අපේ අම්මයි ආච්චි අම්මයි ගැනමද කියලා හිතෙනවා.. අපේ ආච්චි අම්මත් අහන්නේ අපේ මාමා කියන දේ විතරයි ඒ එයාට පණ ඇරලා ආදරේ හින්දා

      Delete
  23. ඔමා ඇත්තටම කරන්නේ පින් සිද්දවෙන වැඩක්..ඒක ලෙහෙසි පහසු නැති වග හොඳටම පැහැදිලියි..එයාල වයසට යද්දි ඉන්නේ මැදිවියේ ඉන්න අය නෙවෙයි..බොහෝමයක් වෙලාවට අපට වෙන්නේ ඒවට මල පනින එක..ඒත් සන්සුන්ව හිතල බැලුවොත් එයාලා හුඟක් අසරණයි..බැරි අමාරුකම්, අසරණකම් පිටවෙන්නේ එහෙමයි..වයසක වැඩිහිටියෝ කියන්නේ දැනුම් ගබඩාවල්..අපට වඩා හුඟක් අත්දැකීම් තියෙන අය..සමහරවිට එයාලා කියන දේවල් නොපිළිගත්තට එක්තරා වෙලාවකදි ආපහු හැරිල බලද්දි හිතෙනවා ඒ කිව්ව දේ ඇත්ත නේද ඇයි මම පිළිගත්තේ නැත්තේ කියලා..අර ගස් ලබ්බාත් කියලා තියෙනවා වගේ ඒ වෙලාවට කේන්ති ගන්න ලේසි ඒත් ඊට පස්සේ එයාලා ගියායින් පස්සේ දැනෙන පසුතැවිල්ල සදාකාලිකයි..ඉන්න ටිකේ ඉවසීමෙන් කරුණාවෙන් සැලකුවොත් ඒ සතුටම දවසක අපට ලැබෙනවා කියලා මට හිතෙනවා..

    ඒ එක්කම තව කොටසක් ඉන්නවා කොච්චර ඉහ නිකට පැහුණත් කුහකකම් වලින් නපුරුකම්වලින් පිරිරිච්ච..තමන්ට සලකන්න ඉන්න මිනිස්සුත් නැතිකරගන්න දක්ෂ...තමන්ගේ දරුවන්ටවත් සතුටෙන් ඉන්න නොදෙන...ඒ ඒ පුද්ගලයාගේ හැටි...දුක් විඳින්න ඕන නැති මිනිස්සු දුක් විඳිනකොට දුක් විඳින්න ඕන මිනිස්සු තව තව ශක්තිමත්වෙවී ලෝකේ විනාස කරනවා..

    ReplyDelete
    Replies
    1. තනි තරු@ මේ ලිපිය මං නිකමට ආරම්භයක් විදියට ලිවේ ඔයාලගේ අදහස් දැනගන්න,, ඊලග ලිපියට මේ දේවල් මට වැදගත් වේවි.. ඒ නිසා ඔබට ස්තුති ..

      Delete
  24. දිව්‍ය අංගනාවන්ට අපට වාගෙ තරහ යන්නේ නෑ
    ඒක හින්ද ඒ උදවිය කවදාවත් නාකි වෙන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. අපෝ ඒකත් මහ බෝරින් ජිවිතයක් නේද අනේ

      Delete
  25. නමුත් එක දෙයක් බොහෝම පැහැදිලියි... සිහි කල්පනවා තියෙන මිනිස්සු ගැන කතා කරනවා නම්, අපේ වයසක මිනිස්සුන්ගේ මානසිකත්වය එක්ක ගත්තාම ඔහේ වයසක මිනිස්සු යුග කීපයක් පරිනාමය වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ කනම් සහතික ඇත්ත මාතලන්, මට හිතාගන්න බැහැ මේ මිනිස්සු අපිව තේරුම් ගන්න තරම්,, අල්සයිමර් හැදිලා ඉතාම අසීරු ලෙඩෙක් හැරුනම අවුරුදු 90 පැනපු අය වුණත් හිතන්නේ පතන්නේ අපි ඔයාලා වගේ ,

      Delete
  26. මගේ අත්තම්මත් අවු. 100 කට වඩා ඉඳලා නැති උනේ මේ ලඟදි. එයා ඉස්සර හරිම කරුණාවන්ත, හොඳ කෙනෙක් උනත් අන්තිම කාලේදී ඇඳටම උනාට පස්සේ අනිත් අයට බනින්නයි වැරදි කියන්නයි ගත්තා..සමහර වෙලාවට අමුතුම කල්පනා ලෝක වල තමයි හිටියේ. මගේ නම් ප්‍රාර්ථනාව තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරි කාලයක් මටනම් එන්න එපා කියලා තමා...මැරෙන එක ඊට හොඳයි කියලා හිතෙනවා අපේ අත්තම්මා විඳපු දුකයි අනිත් අය විඳපු කරදරයි දැක්කම.

