Sunday, October 16, 2016

I miss you mr. Roth

ඇත්තටම පටන් ගන්න විදිය හිතාගන්න බෑ ජෝර්ජ් නිසා මං ගොඩක් දුකෙන් දැන් රෑ දෙකත් පහුවෙලා. රෑ දොළහට ජෝර්ජ් එකපාරටම ඔමයා කියලා කතාකලා. එයා කවදාවත් මට කෑගහලා කතා කරලා නෑ කෝල් කරලා විනාඩියක ඇවිත් යන්න කියනවා  ඒ වගේම රෑ අටෙන් පස්සේ කතා කරන්නේ නෑ.

"මට බයයි මාව අල්ලගන්න...මාව  අතාරින්න එපා,ළගින්ම ඉන්න." එහෙම කියලා මගේ අත අරන් එයාගේ පපුව හරියෙන් තියාගත්තා. 
"ජනේලේ වහන්න"එළියේ හොඳටම හිම වැටෙනවා මාව මිදෙන්න තරම් සීතලයි" 
"හා හොදයි මං ජනෙල් වහලා හීටරෙත් දාන්නම්"
එහෙම කියලා ඒ වෙද්දීත් වහලා තිබ්බ ජනේලේ බොරුවට සද්දේ එන්න ආයේ එහෙට මෙහෙට කරලා හීටර් එකේ ස්විච් එක කරකවලා ආයෙම එයා ළගට ආවා.
"මං කොහෙද ඉන්නේ ?" ජෙරුසලමෙද? මෙසුරීද? (ඇමරිකාවේ) ඔය දෙකේම නෙමේ වුණත් මං එයාට කිවුවා ඔයා ඉන්නේ ඔයාගේ ගෙදර ඔයාගේ කාමරේ කියලා. 
"කෝ සුසන් ?" භයානකම ප්‍රශ්නය ඒක. "එයා නිදි" මං ගාණක් නැතිව කියලා දැම්මා. "හ්ම්ම්  මං ළගින් ඉන්න මට හුස්මගන්න බයයි" 

"ඕක ඔයාගේ ජොබ් එක ජොබ් එක ඕනෙවට වඩා ඔලුවට ගන්න එපා" කියලා කීදෙනෙක් කීවත් මට පාලනය කරගන්න බැරි මොකක්දෝ හේතුවකට මං මිනිස්සුන්ට බැඳෙනවා. මගේ ලිපි කියවලා තියෙන අය දන්නවා ඇති මේ වෙද්දී සීයලා ආච්චිලා තුන් දෙනෙක් විතර මට තුරුල්වෙලා අන්තිම හුස්ම හෙළලා තියෙනවා. 
පහුගිය මාස අට තුළ ජෝර්ජ් සහ මා අතර ඇතිවුණු බැඳීම සහ අපි එකිනෙකාට ආදරේ කරන තරම නිසා ජෝර්ජ් ගේ මේ වෙනස් වීම දරාගන්න අමාරුයි. කදුළු හංගගෙන ජෝර්ජ් අහන ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්න අතර ජෝර්ජ්ට ඉබේටම නින්ද ගියා. ආයෙම කාමරේට ගිහින් නිදාගන්න හිතක් නෑ. ඒ නිසා ගිහින් ෆෝන් එක අරන් ඇවිත් ලිපිය ලියන්න තීරණය කළේ.. ඒක ඊට වඩා අමාරුයි මේ දේවල් ලියද්දි හිත තවත් රිදෙනවා. 

