Wednesday, December 30, 2015

කිනර සයුර | sea of Galilee (preamble)

ඉර බැහැලා සෑහෙන්න වෙලා ගිහින් වුණත් ජෝර්දාන් කඳු වැටිවලට උඩින් අහස අඳුරු පැහැයක් ගන්නේ නැතුව, රතට හුරු කහ මිශ්‍ර තැඹිලි පැහැයක් අරන්. ඒක මං කවදාවත් දැකලා තිබුණේ නෑ... 

කලින් වතාවේ ගිම්හානේ මැදදී අපිට කිට්ටු වෙන්න වත් බැරි තරම් සෙනගක් ගලීල මුහුද අවට වසාගෙන හිටියත්, මේ ශීතල ජනවාරියේ ඉර බැහැලා ගිය හැන්දෑවක ශීත සුළං එක්ක ඔට්ටුවෙන නමක් දන්නේ නැති උස පඳුරු ටිකක් හැර කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ. 

මහ මුහුදෙ වගේ විශාල රැළි නැති ගලීල මුහුදේ තාලෙකට උස් පහත් වෙන රැළිති මට මතක් කළේ අනුරාධපුර වන්දනාවක ගිහින් එද්දි නතර වෙච්ච වැව් ඉස්මත්තකදී දැකපු දිය රැළිතිමයි; 

පෝය දින ගැන කිසිම සදහනක් නැති කැලැන්ඩර් එක්ක දින ගෙවන මට පිරුණු හඳ දකින හැම වෙලාවකම ගෙදර මතක්වෙනවා. පොහොයට පන්සල් යන සිරිතක් තිබුන හෝ නිතර සිල්සමාදන් වුන්  මතකයක් නොතිබුණ මම  පිරුණු හඳ දිහා ආදරයෙන් වරුවක් වුනත් බලන් ඉන්න හේතුව ගැන හිතන්න මට උවමනාවක් නැහැ. 

 සඳ වැවට උඩින් පායපුවම වැවේ වතුර සඳ එලියේ චායාව අරන් රත්තරන් පාට වෙලා තියෙන පින්තූර විතරක් දැකලා තිබුණ මට, ඒ පින්තූර වල කිසිම විශේෂයක් පෙනුණේ නෑ. පුංචි කාලේ හම්බුණු වෙසක් කාර්ඩ් වල ඒ දර්ශනේ හරි ලස්සනට තිබුණා; (මං මගේ ඇස් වලින් දැකපු ලස්සනම දේවල් අතර උඩින්ම තිබුණේ අපේ තාත්තා බෝගම්බර ඉද්දි මට හදලා එවලා තිබුණු...නෑ ඒ මතකය මේ කතාවට කොහෙත්ම යාවෙන්නේ නෑ මේක රොමෑන්ටික් කතාවක්). 

ජීවිතේ කවදාවත් සඳ රැස් ගලාගෙන ඇවිත් වතුරේ දියවෙනවා කියලා මං විශ්වාස කලේ නෑ. ඒ ලස්සන මගේ ඇස් වලින් හිතපුරා විඳ ගද්දි මගේ ඇස් දකින අර උස පඳුරු හිත් යටින් මට හිනාවෙන්න ඇති.

සමහර ඉංග්‍රීසි චිත්‍රපට බලද්දි, සමහර දර්ශන වල මිනිත්තු ගණන් කිසිම වචනයක් කතා කරන්නේ නැතුව එකිනෙකා දිහා බලන් ඉන්න පෙම්වතුන් හෝ තනි ගැහැණියක් එහෙම නැත්නම් පිරිමියෙක් ඉන්න බොහෝ වෙලාවල, ඒ දර්ශන විකාර විදියට සහ අස්වාභාවික දේවල් විදියට මම දැක්කා. කොටින්ම ඒ චිත්‍රපටය බැලීම නතර කරලා ක්‍රියාදාම චිත්‍රපටයක් බලන්න පටන් ගන්න වෙලාවල් පවා තිබ්බා. ඒ මමම අද නොරටක පුංචි මුහුදක් ළඟ නැවතිලා.

සීතල සුළඟ නොනවත්වාම ඇඟ පුරා දැනෙද්දිත්, සඳ මුහුදු ජලකඳ මත දිය කරන සඳ රැස් අතර, මසිතත් තබා ඒ සියලු අතීත මතකයන් දිය කරන්න මම උතසහ කළා.

ඉර බැහැලා ගියාට පස්සෙත් අමුතු වර්ණයෙන් වර්ණවත් වූ අහස ගැන දැන ගැනීමේ ආශාව යටපත් කරලා සඳ එළියෙන් මිදුණු මාව දැකපු  ඔහු සිනාසුනේ තෘප්තිමත් හදවතකින් වග මා මෙන්ම උස් පඳුරුත් දකින්නට ඇති. 

ඒත් සීතල ජනවාරියේ අඳුරු හැන්දෑවක තනිවූ පෙම්වතුන් එකිනෙකා තුරුළු වෙමින්, උණුසුම් හාදූ අතර කිමිදෙනවා වෙනුවට අහස ඒ පාට වුණේ ඉහළින් ඇති ලෙබනන්, සිරියන් කාන්තාර වලින් සුළඟට මුසුවූ දූවිලී අංශු නිසාද, නැත්නම් වෙන හේතුවක් නිසාද යන්න අහන එක හරිම අතාත්ත්විකයි. 

ඒත් ඒ ප්‍රශ්නේ මං ඇහුවොත් එයා අනිවාර්යයෙන්ම උත්තර දේවී..නෑ නෑ පස්සේ අහනවා..ආයේ මේ වගේ මොහොතක් අපිට කාලෙකින් නොලැබේවි.

ඒත් ඒ ප්‍රශ්නේ... පස්සේ මට අමතක වුනොත්.... මොහොතකට සියලු සිතුවිලි විසිකර මසිත පමණක් නොවේ ගතත් ප්‍රියකරන, ඔහුව තදින් වැළඳගෙන ඇස් දෙකම තදින් පියාගත්තා.
-----------------------------------------
ප/ලි 

අද අවුරුද්දේ අන්තිම දවස..මාස කීපයක් නොලියා හිටියත් බොහෝ හිතවත් බ්ලොග් කරුවන්ගේ ලියන්නේ නැද්ද නංගි,ආයෙම ලියන්න ,මොනාහරි ලියන්න කියන ආදරණීය ඉල්ලීම් හමුවේ ආයෙම ලියන්න හිත මේවා කරගත්තා. මේ ලිපිය ලිවුවේ ඇයි කියලා මං දන්නේ නෑ..මට ලියන්න අවශ්‍ය වුණේ ගලීල මුහුද ගැන..සහ තිබේරියා කියන නගරයේ ඉතිහාස කථාවන් ගැන. පෝස්ට් එක අඩුපාඩු සහිත ඇති ඉක්මණින් යථාතත්වෙට එන්න උතසහ කරන්නම්.. ලියාදාන එක මතකයන්  හිතේ කොන් වල හිරවෙලා මැකිලා යන්න ඉඩ අරිනවට වඩා හොඳ වෙයි. 

සුබම සුබ අලුත් අවුරුද්දක් මගේ යාළුවො හැමෝටම.

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...