Wednesday, January 27, 2016

මාළු උගේ , නටයි මගේ ඇඟේ | sometimes it's understandable



මගේ ජිවිතේ ඉවසීම ගැන ප්‍රශ්නයක් ආපු වෙලාවේ ඉවසීම ගැන ලිපියක් ලීවා ඔයාලට මතක ඇති ඉවසන සෙල්ලම  පුරුදුවෙච්ච හැටි කියලා. ඒ වගේම ඊර්ෂ්‍යාව ගැනත් යමක් ලියන්න හිතුණා මගේ ජිවිත අත්දැකීම් එක්ක. සාමාන්‍ය මිනිස්සු විදියට අපි හැමෝම ඊර්ෂ්‍යාව කියන නරක සතුරට අහුවෙනවා.මම ඊර්ෂ්‍යා කරන්නේ නැති කෙනෙක් කියලා කටින්  කීවට දිනපතා සිත්වල අපිත් නොදැනිම ඊර්ෂ්‍යාවේ සිතුවිළි ඇතිවෙනවා. පුංචි කිරිදරුවගේ ඉදලා හැම කෙනාම තමන්ගේ ජිවිතේ විවිධ අවස්ථාවල විවිධ කාරණා හේතුකරගෙන වෙන අයට  ඊර්ෂ්‍යා කරනවා ..ඒ වගේම ඊර්ෂ්‍යාව ක්‍රියාවට නගනවා එක එක විදිවලින්.

මං පුංචි කාලේ  ඉරිසියා කරපු දේවල් ටිකක් මතක්වුණා,එයින් එකක්  ලියන්නම්කො. ඉස්සර අපි මාළුඅල්ලන්න ඉලගොටු වෙලේ දානවනේ .ඉතින් අනිත් අයගේ ඒවාට මාළු ගොඩක් අහුවුනාම ඉරිසියාවේ බෑ.,බිලි බාද්දීත් එහෙමයි අනිත් අයට හොදට මාළු අහුවුනාම කේන්ති. ඊට පස්සේ "උබලා පවුකාරයෝ ඒකයි ඔච්චර මාළු  අහුවෙන්නේ අපි පිං කාරයෝ ඒකයි මාළු නැත්තේ" කියලා ඒ අයට අපහස කළා ..ඒ වගේම හොරෙන් ගිහින් එයාලගේ ඉලගොටු කැලේ හැංගුවා ,,පාගලා කඩලා දැම්මා.. ඒත් එහෙම කළා කියලා මට කවදාවත් වැඩිපුර මාළු අහුවුණේ නැහැ..පස්සේ කවුරුහරි දැකලා කියලා තිබුණා මං කලේ කියලා.එයාලා අලුත් ඒවා හදලා දැම්මා ආයේ මාළු ඇල්ලුවා..ඒත් මට වෙච්ච දේ .අන්තිමට ලැජ්ජාවේ බැහැ.

Tuesday, January 19, 2016

විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක්

අපේ ගෙවල් තියෙන්නේ රජයේ පාසලක් ළඟ; උදේට ළමයි ඉස්කෝලේ යනවා දකින්නේ නෑ මං නැගිටින්නේ දවල්වෙලා නිසා. ඒත් හවසට ජෝර්ජ් එක්ක කෝපී බොන්න ගිහින් එන ගමන් ගෙවල් කිට්ටුව තියෙන පුංචි පාර්ක් එකේ නැවතිලා ඉද්දි ඉස්කෝලේ ඇරිලා ළමයි ගෙවල් වලට යනවා අපිට පේනවා. මෙහෙ හැම ඉස්කෝලෙකින්ම බස් වලින් ගිහින් ළමයි අරන් එනවා ඒ වගේම හවසට ගිහින් දානවා. ලංකාවේ වගේ බුක් හයර් වලට ගෙවන්න ඕනේ නෑ. හැම ළමයෙක්ගෙම ගෙවල් ලගට බස් එක එනවා. ඉස්කෝලේ ඇරිලා යද්දී අපිට හම්බෙන  කීප දෙනා ඉස්කෝලේ අවට ජීවත්වෙන ළමයි; හෝ බෝයිෆ්රෙන්ඩ් හෝ ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක කොහේ හෝ යන්න බස් එකේ නොයා ඉන්න ළමයි. 
 මමයි ජෝර්ජුයි ලෝකේ නැති දේවල් කියෝ කියෝ කාලේ ගෙවන අතර හැමදාම දකින පොඩි අලි පැටියෙක් වගේ ළමයාව දැක්කම ඉතින් ජෝර්ජ්ට ඒ ළමයව දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට වගේ හැසිරෙන්නේ. ඇස් දෙක ලොකු කරලා දුර එද්දිම මට උරහිසෙන් පෙන්නනවා.ජෝර්ජ්ට රවනගමන් ඒ ළමයා අපිව පහුකරන් යනකල් ෆෝන්එක බොරුවට අතපතා ගගා ඉන්නවා ඒ ළමයගේ මුණ බලන්න මොකක්ද වගේ හින්දා. ඊට පස්සේ ඉතින් "ලෝකේ මිනිසුන් සීග්‍රයෙන් ස්ථුලතාවයට පත්වීම" ගැන ජෝර්ජ් ගේ මහා දේශනාව. ඔහු කියන ගොඩක් දේවල් හරි. ඒත් දැන් අහලම ඇතිවෙලා තියෙන්නේ.


