Sunday, October 16, 2016

I miss you mr. Roth

ඇත්තටම පටන් ගන්න විදිය හිතාගන්න බෑ ජෝර්ජ් නිසා මං ගොඩක් දුකෙන් දැන් රෑ දෙකත් පහුවෙලා. රෑ දොළහට ජෝර්ජ් එකපාරටම ඔමයා කියලා කතාකලා. එයා කවදාවත් මට කෑගහලා කතා කරලා නෑ කෝල් කරලා විනාඩියක ඇවිත් යන්න කියනවා  ඒ වගේම රෑ අටෙන් පස්සේ කතා කරන්නේ නෑ.

"මට බයයි මාව අල්ලගන්න...මාව  අතාරින්න එපා,ළගින්ම ඉන්න." එහෙම කියලා මගේ අත අරන් එයාගේ පපුව හරියෙන් තියාගත්තා. 
"ජනේලේ වහන්න"එළියේ හොඳටම හිම වැටෙනවා මාව මිදෙන්න තරම් සීතලයි" 
"හා හොදයි මං ජනෙල් වහලා හීටරෙත් දාන්නම්"
එහෙම කියලා ඒ වෙද්දීත් වහලා තිබ්බ ජනේලේ බොරුවට සද්දේ එන්න ආයේ එහෙට මෙහෙට කරලා හීටර් එකේ ස්විච් එක කරකවලා ආයෙම එයා ළගට ආවා.
"මං කොහෙද ඉන්නේ ?" ජෙරුසලමෙද? මෙසුරීද? (ඇමරිකාවේ) ඔය දෙකේම නෙමේ වුණත් මං එයාට කිවුවා ඔයා ඉන්නේ ඔයාගේ ගෙදර ඔයාගේ කාමරේ කියලා. 
"කෝ සුසන් ?" භයානකම ප්‍රශ්නය ඒක. "එයා නිදි" මං ගාණක් නැතිව කියලා දැම්මා. "හ්ම්ම්  මං ළගින් ඉන්න මට හුස්මගන්න බයයි" 

"ඕක ඔයාගේ ජොබ් එක ජොබ් එක ඕනෙවට වඩා ඔලුවට ගන්න එපා" කියලා කීදෙනෙක් කීවත් මට පාලනය කරගන්න බැරි මොකක්දෝ හේතුවකට මං මිනිස්සුන්ට බැඳෙනවා. මගේ ලිපි කියවලා තියෙන අය දන්නවා ඇති මේ වෙද්දී සීයලා ආච්චිලා තුන් දෙනෙක් විතර මට තුරුල්වෙලා අන්තිම හුස්ම හෙළලා තියෙනවා. 
පහුගිය මාස අට තුළ ජෝර්ජ් සහ මා අතර ඇතිවුණු බැඳීම සහ අපි එකිනෙකාට ආදරේ කරන තරම නිසා ජෝර්ජ් ගේ මේ වෙනස් වීම දරාගන්න අමාරුයි. කදුළු හංගගෙන ජෝර්ජ් අහන ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්න අතර ජෝර්ජ්ට ඉබේටම නින්ද ගියා. ආයෙම කාමරේට ගිහින් නිදාගන්න හිතක් නෑ. ඒ නිසා ගිහින් ෆෝන් එක අරන් ඇවිත් ලිපිය ලියන්න තීරණය කළේ.. ඒක ඊට වඩා අමාරුයි මේ දේවල් ලියද්දි හිත තවත් රිදෙනවා. 

