Sunday, August 9, 2015

පූසොත් එක්ක බෑ




 මේ ඉන්නේ  මං ගොඩක් ආදරේ කරපු ජින්ජි. මේ සෙල්ෆිය  ගත්තෙත් එයාම තමයි.  පූසන් සහ මා අතර තියෙන මමවත් නොදන්න බැඳීමක් ගැන ලියන්න හිතුණා අද  ශෙඵාකිගේ පුසියෙක්  ගැන ලියලා තිබ්බ පුංචි පෝස්ට් එකක් දැකලා. මීට අවුරුද්දකට විතර කලින් ලියන්න පටන් අරන් අතරමග නවත්තපු පෝස්ට් එකක් ඒක.

මට මතක හැම කාලෙකම වගේ අපේ ගෙදර පුසෙක් හිටියා.ඒත් අපේ අම්මා ආස බල්ලන්ට පූසන්ට එයා කැමති නෑ. කුස්සියේ  මොනාහරි පෙරළුනොත්,,උඹලකඩ ,කරවල වගේ ජාති නැති වුණොත් පූසා තමයි වැරදි කාරයා,එයාගේ  බල්ලා කරෝල කෑල්ල කටේ තිබ්බත්  කන්න කිවුවේ නැත්තනම් කන්නේ නැති අහිංසක වැදගත් සතා.. අම්මා ගැන ලියන්න ගියොත් පෝස්ට් එක ලියන්න වෙන්නේ නෑ. ඒ හින්දා පූසෝ ගැන ලියන්න ආපු එක ලියලා ඉන්නම්. 

මුලින්ම මගේම කියලා පූසෙක් හැදුවේ  මට  අවුරුදු  15ක්  වගේ කාලේ. එයාගේ නම "චාලි" ඒ කාලේ ආසාවෙන් බලපු ටීවී සීරිස් එකක කොල්ලගේ  නම. (එයාට අවුරුදු 40ක්  වගේ පෙනුම ඒත් මාර හැන්ඩ්සම් ) චාලි ගොඩක් වෙනස් පූසෙක්. මං ඉස්කෝලේ ඇරිලා එන වෙලාව එනකල් වැට අයිනට වෙලා ඉන්නවා. ඔයාලා හිතයි බොරු කියලා ඒත් ඒක ඇත්ත. අම්මා කියනවා පුසත් මං වගේම මහ කම්මැලියි  මං ඉස්කෝලේ ගියවෙලේ ඉඳන් මු නිදි කියලා. එයාට ඉතින් නිදියන පූසෙක් වත් පේන්න බෑනේ..පූසෝ ඉස්කෝලේ යන්නෙත් නෑ විභාග ලියන්නෙත් නෑ ,,අඩුගානේ පූසන්ට බෑ අම්මට බෝංචි ටිකක්  කඩලා දෙන්න. උයන ගමන් හොද්දට දාන්න කුමාරිපුන්චිලගේ දිහයින් ගම්මිරිස්  ඇට දෙක තුනක් ඉල්ලන් එන්න.. ඒත් එයා පුසටත් කෑගහලා බයිනවා.. සමහර වෙලාවට මං දකිනවා අම්මගේ කටහඩ ඇහෙද්දී පුසගේ කන් දෙක ගැස්සෙනවා ටග් ගාලා හැංගෙනවා. හි හි  