මෙහෙ ළමයිනුයි අපේ ඉස්කෝලේ යන ළමයිනුයි අතර තියෙන වෙනස මම දකින විදියට ලියලා දාන්න ඕනේ කියලා හිතුණා. තමන්ට කැමති විදියට කොන්ඩේ පාට කරලා, තව තව සුකුරුත්තං කොන්ඩේ එල්ලලා , කරාබු දාලා,නියපොතු පාට කරලා ,කැමති ඇදුම් ඇඳලා,ෆෝන් එකත් අරන් ඒ ළමයි යනවා දකිද්දී සුදු ගවුම සෙන්ටිමීටර් කීපයක් කොටයි ,කොන්ඩේ ඔහොම දාන්න එපා ගොතාගෙන එන්න...කලුපාට රිබන් බඳින්න ,අයිබ්රෝව්ස් හදන්න තහනම් .පිරිමි ළමයින්ට නම් සුදු කලිසම ප්ලිට්ස් එකක්ද දෙකක්ද කියන නිශ්චිත ගානම තියෙන්න ඕනේ.කොන්ඩේ කට් කපන්න රැවුල් කපන්න කියලා විනයභාර ගුරුවරු කෑගහන හැටි මතක් වුණා.  

ඇත්තටම මේ හැමදෙයක්ම අපේ රටට ගලපන්න අමාරුයි. උදාහරණයක් විදියට ළමයින්ට අවසර ලැබුණොත් තමන් කැමති ඕනේ ඇදුමක් අඳින්න හොඳට සල්ලි තියෙන අයගේ ළමයි අඳින ඇඳුම් දැක්කම දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ අසරණ වෙන්න පුළුවන්. මේ රටේ පාර අතුගාන මනුස්සයත් නගරාධිපතිත් දෙන්නම කරන්නේ රැකියා සහ මිනිස්සු ඔවුන් දෙදෙනා දිහාම බලන විදිය එකයි. ඒ වගේම අද බැංකුවක යම් වැටුපකට වැඩ කරන කෙනෙක්ට හෙට පළතුරු කඩේක ඊට වඩා වැඩි වැටුපකට   ගෙදරට කිට්ටු රැකියාවක් ලැබුණොත් ඒ ගැනත් හිතලා බලන්න මේ මිනිස්සු කැමතියි. ඒක හරි පුදුම දෙයක් සහ සැහැල්ලුවෙන් ජීවත්වෙන්න උදව් වෙන දෙයක්. 

ළමයි ඉස්කෝලේ ෆෝන් එක ගෙනියන එක ගුරුවරු දකින්නේ ළමයින්ගේ ආරක්ෂාවට හොඳ දෙයක් විදියට. ඒ වගේම ගුරුදෙගුරු සම්බන්දතා පවත්වන්න වට්ස් ඇප් ගෘප් චැට් පංතිභාර ගුරුවරු පාවිච්චි කරන්නේ. මං දන්නේ නැහැ අපේ රටෙත් දැන් එහෙමද කියලා. 