    ReplyDelete
    Replies
    1. සයුරි @ ඒ අත්තම්මගේ වැරැද්ද නෙමේ අපේ ශරීර හැදිලා තියෙන විදියනේ.

      ඔයාගේ ප්‍රාර්ථනාව මේ වයසෙදි ඔහොම කලාට ජිවිතේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ නෙමේනේ සයුරි,ඔයා දන්නවද මේ වයස අය නිදාගන්න හරි බයයි,,, එයාලා අපි වගේ තරුණ කාලේ ඉද්දි අපි වගේම හිතන්න ඇති... වයසට ගියාම සිද්ද වෙන දේවල් අපිට පාලනය කරන්න අමාරුයි.. ඊලග ලිපියට ඒ දේවල් තියමු,, ඔයා ගේ සැන්දෑ සමය නිස්කලංක සහ ඔයා ආසකරන විදියේ එකක් වෙන්න මාත් ප්‍රාර්ථනා කරනෝ...

      ස්තුති

      Delete
  27. හොඳට හිටපු කෙනෙක් තමන්ගෙ සිරුර ඇතුලෙම හිර කාරයෙක් වෙනකොට දැනෙන හැඟිම කොහොම වෙයිද. තමන් කැමති දෙයක් කරන්න බෑ. තමන් කැමති තැනක යන්න බෑ. ඔයා රැකියාවක් හැටියට වුනත් කරන්නෙ ලොකු පිංකමක්!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක දැක්කට පස්සේ කාකා හිටපු නුටෙල්ලා බෝතලේ පැත්තකින් තිබ්බේ ඉබේටම (හි හි ජෝක් ).. ඒ හේතුව නිසා තමයි ගිමන් එයාලට කේන්ති යන්නේ

      Delete
    2. :D කමක් නෑ. නොකා ඉඳල හිතේ අමරුවක් එහෙම හැදුනොත්.
      එයාලට කේන්ති යන තරමට ඔයා ඉවසීම පුරුදු කරන්න.

      Delete
  28. මට ඔයගැන කිසිම අත්දැකීමක් නෑ.මම ඉපදෙනකොට අපේ කට්ටිය දිවිය ලෝකේ.මොනව වුනත් මටනම් වයසට යන්න කම්මැලියි වගේ.

    ReplyDelete
    Replies
    1. තවත් වයසට යන්නෑ බොල.... ඔකට තමයි වයසට යනවා කියන්නේ

      Delete
    2. ඒත් ඔයාට කවදාහරි ඔයාගේ අම්මා තාත්තා,වයිෆ්ගේ අම්මා තාත්තා මුණ ගැසේවි මේ විදියට

      Delete
    3. කටුසු ඔව් සම වයස් අය ආවම වයස අහුවෙනවා :D

      Delete
  29. // "පොඩි ළමයි නොදන්න කමට හැමදේම වේගයෙන් ඇදලා දානවා. ඒත් වයසට ගිය කෙනෙක්ට අත දරුවෙක් වගේ වේගයෙන් එක එක දේවල් කරන්න බැහැ...හිමින් හිමින් කරන්නේ..ඒ වගේම දෙයක් වැටුණොත් කැඩුනොත් ඒ දේ වෙන්නේ නොදන්න කමට අත පත ගාන්න ගිහින් නෙමේ හරියට අල්ල ගන්න වාරු නැතිකමින් ශක්තිය මදි කමින්"...//

    මෙන්න මේක තමයි වැදගත්ම කතාව බං.. ඒක තේරුම් ගන්න හුඟක් ඉවසීම තියෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ආච්චි මට මේක කිවේ හිබ්රු වලින්ම නෙමේ බන් අතපය වලින් සහ වෙන මොකක්දෝ භාෂාවකින් ඒත් ඕක මට තේරුණා ඔය විදියට එකෙත් හැටි... ඉවසීම කියන වචනේ එක්ක මට තරහයි බන්

      Delete
  30. දිනේශ් කිවුවා වගේ ඒ අන්තිමට කියල තියෙන වචන ටිකෙන් ගොඩක් දේවල් හිතන්න ඉතිරි කරලා තියෙනවා.... පොඩි එකෙක් වගේම වැඩිහිටියෙකුත් කැමති අනික අයගෙ අවධානය තමන්ට ලබාගන්න....