ඔයාලට මතක ඇති අපි නිතරම සතුටින් හිනාවෙවී හිටියේ,සමර් එකේ  හැමදාම අයිස්කෝපි බිවුවා වින්ටර් එක ආවම කපුචිනෝ වලට මාරු වුණා. අද හවසත් පැය තුන හතරක් රෙස්ටුරන්ට් එකෙත් ඉස්කෝලේ ගාවත් ඉඳලා ආවේ. ඒත් ගිය සතියේ තිබ්බ වැලන්ටයින් දවසේ ජෝර්ජ්ගේ බිරිඳ වෙනම කාමරයක නිදාගන්න තීරණය කළායින් පස්සේ 
ජෝර්ජ් මානසිකව ගොඩක් කඩාවැටුණා.
"ජෝර්ජ් ඔයා මැරුණම මට මොකද වෙන්නේ",
 "මැරෙන්න කළින් මට පාස්වඩ් දෙන්න හැමදේකම", 
 'ඔයා බාත්රුම් ඒක ජරාකරනවා"
 "බලන්න ඔයාගේ හැටි" 
ගැහැණියක් ඒ විදියට කතාකරනවා මගේ ජීවිතේ ඇහුණු පළවෙනි වතාව. 
"ඔමායා ඔයා කෙනෙක් බදිනවා නම් හොදට සල්ලි තියන කෙනෙක් බඳින්න,වයස ගැන හිතන්න එපා." අවුරුදු තිස් දෙකකට පෙර ඇය ජෝර්ජ් විවාහ කරගත් පරමාර්ථය මා ඉදිරියේ සුසන් කියද්දී  දැනුණු අපුලට මං කිසිම වචනයක් නොකියා "මනුස්සයෙක් දිහා බලන්න දන්න අප්‍රසන්නම විදියට ඇය දිහා බලලා කාමරේ දොර වහලා දැම්මා.

ඇය ගැන ඇසුවොත් ඔබ පුදුම වෙයි. ජීවිතේට කෙනෙක්ට ඊට වඩා මෝඩ කෙනෙක් මුණගැහෙන්න පුලුවන්ද කියලා මං කීපසැරයක් මගෙන්ම ප්‍රශ්න කරලා තියෙනවා. අවුරුදු හැටක් වෙලත් මොන්ටිසෝරි ළමයෙක් වගේ හැසිරෙන්නේ. එක පාරක් මල් පැළයක් ගෙනත් ඕකට එපා කියද්දී "ඉක්මනට ලොකුවෙන්න නම් වතුර ඕනේ" කිය කියා වතුර දැම්මා මං එපා කියද්දී, අන්තිමට වතුර වැඩිවෙලා ගහ මැරුණට පස්සේ  මගෙන් ඇහුවා මොකද කරන්නේ දැන් කියලා ඇස් වල කදුළු පුරෝගෙන. ආපු කේන්තියට මං කිවුවා ඕක අවන් එකේ දාලා වේලලා තමයි ගන්න වෙන්නේ කියලා. පහුවදා උදේ නැගිටලා බලද්දී පාන්දර  පහේ ඉඳලා මල් ගහ  සෙල්සියස්  190 අවන් එකක දාලා උදේ 7 වෙනකල්; ආයෙම පණ එන්න කියලා. ඊට පස්සේ ගහේ ෆොටෝ එකක් ෆේස්බුක් එකෙත් දාලා යාළුවන්ගෙන් හෙල්ප් ඉල්ලුවා ; පුංචි ළමයෙක්ගේ වැඩක් දිහා බලලා හිනාවෙනවා වගේ මමයි ජෝර්ජුයි කටපියාගත්තා. ඇය ගැන ලිවීම තියා සිතීමත් අප්‍රසන්නයි.  

පසුවදන 

මේ ලිපිය ලිය ලිය ඉන්නගමන් මට නින්ද යන්න ඇති මට හරියටම මතක නෑ . එදා මං හිතුවා වගේ හරියටම මාස තුනකින් ජෝර්ජ් මාව දාලා ගියා මේ සටහන ලියුවේ පෙබරවාරි  20 වෙනිදා මැයි 23 වෙනිදා ජෝර්ජ් මාව දාලා ගියා. අද ඔක්තෝම්බර් 16 සෑහෙන කාලයක් ගෙවිලා ඒත් ජෝර්ජ් තාමත් මගේ ලෝකේ ජීවත්වෙනවා.හමුවෙලා අපි එක්කම ජීවත්වෙන අයට වඩා කෙටිකාලයක් අපි එක්ක ඉඳලා දාලා ගිය අය අපිට ජිවිතේ ගැන ගොඩක් පාඩම් කියලා දෙනවා ;ඔවුන් ඉතිරිකර යන මතකයන් සදාකාලිකයි .