අධ්‍යාපනය ගැන කතාකරද්දී හම්බෙන අකමැතිම මාතෘකාව වෙන්නේ විභාග; ඊයේ පෙරේදා අපේ ලංකාවේ 
උසස්පෙළ විභාග ප්‍රථිපල ආවට පස්සේ මුණු පොතේ දැකපු බොහොමයක් පෝස්ට් වලින් තේරුණේ උසස්පෙළ විභාගය ඒ ළමයින්ට තමන්ගේ ජිවිතයටම මුණ දෙන්න සිද්දවෙච්ච මහා විශාල මාරකයක්  වගේ. 
මූණුපොතේ මගේ යාළුවන්ගෙන් බොහොමයක් දෙනා ෆේල් ඒ වගේම ඊලග වතාවේ විභාගේ ආයෙම කරන්න ලෑස්තිවෙන්න හදනවා. ඒත් මෙහෙ උසස් පෙළ විභාගය පවත්වන්නේ වෙනස් විදියකට අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගත්ත විෂයන් තුනට සහ ඉංග්‍රීසි වලට අදාළ විභාගයන් කාලසටහනක් දීලා සතියක් හෝ දෙකක් ඇතුළත ඉවර වෙන විදියට නෙමේ.. දෙවනි අවුරුද්දේ අන්තිම මාස හයේදී මාසෙකට එක විෂයක් බැගින් වගේ විභාග තියන්නේ. ඒ වගේම ලකුණු දෙන්නෙත් සීයෙන් හරියටම ඉලක්කමක් විදියට. ඒ ඒ විභාග වලට අදාළ ප්‍රථිපල සැරින් සැරේ ළමයින්ට දැනුම් දෙනවා.  කෙසේ හෝ ඉස්කෝලේ සේරම විභාග ඉවරවුණාට පස්සේ මාස තුන හතරක කාළයක් ළමයින්ට විවේකයක් ලැබෙනවා ;ඊට පස්සේ  හැමකෙනාම ඉතින් හමුදාවට යන්න ඕනේ. දැඩි ආගමික භක්තික පවුල් වල ගැහැණු ළමයි නම් හමුදාවට යන්නේ නැහැ ඒ වෙනුවට අවුරුදු දෙකක් එයාලා ස්වෙච්චා ආයතන හා සම්බන්ධ වෙලා වැඩ කරන්න ඕනේ. 

අවුරුදු දහ අට පහුකරලා අවුරුදු  විස්ස විසි එක වෙළා හමුදාවෙන් අයින් වුණාට පස්සේ ආයෙම තම තමන්ගේ විභාග ප්‍රථිපල අනුව විශ්යවිද්යාල වලට යන්න සුදුසු අය ඒවටත් අනෙක් හැම කෙනෙක්මත් හමුදාවෙන් පස්සේ හරියටම අවුරුද්දක් මොන මට්ටමේ හරි පුංචිම හරි රැකියාවක් එක දිගට කරන්න ඕනේ. ඉන් පස්සේ රජයේ අනුග්‍රහයෙන් සහතිකයක් සහ ලොකු මුදලක් හම්බෙනවා තමන්ගේ ඉදිරි රැකියාව හෝ තව දුරටත් යම් ක්ෂේත්‍රයක් ඔස්සේ ඉගෙන ගන්න. 

අර මං මුලින් කිවුවේ විභාග ඉවර වුණාට පස්සේ මාස තුනක් හතරක් තියෙනවා කියලා ෆ්‍රී එකේ ඉන්න  ඇත්තටම ඒ කාලේ ගොඩක් ළමයි පුංචි පුංචි රස්සාවල් කරනවා හරි පුදුමයි. මං කිට්ටුවෙන් ඇසුරු කරන ගැහැණු ළමයෙක් ඉන්නවා එයා දැන් ඉන්නේ හමුදාවේ. ඒ ළමයා හමුදාවට ගියේ පවා විශේෂ ඒකකයකට ගොඩක් බුද්ධිමත් ළමයෙක්. එයත් මාස තුනක් ලැබුණු විවේක කාලේදී නැනී කෙනෙක් විදියට පවුල් දෙකක් එක්ක වැඩ කළා උදේ සහ හවස. ඒ වගේම සමහර දවස් වල  කේටරින් සර්විස් එකක් එක්ක වේටර්ස් කෙනෙක් විදියට වැඩ කළා. එයාගේ අම්මා සහ තාත්තා දෙන්නම මම අඳුරනවා ඔවුන් සල්ලි ප්‍රශ්න තියෙන අය නෙමේ හොඳින් සල්ලි තියෙන අය. ඒත් ඒ ළමයා නැනී කෙනෙක් විදියට පැය කීපයක් වැඩ කරනවා ඒකට උත්තර හොයාගන්න අවස්ථාව ලැබුණේ එයාගේ අම්මා හම්බුණු වෙලාවක. 