    ReplyDelete
    Replies
    1. ඔව් එයාලා පුංචි දේවල් පවා හරි ලොකු දේවල් වගේ දරුවන්ට අගේ කර කර කියනවා.. ඒ ගැන ඉදිරි ලිපියේ ලියන්නම්

      Delete
  31. වයසට ගිය අයට තරහ එන එක, නොරුස්සන ගති එන එක සාධාරණයි අපූර්වි. වයසට නොගිහින්ම කායිකව වයසට ගිය තත්වයක හිටියෙ මම මීට මාස කීපයකට කලින්. වයසට ගිය කෙනෙක්ට ලැබෙන කායික, මානසික අපහසුතා මම වින්දා හැබැයි හොඳ සිහිය ඇතුව. මට ජීවිතේ ලැබුණ වටිනාම අත්දැකීම ඒක කියලයි මම හිතන්නෙ. ඔයාලා කාටවත්ම මම විඳපු අත්දකීම ලැබිල නැතුව ඇති (ලැබෙන්නත් එපා කියල මම පාර්ථනා කරනවා).මම විඳවපු දේත් එක්ක මට වයසට ගිය අය ගැන කියන්න තියෙන්නෙ, අපි සීමාරහිත ඉවසීමකින් හා ආදරයකින් ඒ අයව බලාගන්න ඕන කියන එක විතරයි.
    ඔය පෝස්ට් එකේ සංවේදීම කොටස// "පොඩි ළමයි නොදන්න කමට හැමදේම වේගයෙන් ඇදලා දානවා. ඒත් වයසට ගිය කෙනෙක්ට අත දරුවෙක් වගේ වේගයෙන් එක එක දේවල් කරන්න බැහැ...හිමින් හිමින් කරන්නේ..ඒ වගේම දෙයක් වැටුණොත් කැඩුනොත් ඒ දේ වෙන්නේ නොදන්න කමට අත පත ගාන්න ගිහින් නෙමේ හරියට අල්ල ගන්න වාරු නැතිකමින් ශක්තිය මදි කමින්"... // කියලයි මම හිත්න්නෙ


    මළා....මෙහෙ ඉන්න නර්ස් නංගිලා ටික ඔයාගෙ පෝස්ට් එක දැක්කොත් මට ඔය ලෙඩ 2ටත් බෙහෙත් දෙන්ඩ පටංගනී( සියලුම රෝගල්ක්ෂණ +++) ඒ හින්දා ඒ කොටහ මකලා දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ඔයාට ජිවිතේ අවස්තාවක් ලැබිලා අපිට කලින්,, හැමදේම සතුටට පෙරලගන්න චීනෝ..

      නර්ස් නංගි කෙනෙක්ගේ මේල් එක දන්නවා නම් යවනවා මන්

      Delete
  32. ඇත්තටම මටත් ඔය රැකියාව නම් කරන්න බැරි වෙයි අපූර්වි.. මොකද මටත් හරියට කේන්ති යනවා. ඒත් ඉතින් විවිධාකාර රෝගීන් එක්ක කටයුතු කරලම දැන් ටිකක් ඉවසන්න පුරුදු වෙලා.

    ReplyDelete
    Replies
    1. සිතූ.. මාත් එහෙම තමයි. දැනුත් ආච්චි කියන සමහර කතා වලට මට මැරෙන්න හිතෙනවා,ආච්චිව උස්සලා ගෙයින් එලියට දාන්න හිතෙනවා, ඒත් දැන් පාවිච්චි කරන්නේ නාහුනා වගේ ඉන්න න්‍යාය

      Delete
  33. එලිශෙවා ගේ කතාව (ඒ වගේම..) ඩොක්ටර් රුවන් Transylvania එකේ ලියල තියෙනව.. ඒක කියවල මොහොතකට ගල් උනා.. ඔමා ගේ මේ අත්දැකීම හරීම දුර්ලභයි. අපි හිතාගෙන ඉන්නවට වැඩිය වැඩිහිටියොන්ගේ ලෝකය වෙනස්. මං වැඩිහිටියොත් එක්ක ගනුදෙනු කරද්දී ඒ අයට හැම විටම අවස්ථාව දෙන්න බලනව.. එකමෙක පොඩි හේතුවකට.. මොකද සමහරවිට ඒ දේ ඔවුන්ට කරන්න කියන්න බලන්න ලැබෙන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන් නිසා.. ඔවුන් ලොකු පීඩනයකින් ඉන්නව වෙන්න පුළුවන් මොකද ලයිෆ් කෝටා එක ඉවර වෙන්න කිට්ටු බව ඒ අය දන්නවනේ.. (ඒ හැඟීම මට නම් දැන්ම ඇවිත් තියෙන්නේ..හැක්..)

    ReplyDelete
  34. හ්ම්, වයසක අයත් එක්ක වැඩ කරන කොට තියෙන අවුලක් තමයි ඒ අය කියන දේ හරි හෝ වැරදි වේවා ඒ මතයෙම පිහිටා සිටීම.දෙයක් කිව්වොත් එකම තමයි.

    ReplyDelete
  35. oya achchila dala awith mawa balagannako Baba. marenakal oyawa man balagannam.

    _sanka_

    ReplyDelete
  36. සියලු දොනටම; ඒ කියන්නේ ඔබටත් ඔබේ ආදරනීයයන් සියලු දෙනාටමත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...