බොහෝවිට මං ආයෙම බ්ලොග් ලියාවි.ස්තුතී


53 comments:

  1. Good to see you again here. Anyway seems he is a nice gentleman. He lived well, he enjoyed life when he has time. (As I remember he is the one who bought you a camera no?) What to do Apurvi, at last we all have to go. (Giman niwanna- couldn't log in to profile by phone, and sinhala unicode is gone crazy in it)

    ReplyDelete
    Replies
    1. ගිමන්# ඔව් ජෝර්ජ් මට කැමරාව අරන්දුන්නේ මං ෆොටෝ ගහන්න ආස නිසා,බයිසිකලයක් අරන් දුන්නා ඒත් මං පොඩිකාලේ බයිසිකල් පැද්දා කියලා ඒ විස්තර කියපු නිසා තව තව මං ආස කරපු දේවල් අපි දෙන්නා එකතුවෙලා කරා ද්‍රව්‍යම දේවල් නිසා නෙමේ මගේ ආශාවන් සතුට එයාගෙම දෙයක් කරගත්ත නිසා මං ගොඩක් ජෝර්ජ්ට කිට්ටු වුණේ.
      ෆෝන් එකේ සිංහල අවුලට අපේ විචාරක තුමා බේතක් හොයාගත්තා. මං ගොඩක් වෙලාවට කරන්නේ වෙන තැනක ටයිප් කරලා කට් කරන් පේස්ට් කරන එක. ස්තුතී

      Delete
  2. ජීවිතෙ හමුවීම් හරිම පුදුමාකාරයි බං. කාලය වැදගත් නෑ, ඒ කෙනා තුල අපේ බැදෙන බැදීම අපේ හිත් වල හැමදාම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මට මතකයි කොහෙදි හරි කියෙවුවා ජිවිතේ කියන්නේ යාම් ඊම් වල එකතුවක් කියලා .

      Delete
  3. ජෝර්ජ් ගැන මීට පෙර ඔබ ලියා තිබුණු තොරතුරු වලිනුත් පැහැදිලි වුණා, වෘත්තියට එහා ගිය මානුෂික බැඳීමක් තිබුණු බව. සමහරවිට ඔබ, ඔහු තුලින් ඔබේ පියාව දකින්න ඇති. ඔය දුරු රටේ, ඔබට ඔහුගෙන් යම් මානසික ආරක්ෂණයක් ලැබෙන්න ඇති.

    ආවොත් යන්න වෙනවනේ, ගියොත් නේ එන්න පුළුවන්. මතකද සරච්චන්ද්‍ර එහෙම කියලා තියනවා.

    දැන් ඔක්කොමලා කියයි, ඔව්වා ඔහොම තමයි, හිත හදාගන්න කියලා. මම කියන්නේ, මියගිය ජෝර්ජ් ඔබේ ජීවිතයට දර්ශනයක්, ශක්තියක්, කරගන්න කියලා.

    ReplyDelete
    Replies
    1. විචාරක # ඔව් ඒ දේවල් සියල්ලම වෙන්න ඇති ,ජෝර්ජ් කිවුවේ එයාගේ ජිවිතේ මුණගැහුණ ගැහැණුන් අතරින් ඔහු වැඩියෙන්ම ප්‍රිය කරන කෙනා මං කියලා .

      සරත්චන්ද්‍ර මහත්මයා කියපු කතාවේ හැටියට ගියාට පස්සේ තමයි එන්නේ වැඩිපුරම.