ඔයාලට මතක ඇති අපි නිතරම සතුටින් හිනාවෙවී හිටියේ,සමර් එකේ  හැමදාම අයිස්කෝපි බිවුවා වින්ටර් එක ආවම කපුචිනෝ වලට මාරු වුණා. අද හවසත් පැය තුන හතරක් රෙස්ටුරන්ට් එකෙත් ඉස්කෝලේ ගාවත් ඉඳලා ආවේ. ඒත් ගිය සතියේ තිබ්බ වැලන්ටයින් දවසේ ජෝර්ජ්ගේ බිරිඳ වෙනම කාමරයක නිදාගන්න තීරණය කළායින් පස්සේ 
ජෝර්ජ් මානසිකව ගොඩක් කඩාවැටුණා.
"ජෝර්ජ් ඔයා මැරුණම මට මොකද වෙන්නේ",
 "මැරෙන්න කළින් මට පාස්වඩ් දෙන්න හැමදේකම", 
 'ඔයා බාත්රුම් ඒක ජරාකරනවා"
 "බලන්න ඔයාගේ හැටි" 
ගැහැණියක් ඒ විදියට කතාකරනවා මගේ ජීවිතේ ඇහුණු පළවෙනි වතාව. 
"ඔමායා ඔයා කෙනෙක් බදිනවා නම් හොදට සල්ලි තියන කෙනෙක් බඳින්න,වයස ගැන හිතන්න එපා." අවුරුදු තිස් දෙකකට පෙර ඇය ජෝර්ජ් විවාහ කරගත් පරමාර්ථය මා ඉදිරියේ සුසන් කියද්දී  දැනුණු අපුලට මං කිසිම වචනයක් නොකියා "මනුස්සයෙක් දිහා බලන්න දන්න අප්‍රසන්නම විදියට ඇය දිහා බලලා කාමරේ දොර වහලා දැම්මා.

ඇය ගැන ඇසුවොත් ඔබ පුදුම වෙයි. ජීවිතේට කෙනෙක්ට ඊට වඩා මෝඩ කෙනෙක් මුණගැහෙන්න පුලුවන්ද කියලා මං කීපසැරයක් මගෙන්ම ප්‍රශ්න කරලා තියෙනවා. අවුරුදු හැටක් වෙලත් මොන්ටිසෝරි ළමයෙක් වගේ හැසිරෙන්නේ. එක පාරක් මල් පැළයක් ගෙනත් ඕකට එපා කියද්දී "ඉක්මනට ලොකුවෙන්න නම් වතුර ඕනේ" කිය කියා වතුර දැම්මා මං එපා කියද්දී, අන්තිමට වතුර වැඩිවෙලා ගහ මැරුණට පස්සේ  මගෙන් ඇහුවා මොකද කරන්නේ දැන් කියලා ඇස් වල කදුළු පුරෝගෙන. ආපු කේන්තියට මං කිවුවා ඕක අවන් එකේ දාලා වේලලා තමයි ගන්න වෙන්නේ කියලා. පහුවදා උදේ නැගිටලා බලද්දී පාන්දර  පහේ ඉඳලා මල් ගහ  සෙල්සියස්  190 අවන් එකක දාලා උදේ 7 වෙනකල්; ආයෙම පණ එන්න කියලා. ඊට පස්සේ ගහේ ෆොටෝ එකක් ෆේස්බුක් එකෙත් දාලා යාළුවන්ගෙන් හෙල්ප් ඉල්ලුවා ; පුංචි ළමයෙක්ගේ වැඩක් දිහා බලලා හිනාවෙනවා වගේ මමයි ජෝර්ජුයි කටපියාගත්තා. ඇය ගැන ලිවීම තියා සිතීමත් අප්‍රසන්නයි.  

පසුවදන 

මේ ලිපිය ලිය ලිය ඉන්නගමන් මට නින්ද යන්න ඇති මට හරියටම මතක නෑ . එදා මං හිතුවා වගේ හරියටම මාස තුනකින් ජෝර්ජ් මාව දාලා ගියා මේ සටහන ලියුවේ පෙබරවාරි  20 වෙනිදා මැයි 23 වෙනිදා ජෝර්ජ් මාව දාලා ගියා. අද ඔක්තෝම්බර් 16 සෑහෙන කාලයක් ගෙවිලා ඒත් ජෝර්ජ් තාමත් මගේ ලෝකේ ජීවත්වෙනවා.හමුවෙලා අපි එක්කම ජීවත්වෙන අයට වඩා කෙටිකාලයක් අපි එක්ක ඉඳලා දාලා ගිය අය අපිට ජිවිතේ ගැන ගොඩක් පාඩම් කියලා දෙනවා ;ඔවුන් ඉතිරිකර යන මතකයන් සදාකාලිකයි .

බොහෝවිට මං ආයෙම බ්ලොග් ලියාවි.ස්තුතී


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...