චාලි රෑට නිදාගන්නේ මගේ ඇඳේ. රෑට මං ලයිට් දාන් පාඩම් කරනකල්  ( පාඩම් කරනවා වගේ දොරට පිටුපාලා තියෙන පුටුවේ ඉඳන් මනෝ ලෝකේ වෝක් කරද්දී)  චාලි නියම දඩයක්කාරයෙක් වගේ ඇස් ලොකු කරගෙන බිත්තිවල ඉන්න හුනන්ට මාන බලන හැටි මට කවදාවත් අමතකවෙන්නේ නෑ. අම්මගේ අඩිසද්දේ මුලින්ම අදුරගන්න චාලි ඇඳ යටට රිංගලා හැඟෙන්නේ පුසන්ට බයේ දුවලා අර ගැහි ගැහි ඉන්න කාටුන් වල මීයෝ වගේ. ඒ  අවෑමෙන් මාත් ඔළුව කෙළින් කරලා අතට අහුවෙන පොතක් දිහා ඇස් චුටි කරන් ගොඩක් වුවමනාවෙන් කියවන්න පටන් ගන්නවා. අඩුගානේ සද්දේ දාගෙන එන අම්ම ආපු බව ඇහෙන්නෙත් " දැන් ඔය ඇති පාඩම් කළා නිදාගන්න " කියලා අම්මා කියද්දී. චාලි මං ලඟින් නිදාගද්දී එයාගේ ඇඟ ඇතුලේ මැෂින් එකක් වැඩ කරනවා වගේ අමුතු සද්දයක් එනවා ඇහෙනවා....

චාලි දැනගෙන හිටියා ගෙදර එයාට ආදරේ කට්ටියයි එයාට අනතුරුදායක කට්ටියවයි. ලේන්නු , වල් හා පැටව් ,හුනෝ කන්න තමයි එයා ගොඩක් කැමති වුණේ. සාලේ සැටිය යට මගේ ඇඳ යට තිබිලා නිතරම ලෙන්න්නුන්ගේ නැටි හම්බෙද්දී අම්මා කෑගැහුවා ඔය පුසා ගෙදර තියාගන්න හොඳ එකෙක් නෙමේ  කියලා.. "මීයෝ මෙච්චර ඉන්නවා,, මීයෙක් මේකගෙ ඇඟ උඩින් ගියත් ගාණක් නෑ අර අහිංසක  හා පැටව් ලේන්නු කනවා.. ..බුදු බනෙත් තියෙනවනේ  සත්තු උන්ගේ අයිතිකාරයෝ වගේ හැදෙනවා කියලා "  (බුදුබනෙත් කියන කොටස එයා නිතරම අතින් දානවා, බුදුබණ ඔක්කොම හැමෝම දන්නේ නෑ කියලා එයා තදින්ම විස්වාස කරන හින්දා වෙන්න ඇති.) චාලි අවුරුදු  8ක් ජිවත්වෙලා මැරුණා.

 චාලිට පස්සේ පූසෙක් කිසිම පුසෙක්ට ගොඩක් ආදරේ හිතුණේ නෑ. ඒත් පූසෝ මගේ පස්සේ එන්න පටන් ගත්තා හැමදාමත්. ඒකට හේතුවක් මං දන්නේ නෑ. පූසෙක් බලාපොරොත්තු වෙන්න බැරි තැන් වලදී මට පූසෝ හම්බෙලා තියෙනවා. මේ පහුගිය අවුරුදු  දෙකට මේ රටේදී මට හම්බෙච්ච පූසෝ ගාන දෙසීයකට වඩා වැඩි ඇති.  සමහර වෙලාවට බස් හෝල්ට් එකකට ගිහින් විනාඩි දෙක තුනක් යද්දී  කකුල් වල මොකෙක්ද පැටලෙනවා බලද්දී පූසෙක්.. මං විතරක් නෙමේ තව පස් හය දෙනෙක් ඒ වෙද්දීත් ඉන්නවා ඒත් පුසෙක් කොහෙන් හරි ඇවිත් මගේ මුණ දිහා බලන්න හදනවා කකුල් වලට නැගලා උඩට එන්න හදනවා,, මුල් කාලේ මං එච්චර ගණන් ගත්තේ නැති වුණත් පස්සේ එහෙම දකින පුසන්ව ෆොටෝ ගන්න පටන් ගත්තා. ඒ ව්දියට ගත්ත එක එක විදියේ ,එක එක වර්ගයේ , පුසන්ගේ ෆොටෝ ගොඩක් මං ළඟ තියෙනවා. සමහර පූසෝ පාට ලස්සනයි ඒත් මුණ කැතයි.,, මුණ කැත සමහර පූසෝ හරි හුරතල් ඒත් උන්ගේ  පාටත් කැත නිසා මං ආස නෑ. ආඩම්බර ,අහිංසක ,නැහැදිච්ච ඔය විවිධාකාර පූසෝ පූස් සමාජේ ඉන්නවා.