      ඔව් එයාගෙන් ඉගෙනගත්ත දේවල් මං එක්ක හැමදාම තියේවි. ස්තුතී

      Delete
  4. ඔහුට නිවන් සුව පතනවා. ඔහු බොහෝ විට නැවත මනුස්ස ආත්මයක් ලබා බෞද්ධ පරිසරයක ඉපදී ඉන්නත් පුළුවන්. ඔබට මෙම ප්‍රියයෙකුගේ වෙන්වීම දරා ගැනීමට හැකියාවත් එයින් පෙන්වන පාඩම ගැන වටහා ගැනීමක් ඇතිවීමටත් මෙම සිද්ධිය හේතුවේවා කියා පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඉයන්, ජ්විස් විශ්වාසය අනුව දෙවියන් ආයෙම එද්දී නැගිටින්න ජෝර්ජ්ගේ දේහය ජෙරුසලමේ මිල අධික තැනක තියෙන්නේ. ආත්මයට කොහෙවත් යන්න බෑ.

      Delete
  5. සංවේදී අත්දැකීමක අපූරු සටහනක් !

    ReplyDelete
  6. සංවේදී අත්දැකීමක්... මිය ගිය මිනිසුන්ගේ මතක රැගෙන ජීවත් වෙන එකත් අපහසු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර එයාගේ මාංශවත්ව නෑ ,එයාගේ මිනිය වළලා ඉවරයි කියලා එයාගේ වයිෆ් කිවුවත් එයාට බැනලා ෆෝන් එක තිබ්බේ මට ඒ වචන අහන්න අමිහිරි නිසා. මේ රැකියාව එපාත් වෙනවා වෙලාවකට දවසගානේ සමහර සිදුවීම් එක්ක මට මාව දාලා ගිය එම්ප්ලෝයර්ස්ලව මතක් වෙන නිසා.

      Delete
  7. බ්ලොග් ලිව්ව නං හරි දැං..

    ReplyDelete
    Replies
    1. ඔව් ආයේ බුකියේ නටන්න එන්නතිවෙයි බොහෝ දුරට.

      Delete
    2. ඔමා බුකියෙ ඉන්නවද?

      Delete
    3. මේ මක්ක අහනවද රාජ් දරුව...

      Delete
    4. ඩිඇක්ටිවෙට් කළා අයියේ ගොඩක් කාලේ නස්තිවෙනවා අනේ.

      Delete
  8. ජීවිතේ හැටි මෙහෙම තමයි... හමු වීම සතුටක්... ඒත් වෙන් වීම දුකක්.. තියන බැඳීම එක්ක ඒ දුක අඩු වැඩි වෙන්න පුලුවන්...

    ආයෙත් ලියන්න පටන්ගන්න එහෙනම්...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, ස්තුතී බැදීම් සතුට ගේනවා ලග ඉන්නකල් එකටම යන්න පුළුවන් නම් නේද

      Delete
  9. ඔහුට නිවන් සුව ලැබේවා...
    ආපහු ලියන්න පටන් ගත්තු එක හොඳයි...

    ReplyDelete
    Replies
    1. ලියන්න ට්‍රයි කරනවා ලොකු බලමු

      Delete
  10. ලඟ හිටපු මනුස්සයෙක් මියයාමේ අත්දැකීම ලැබුවෙ එක සැරයයි. ඒ සතියක් ඉස්පිරිතාලෙ ඉඳල ප්‍රතිකාර ගත්ත දවස්වල. ඒ පැත්තෙන් ඔමා ගැන හිතාගන්න බෑ.
    ආයෙ බ්ලොග් ලිවීම නං හොඳ ආරංචියක්.
    (ඔමා බුකියෙ ඉන්නවද?)

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ අයියේ ඇත්තටම මගේ පවුලේ කිසිම කෙනෙක් අද වෙනකල් නැතිවෙලා නෑ ඒත් ජොබ් එක නිසා මට කිපසැරයක් ඒ වෙන්වීමේ අත්දැකීමට මුනදෙන්න උනා, ආයේ ලියන්න උත්සහ කරනවා , ඊයේ ඩිඇක්ටිවේට් කළා

      Delete
  11. කොච්චර ආසයිද අන්තිම වැකියට මං....
    ඔමාට ජය

    ReplyDelete
  12. සුබ ගමන් ජෝජ්ට.

    ReplyDelete
  13. ඔමා....කොමා දැම්මට කමක් නැහැ. ඒත් ෆුල් ස්ටොප් නොදා දිගටම ලියන්න.