මම: "මොරාන්ව මං දවස් කීපයක්ම දැක්කා මිකාල් ලගේ බබාලත් එක්ක පාර්ක් එකේදී" 
මොරාන්ගේ අම්මා: අහ්හ් ඔව් එයා බේබි සිටර් කෙනෙක් වෙලානේ දැන්, එහෙ විතරක් නෙමේ තව අපේ ගෙවල් ළග බබෙක්වත් බලාගන්නවා පැය දෙක තුනක්. සමහර දවස් වලට පෙක්දිල් කේටරින් එකෙත් වැඩ කරනවා. 
මම: වාව් ඇත්තමයි මං අහන්න හිටියේ එයා ඇයි ඒ වගේ ජොබ් කරන්නේ? ඔයාලා කැමතිද ? 
මො.අ : හ්ම්ම් ඔව්  ඔයා දන්නවද එයා පළවෙනි පාර කේටරින් එකේ වැඩට ගිහින් ආපු දවසේ හම්බුණේ ශේකෙල් 150 යි කියලා මුණ නරක් කරගෙන හිටියේ "රෑ එළිවෙනකල් හිටගෙන ඉදලත් 150 යි" කිය කියා දවස් දෙක තුනක් කාමරේට වෙළා හිටියා; ඊට පස්සේ දවසක හවස අපි පීසා ඕඩර් කරපු වෙලාවේ පීසා දෙකටයි කෝක් එකටයි 110 යි කියලා බිල ආවම මොරාන්ගේ මුණ ඇඹුල් වුණා. . එදා වෙනකල් එයා  ඇඳුම් පැළදුම් ගන්න ශේකෙල් දෙතුන් සීයවල් වියදම් කරපු එක ගැන දුක් වුණා.. දවස් දෙක තුනකට සැරයක් රෑ කෑම වලට රෙස්ටුරන්ට් වලට යමු කියලා කෙඳිරි ගාන එක නැවතුණා.  එයා දැන් දන්නවා සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනේ තරම.එයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂ වුණත් මුදල් පරිහරණය ගැන එයාගේ මල්ලිට තියෙන අවබෝදෙවත් තිබ්බේ නැහැ. දැන් එයා දන්නවා සල්ලි වල වටිනාකම සහ පාවිච්චි කරන විදිය.  (ඇය සිනාමුසුව කතා කලේ) 

(මොරාන්ගේ අම්මගේ නම රෙවුත් එයා එක්ක කරපු කතාබහත් පෝස්ට් එකට එකතු කරන්න ඕනේ කියලා හිතුවේ කාටහෝ වැදගත් වෙයි කියලා හිතලා.එයා ගොඩක් ස්ටයිල් කලාට පෙණුමෙන් ආටෝප් ගතියක් තිබ්බට ජීවිතේ ගැන ගොඩක් දේවල් තේරුම් ගත්ත කෙනෙක් කියලා එයාගේ කතාවෙන් මට තේරුණා. )

ප/ලි 
මේ කාලසීමාව මං බොහෝදුරට බ්ලොග් වලින් ඈත්වෙලා ලියන්න පොරොන්දුවෙච්ච සමහර ලිපි කවදාවත් ලියුවෙත් නෑ අද වෙනකල්, තව ලියන්න ඕනෙයි කියල හිතෙන මං දවස ගානේ ඉගෙන ගන්න අවබෝධ කරගන්න දේවල් ලියන්න හිතුණත් නොලියා ඉන්නවා සමහරුන්ට ඒ කතා හරියට සුරංගනා කතා හෝ බොරු ආටෝප කතා ,එහෙම නැත්නම් ලොකු නයි වගේ පෙනෙයිද කියලත්. (ඒත් මොනා වුණත් ලියන්න කැමති කෙනෙක් නම් ලියන්න ඕනේ නේද අනුන් කියන දේවල් ගැන  නොහිතා.) සමාවෙන්න හොඳේ.

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...