මීට අවුරුද්දකට  වගේ කළින් බලාගත්ත ආච්චිගේ දුව කිවුවා  එයාලගේ ගේ හදලා අවුරුදු 55 ක්  ඒත් කවදාවත් ඒ ගෙදරට පුසෙක් ඇවිත් නෑ කියලා.. ඒත් මං ගිහින් දවස් දෙක තුනක් යද්දී  කඩේට යද්දී එහෙන් මෙහෙන් කකුලේ දැවටිච්ච කළුපාට පුසෙක් ටික ටික පස්සෙන් ඇවිත් ගෙදර පදිංචිම උණා. ඊට පස්සේ  කොහෙන්දෝ ආපු තව පුසෙක්.. අන්තිමට මාස 5ක් වෙද්දී පූසෝ හයක් ගෙදර. මුලින් මුලින් මරාගත්ත පූසෝ අන්තිමට හොඳින් ඉන්න පටන් ගත්තා. ඔය උඩම පොටෝ එකේ ඉන්න ජින්ජි තමයි ගොඩක්ම හුරතල්.. මං එයාට ආදරේ බව දැනගත්තට පස්සේ ජින්ජි අනිත් පූසෝ ඉස්සරහා හරි ආඩම්බරකමින් හැසිරුණේ... වචනයක් වත් කතාකරන්නේ නැති ආච්චි කෙනෙක් එක්ක තනියම ඉන්න මට පූසෝ නිසා දවස ගෙවෙනවා දැනුණේ නෑ. ඔය අතර මං නිමාඩු යද්දී දකිනවා පූසෝ මං දිහා බලන් ඉන්නවා.





මෙයා ඔල්සි 

ජින්ජි  තමයි ඔය මුදුනා වෙලා ඉන්නේ 

ඒ ජොබ් එකෙන් අයින්වෙලා පූසෝ ටික දාලා යද්දී ගොඩක් දුක හිතුණත් ඉක්මනට මට ඒ අයව අමතක වුණා. ජින්ජි කියලා ගෑණු නමක් දාගෙන පුසියෙක් කියලා හිතං හිටියට මෙයා පුසෙක් කියලා දැනගත්තේ හුඟ කාලෙකට පස්සේ. ඉතින් ඔන්න  ඊට පස්සේ  ජොබ් එකේදී අපේ ගේ තිබුණේ දෙවනි තට්ටුවේ මගදී පූසෝ හම්බුණාට එයාලට මාව හොයන් ගෙදරට එන්න බෑනේ... අපේ ගේ තියෙන්නේ පඩිපෙළ නැගලා ගියාමනේ කියලා හිතං හිටියට සතියක් යද්දී හවසක



මෙන්න මෙහෙම එල්ලීගෙන පොඩි පූස් පැටියෙක් කෑගහනවා. වැස්සේ තෙමිලා පූස් පැටියෙක් උනාට වවුල් පැටියෙක් වගේ වෙලා. ගෙට අරන් පිහදාලා මගේ කාමරෙන් තියාගත්තා උදේට යවනවා කියලා හිතං.. රෑ මෙයා නිදාගන්නෙම නෑ මොනාකරත් . ගෙදර තිබ්බ සෙල්ලම් බඩු ,ටිපිටිප් ,කිරි මොනාදුන්නත් කෑවෙත් නෑ කෑගහනවා.. ආච්චිට කන් ඇහෙන්නේ නැති හින්දා ගාණක් වුණේ නෑ.  මට පූසා ලගට වෙලා ඉන්නත් බෑ ආච්චි බලන්න යන්නත් ඕනේ.. පූස් පැටියා කෑගහනවා ඉවරෙකුත් නෑ... ඊට පස්සේ යු ටුබ් එකේ නිකමට චෙක් කරලා බැලුවා පූස් පැටව් නලවන සංගීතයක් මොකක්හරි..