    ජෝජ්ලා හුඟක් ඉන්නවා මේ රටවල. ජීවිතේ හැටි ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. මං තිත් කොමා දමා දමා යනෝ . හ්ම්ම්

      Delete
  14. කෙනෙක් තවත් කෙනෙක්ගෙ ජීවිතේකට ඔච්චර බැඳීමක් ඇතිකරගන්නෙ කලාතුරකින්.
    එහෙමං ළංවෙච්ච අය අමතක කරන්න අමාරුයි.
    ජෝජ්ට සුබ ගමන් පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා ,ඒකනේ මං දේශවත් දුරින් තියන් ඉන්නේ

      Delete
    2. ආපෝ... ඒ යකා ගොං බඳින කණුවක්නෙ. හැක්..

      Delete
  15. //බොහෝවිට මං ආයෙම බ්ලොග් ලියාවි.ස්තුතී//
    ජෝජ් පවා සතුටු වේවි.
    ජයවේවා..!!

    ReplyDelete
  16. ඔමා, ඔයා ආපහු ලියන එක කොයි තරන් හොඳයි ද..

    ReplyDelete
    Replies
    1. හීන # තැන්කිව් යාළු

      Delete
  17. ඔව්, මට මොකද අමතක ජෝජ්ව? යුදෙව් සම්ප්‍රදායට අනුව ඔහු පැතූ දේ ලැබේවා කියලා මමත් පතනවා

    ReplyDelete
    Replies
    1. ඩුඩ් # ජෝර්ජ් ඔයාගේ ඉංග්ලිෂ් බ්ලොග් එක කියෙවුවා ලිපි කීපයක්

      Delete
  18. කරුණාවන්ත හොඳ සීයා කෙනෙක් වගෙයි ෆොටෝ එක දැක්ක ම නම්.. ඕමා නැවත දැකීම සතුටක්..

    ReplyDelete
    Replies
    1. ඔව් එයා හරි හොඳ කෙනෙක්. ඔය ෆොටෝ එක ගද්දි එයා විහිළුවට ඔහොම කලේ.

      Delete
  19. උඹ හරි අපූරු දේවල් තමයි අත්දකින්නේ අක්කේ....

    ReplyDelete
    Replies
    1. නාඩි : වෙන ජොබ් එකක් කලානම් වෙන අත්දැකීම් මං ලබයි ඒත් මේ තරම් ජිවිතේට තදින් නොදැනේවී

      Delete
  20. සංවේදීව දැනුනා.. ඔහුට නිවන් සුව පතනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක සංස්කරණයකින් තොරව ලියාගෙන ගිය ලියවිල්ලක්, ආයේ කියවල වැරදි හදන්න වත් කියවුවේ නෑ තුෂ්

      Delete
  21. හපොයි, ජෝර්ජ් මගෙත් යාලුවෙක්නෙ.සුබ ගමන් මිත්‍රයා!

    ReplyDelete
  22. ආ උඹ කාලෙකිං , එල එල

    ReplyDelete
    Replies
    1. ඔව් අටම් අයියේ බලමු ආයේ ලියන්න

      Delete
  23. long time see you sis. why do you stoped writing.i send you, as i remember 2 or 3 mail, but you didn't reply to me.however i'm happy about you writing again here.

    ReplyDelete
    Replies
    1. Im Sorry Devinda I didnt checked my e-mails . I try to write hmmmm :\ thank you

      Delete
  24. ඕහ්...
    මම හිතන්නේ ඒ මනුස්සයා මටත් ඊමේල් එවලා තියෙනවා...
    මොනවා කරන්ටද දැන්???

    හ්ම්ම්ම්...
    කොහොම හරි ආයෙත් ලියන එක නම් පට්ට...

    ReplyDelete
  25. ජෝර්ජ්ට සුබගමන් මාත් පතනවා. ඒත් ඔමාට තරන්ම සංවේදී බව දැනෙන විදිහට ලියන්න මට බෑ දිගටම ලියන්න ඔමා

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...