ඒකත් හම්බුණා.. දගලා දගල හිටපු පූස් පැටියා මෙන්න හිමීට නිදාගත්තා....





ගූගල් දෙවියන්ටත් යූටුබ්ටත් පිං සිද්දවෙන්න පූස් පැටියා පැය තුන හතරක් හොඳට නිදාගත්තා.. නිදියලා නැගිටලා කිරිත් බිවුවා. ආයේ කෑගන්න හදද්දී පැය ගාණක් දිග පූස් රිලැක්සීන් මියුසික් ප්ලේ කරලා ලයිට් නිමුවා (ආච්චිට කන් ඇහෙන්නේ නෑ ඒ හින්දා එයා මේ මොකුත් දන්නේ නෑ)

 උදේ හය වෙද්දී ආයේ මෙන්න සද්දේ.. පුස් පැටියා අරන් උදේ ටිකක් එළියට යද්දී මෙන්න පූස් පැටියා වගේම ලොකු එකෙක්. මං ඉතින් පැටියව අම්මට බාර දීලා ආසාවෙන් ගෙදර ඇවිත් ආච්චි එක්ක දවස පටන් ගත්තා.. දහයට විතර දොර ඇරලා බලද්දී අම්මයි පුතයි දෙන්නම දොරේ එල්ලීගෙන. ලොකු පූසා අයිතිකාරයෙක් නැතුව හැදිච්ච කෙනෙක් ඒ නිසා කිසිම තේරුම නෑ කෑගහනවා කන්න ඉල්ලනවා දවස් තුන හතරක් යද්දී මට කරගන්න දෙයක් නෑ පූසෝ දෙන්නා මදිවට තව අලුත් පූසෙක්...පොඩි පූසා හදාගන්න කොච්චර ආසාව තිබ්බත් එයාගේ අම්මා නිසා ඒකත් කරන්න බෑ. පස්සේ දවසක පොඩි පිරිමිලමයි දෙන්නෙක් ඇවිත් පොඩි පුසව මගෙන් ඉල්ලුවා... දුකෙන් උණත් පූස් පැටියව ඒ ළමයින්ට දීලා හිත හදාගත්තා. එයාලා එක්ක ෆොටෝ කීපයක් ගත්තා ළමයින්ව මතක තියාගන්නත් එක්ක.


මෙයාට  මං නම දැම්මේ "ඉලානා " කියලා.

පැටියව  දීලා දවස් දෙක තුනකින් අම්මත් ගෙදරින් ගියා. එයින්  පස්සේ කොච්චර පූසෝ මගතොටදී දැක්කත් ගෙදර ගිහින් හදාගන්න හිතුණේ නෑ කිසිම පුසෙක්ව. 

මීට මාස දෙකකට කලින් මේ ජොබ් එකට ආවම මං මටම කියාගත්තා පූස් කරදරේ ඉවරයි කියලා. ඒ මොකද අපේ ගේ තියෙන්නේ  6 වෙනි තට්ටුවේ ,ඇලවේටර් එකයි ,ආරක්ෂක දොරයි එක්ක පුසෙක්ට ආයේ මාව හොයන් ගෙදරට එන්න වෙන්නේ  නෑ කියලා තේරුණ නිසා ඒත් ගිය සිකුරාදා චුටි පූස් පැටියෙක් ගේ දොර අරිද්දි.. කාගෙහරි  අපේ ෆ්ලො එකේම කෙනෙක්ගේ වෙන්න ඇති කියලා ඇරියට වඩා වේගෙන් දොර වහලා දැම්මා. 


ප/ලි

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...